දිනේෂ් එක්ක එකතුවෙලා සටන් කරන්න මමත් කැමතියි | දිනමිණ

දිනේෂ් එක්ක එකතුවෙලා සටන් කරන්න මමත් කැමතියි

දුමින්ද සම්පත්
ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේසන්

සම්මුතිවාදී ආණ්ඩුවේ සංහිදියා ගමනේ ප්‍රගතිය සහ ඊට ඇති බාධා කවරේද යන්නත්, ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පවතින විවිධ මත, උතුරේ ජනතාව සතු ඉඩම් නිදහස් කිරීම, ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ජනමත විචාරණය සම්බන්ධව ශ්‍රිලනිප මතය, ළඟදි සිදුවනවාය කියැවෙන ඇමැති මණ්ඩල සංශෝධනය ආදී කරුණු පිළිබඳ, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය, මනෝ ගනේසන් සමඟ කළ කතාබහ.

* ජාතික ප්‍රශ්නය සංහිඳියාවට බාධාවක්
* ඩිලාන් ඇමතිතුමා දේශපාලන නළුවෙක්
* උතුරේ ජනතා ඉඩම් නිදහස් කරනවා
* යුද්ධය නැතත් හේතුව තියෙනවා

ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යවරයා ලෙස ඔබේ අමාත්‍යාංශයේ කටයුතු ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්ද?

දුෂ්කරතා හා අභියෝග රැසක් එක්ක මේ අමාත්‍යාංශය මම බාර ගත්තෙ. ජාතික සහජීවනයට රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට තිබෙන අභියෝග බාධා මොනවාද කියා අපි සොයා ගත්තා. දැන් අපි ලෙඩෙයි බෙහෙතුයි දෙකම හොයාගෙන ඉන්නෙ. ප්‍රතිකාර කරන්නයි දැන් තියෙන්නෙ.

ඔබ කොහොම කිව්වත් උතුරේ සාමාන්‍ය ජනතාවටත් දකුණේ ජනතාවටත් ඔය කියන සංහිඳියාව තවම දැනිල නැහැ නේද?

ඒක එක මතයක්. සංහිඳියාව ගැන රටේ ජනතාව අතර අලුත් චින්තනයක් ඇතිවෙලා තියෙනවා. රටේ ජාතික ප්‍රශ්නය සංහිඳියාවට විශාල බාධාවක්. යුද්ධයට හේතු වුණේ ජාතික ප්‍රශ්නය. දැන් යුද්ධය නැහැ. යුද්ධය ඇතිවෙන්න හේතුවෙච්ච මූලික ප්‍රශ්න තවම තියෙනවා. ඒකට අපි අලුත් ව්‍යවස්ථාව හරහා විසඳුම් දෙනවා. දැන් ජාතීන්, ආගම්, භාෂා අතර ගැටුම් නැහැ. ප්‍රශ්න විතරයි තියෙන්නෙ. ඒ ප්‍රශ්නය සංවාද හරහා අවසන් කරන්න පුළුවන්.

අලුත් ව්‍යවස්ථාවක් ගේනව කිව්වත් රටේ ප්‍රධාන පක්ෂ දෙක තවමත් දෙපැත්තක ඉන්න බවත් පේනවා.

එහෙම නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් පැහැදිලි තීන්දුවක් මේ සම්බන්ධයෙන් දීලා නැහැ නේද?

ඔවුන්ගේ ස්ථාවරයේ නොපැහැදිලි බවක් තියෙන බව අපට දැනෙනවා. අලුත් ව්‍යවස්ථාවක් හදනව නම් ජනමත විචාරණයකට යන්න ඕන. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ තරම් කැමැත්තක් නැහැ. එහෙම වුණොත් අලුත් ව්‍යවස්ථාවක් හැදෙන්නෙ නැහැ. මම මේ කියන්නෙ මට තේරෙන දේ. ඔවුන්ගෙ නිල ස්ථාවරය ඒ පක්ෂයෙ නායකත්වය හෝ මහලේකම්වරයා රටට කිව යුතුයි.

යුද්ධයෙන් තැලුණු සිත් සුවපත්කරන්න මේ ආණ්ඩුවට තවමත් බැරිවෙලා කියල කියනවා.

සුවපත් වීගෙන යනවා. ඇයි එහෙම කියන්නෙ.

