හක්මන නරවැල්පිට පුරාණ මහා විහාරයේ ඉපැරැණි ගොඩනැඟිලි අබලන් | දිනමිණ


 

හක්මන නරවැල්පිට පුරාණ මහා විහාරයේ ඉපැරැණි ගොඩනැඟිලි අබලන්

හක්මන නරවැල්පිට තෝරාවිට පුරාණ මහා විහාරය හෙවත් නරවැල්පිට මහ පන්සල සියවස් පහකටත් වඩා පැරණි දකුණේ වූ ඓතිහාසික පූජනීය ස්ථානයකි. මෙහි ඇති ටැම්පිට විහාරය නායයාමේ අවදානමකට ලක්වෙමින් පවතී.

මෙම පෞරාණික විහාරස්ථානයෙහි පොහොය ලෙය, මලසුන් ගෙවල් හා විහාරස්ථානයට හා බෝ මළුවට අයත් ගමන් මගේ පියගැටපෙළ ද මේ වන විට අබලන් වෙමින් පවතී.

මෙම ටැම්පිට විහාරය එවකට ඉදිකර ඇත්තේ ගල්කණු කිහිපයක් මත යෙදූ බාල්ක උපයෝගී කරගනිමින් ඒ මත පිටලෑලි යොදමින් වත්මනෙහි එම ලී දඩු දිරාපත්ව ඇත. කණු මත කොන්ක්‍රීට් බාල්ක කිහිපයක් යොදාගනිමින් අද වන විට තාවකාලිකව මෙම විහාරස්ථානය සුරක්ෂිත කරගෙන තිබේ. එහි වටමාලයේ වූ සූවිසි විවරණයෙහි ඇතැම් ස්ථානවල වේ තුඹස් දක්නට ලැබේ. පැරැණි අනෙකුත් සියලුම බිතු සිතුවම් ද දුර්වර්ණ වෙමින් මැකී යාමට පටන්ගෙන ඇත.

මෙම විහාරස්ථානයෙහි වත්මන් විහාරාධිපති අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ මාතර හම්බන්තොට දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක කරපුටුගල සිරි සුමන හිමියෝ අප සමග සිය විහාරස්ථානය පිළිබදව අදහස් මෙසේ පැවැසූහ.

අපෙන් පසුව එන අනාගත පරපුර වෙනුවෙන් ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම පූජනීය ස්ථානය සුරක්ෂිත කොට තැබීම අප කාගේත් වගකීමක් විය යුතුය. මෙහි සිදුවෙමින් පවත්නා අභාවයට යාමේ සිදුවීම් මා දකින්නේ මුළු මහත් රටේම ඉදිරි පරපුර වෙනුවෙන් අහිමි වී යන සම්පතක් ලෙසටයි.

හක්මන විශේෂ - ආර්. පීරිස්

නව අදහස දක්වන්න