උතුරේ රැකියා, ඉඩම් ‍, දේශපාලන , සිරකරුවන් අතුරුදහන් වුවන්ගේ වැනි ප්‍රශ්නවලට විසඳුම් ප්‍රමාදයි නේද?

විරැකියා ප්‍රශ්නය දකුණෙත් තියෙනවා. ඒක පැත්තකට දාමුකො‍. අනෙක් ප්‍රශ්නවලට විසඳුම් දෙමින් ඉන්නවා. අපි ආණ්ඩුව භාර ගන්නකොට සිරකරුවන් 210ක් හිටියා දැන් ඉන්නේ 105යි. ඒ අය පුනරුත්ථාපනයට වරින්වර යනවා. පෞද්ගලික ඉඩම් වැඩිප්‍රමාණයක් මේ ආණ්ඩුවෙන් නිදහස් කළා. සියල්ල සම්පූර්ණ වෙලා නැහැ කියන එක මම පිළිගන්නවා. දොරක් බාගෙට ඇරල තියෙනවනම් මම කියන්නෙ දොර බාගෙට ඇරල තියෙනව කියල. ඔබ තුමා කියයි බාගෙට වහල තියෙනව කියල. උතුරේ ඉඩම් ප්‍රශ්නෙදි මම කියනවා නිදහස් වෙච්ච ටික ගැන. උතුරේ අන්තවාදී මන්ත්‍රීවරයෙක් කියන්නෙ නිදහස් වෙච්ච නැති ඉඩම් ටික ගැන. හැබැයි අපි පෞද්ගලික ඉඩම් සියල්ල නිදහස් කරනවා. සිරකරු ප්‍රශ්නෙත් අපි විසඳනවා.

කැබිනට් සංශෝධනයක රාවයක් පැතිරෙනවා. මේ වෙලාවෙ කැබිනට් සංශෝධනයක් වෙයිද?

ඒ රාවය දැන් යටපත් වෙලා. මම හිතන්නෙ එහෙම එකක් වෙන්නෙ නැහැ.

ජනාධිපතිවරයා බලය පෙන්නනවා මදි. යෙලෝ කාඩ් පෙන්නුව ඇති දැන් රෙඩ් කාඩ් පෙන්වන්න කාලය හරි කියල ඩිලාන් පෙරේරා රාජ්‍ය ඇමතිවරයා කියනවා.

ඩිලාන් පෙරේරා මහත්මයා රසවත්, දේශපාලන කලාකරුවෙක්. එතුමා නිතරම ඔය වගේ දේවල් කියනවා. අපි ඒව රසවිඳිනවා. ඔය කතාව රටට කියල වැඩක් නැහැ. ඒක කියන්න ඕන පක්ෂයෙ මධ්‍යම කාරක සභාවේදි. එතුමගේ පක්ෂයේ නායකයනෙ ජනාධිපති තුමා. ජනාධිපතිතුමා හරි උත්තරේ දෙයි.

මෙවැනි කතා නිසා ආණ්ඩුවෙ කාලෙ ඉවරයි ද කියන සැකය ජනතාව තුළ ඇතිවිය හැකියිනේද?

ආණ්ඩුවේ කාලෙ ඉවර වෙන්නෙ නැහැ. අපි කාමරේ ඇතුලේ, කතාකරන දේවල් තියෙනවා. ඒ වගේම කුස්සියෙ, නිදන කාමරේ, සාලෙ, මහපාරේ, මිදුලෙ කතාකරන දේවලුත් තියෙනවා. සමහරුන්ට තැන් වෙනස් වෙනවා. මිදුලෙ කතා කරන දේ කාමරේ කතා කරනවා. කාමරේ කතාකරන දේවල් මහපාරේ කතා කරනවා.

ජනාධිපතිවරයා පසුගිය දිනෙක කිව්වා රාජ්‍ය නොවන සංවිධාන කියන පදේට නටන්න මම සූදානම් නැහැ. කියලා. මේ ගැන ඔබ මොකද හිතන්නෙ.

රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ මහලේකම් කාර්යාලය තියෙන්නෙ මගේ යටතේ. එතුමා තමන්ගෙ හිතේ තියෙන දේ කියල ඇති. ඒක පොදුවේ හැම රාජ්‍ය නොවන සංවිධානයකටම කියපු දෙයක් නොවෙයි.

යහපාලනයට හරිපාර තියෙද්දි වැරදි පාරමයි තෝරගන්නෙ කියල කියනවා.

කව්රුවත් කියපු පළියට අපි යනපාර වැරදියි කියල මම පිළිගන්නෙ නැහැ.

ඒ කතාවට යම් පදනමක් තියෙනව නේද? අලුත් හොරුයි පරණ හොරුයි එකතුවෙලා යන ගමනක් පේන්න තියෙනවා නේද?

අලුත් හොරු පරණ හොරු උනුත් එකයි මුනුත් එකයි සටන් පාඨය පරණ එකක්. ඒ නිසා ඔය කියන අය අලුත් සටන්පාඨ හොයන්න ඕන.

බැඳුම්කරේ ප්‍රධාන චෝදනාව එල්ල වෙන්නෙ ආණ්ඩුවට. මේ හරහා ජනතාව තුළ යම් සැකයක් ඇතිවෙනවනේද?

සැකයක් ඇතිවෙනව තමයි. ඒක මම පිළිගන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයගෙ කාලෙ හොරකම් සිද්ධ වුණා කියල මේක සාධාරණීකරණය කරන්න බැහැ. අපි මේ ගැන විමර්ශනයක් කරගෙන යනවා. ඒ ගැනත් අපි සතුටුවෙන්න ඕන. ගිය ආණ්ඩුව කාලෙ එහෙම විමර්ශන වුණේ නැහැනෙ.

ජිනීවා යෝජනාවලිය ගැන, පාර්ලිමේන්තු විවාදයෙදි ඒකාබද්ධ විපක්ෂයට ලබාදුන් කාලය ප්‍රමානවත් නැහැ කියල කියනවා. මේ හරහා ආණ්ඩුව ජිනීවා යෝජනාවලියෙ අයහපත් ප්‍රතිඵල පෙන්වා දීමට ඉඩ ලබා නොදෙන බවයි කියන්නේ.

නෑ .... නෑ..... නෑ.

ඒ අයට පාර්ලිමේන්තුවෙ කාලය මදියි කියන ප්‍රශ්නෙ හැමදාම තිබුණා. පාර්ලිමේන්තුවේ තියෙන ගණන් හිලව් ගැන බලනකොට මමත් කනගාටු වෙනවා. ඒකාබද්ධ විපක්ෂයෙ මන්ත්‍රීවරු එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන්නේ. ඒ අයගෙ වෙලාවල් තීරණය කරන්නෙ සන්ධානෙ මහලේකම්. නීතියේ හා දේශපාලන ගැටුම් තිබෙන නිසා ඔවුන්ට යම් අසාධාරණයක් වෙනවා.

ජිනීවා යෝජනාවලියේ අලුත්ම තත්ත්වය මොකක්ද?

ඔය යෝජනාවලිය අනුන්ගේ එකක් නෙවෙයි. අපිත් සම්බන්ධ වෙලයි ඔය යෝජනාවලිය හදන්නෙ. අපේම යෝජනා ක්‍රියාත්මක කරන්න අපි බැඳිල ඉන්නවා. යෝජනාවලින් ඉදිරිපත් වෙලා තියෙන්නෙ නියෝග නොවෙයි නිර්දේශයි. ඔය දෙක වෙනස්. ප්‍රජාතන්ත්‍රවාදී රටකට කාටවත් නියෝග දෙන්න බැහැ.

ජිනීවා යෝජනාවලියේ ජාත්‍යන්තර අධිකරණයක් ගැන කතා වෙනවා. ඒ ගැන මොකද කියන්නෙ.

ආණ්ඩුව එනකොට තිබුණේ පරණ අධිකරණය. දැන් අධිකරණය ස්වාධීනයි. ලංකාවේ අධිකරණය ගැන විශ්වාසයක් ඇතිවෙලා තියෙන්නෙ. ඒ නිසා ජාත්‍යන්තර විනිසුරුවන් අවශ්‍ය නැහැ කියල ආණ්ඩුව හිතනවා.

පසුගිය කාලෙ මේ රටේ සිදුවුණු අපරාධ පිළිබඳව විශාල ප්‍රශ්නයක් තියෙනවා. දේශීයව නීතිය පසිඳාලීමෙන් සාධාරණයක් ඉටුවෙයි කියල ඔබ හිතනවද?

යුද පිටියේ වෙච්ච දේවලුත් ඉන්පිට වෙච්ච දේවලුත් වෙන්කරගත යුතුයි. යුද පිටියේ වෙච්ච දේවල් හොයාගන්න බැහැ. යුදපිටියේ සිද්ධ වෙච්ච දේවල්වලට අපි හැමෝම කතා කරල සමාව දිය යුතුයි. ඒක තමයි දකුණු අප්‍රිකාවෙ කළේ. සමාව දෙන එක ගැන සුද්දො අපිට කියා දෙන්න ඕන නැහැ. ඒක අපේ සංස්කෘතියෙ තියෙන දෙයක් චෝදනා තියෙන්නෙ ආණ්ඩුවෙ හමුදාවට විතරක් නොවෙයි. එල්. ටී. ටී. ඊ යටත් විරුද්ධව යුද අපරාධ චෝදනා තියෙනවා.

යුදපිටියෙන් පිටත සිදුවුණු අපරාධ ගැන ඔබ කිව්වා. ඊට අදාළව සාධාරණ විනිශ්චයක් ලැබෙයිද?

මාධ්‍යවේදීන්ට පහර දීම, පැහැර ගැනීම, ඝාතනය කිරීම, මාධ්‍ය ආයතන ගිනි තැබීම, තාජුඩීන් ඝාතනය, රවිරාජ් ඝාතනය, ත්‍රිකුණාමලයේ දරුවන් 5 දෙනෙකු අතුරුදහන් කිරීම වගේ යුද පිටියෙන් පිටත වෙච්ච අපරාධවලට සමාවක් දිය නොහැකියි. ඒවාට අනිවාර්යයෙන් දඬුවම් දිය යුතුයි. මේවා යුද වීරයන්ගේ වැඩ නෙවෙයි.

අලුත් ව්‍යවස්ථාවෙන් ‘ජනරජය’ කියන කොටස හලල කියල ඒකාබද්ධ විපක්ෂය කියනවා.

ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවෙ මගෙ ළඟින්ම වාඩි වෙලා ඉන්නෙ දිනේෂ් ගුණවර්ධන මහත්තය. ඔය කතාව බොරුවක්. කෙටුම්පත තවමත් හදල නැහැ. ව්‍යවස්ථාවෙ ජනරජය කියන වචනය තියාගන්න , දැන් බුදුදහමට දීලා තියෙන තැන ආරක්ෂා කරන්න, උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකර වෙන්ව තියාගන්න, ෆෙඩරල් ව්‍යවස්ථාවක් කියන නම ව්‍යවස්ථාවට ඇතුල් නොකරන්න, කියන සටනට දිනේෂ් සමඟ එකට සටන් කරන්න මම ලෑස්තියි. මම දන්න තරමින් එ.ජා.පක්ෂ‍යත් ශ්‍රී.ල.නි. පක්ෂයත් ඉන්නෙ මේ මතයෙමයි.

විමල්වීරවංශ මන්ත්‍රීවරයට ඇපදීමට විරුද්ධ නොවන්නැයි අගමැතිවරයා නීති අංශවලට උපදෙස් දීල තියනවා. ඒ සමඟම ඔහුට ඇප ලැබෙනවා. මේ තත්ත්වය දේශපාලනය අධිකරණයට කරපු බලපෑමක් නොවෙයිද?

ඇප ලබා දෙන්න හරි, එපා හරි කියල කව්රු හරි කියනව නම් ඒක බලපෑමක්. මේ රටේ දැන් ඒක සිරිතක් වෙලා. සයිටම් එක ගැන නඩු තීන්දුවක් ආවම ඒකට විරුද්ධව පෙළපාලි යනවා. ඒ අය නඩු තීන්දු ගණන් ගන්නේ නැහැ. පෙළපාලි යනකොට අධිකරණය දුන්නු තහනම් නියෝගය පොලීසිය කියවන කොට හූ කියනවා. ඒ හු කියන්නෙ අධිකරණයට. මේ අධිකරණය දැන් විහිළුවක් වෙලා.

එහෙම වෙන්නෙ ඇයි.

ඒක වැරදියි. රටේ ජනතාවට නිදහස වැඩිවෙලා වගෙයි පේන්නෙ. නිදහස ලැබෙන්නෙ වගකිමක් එක්ක. මේක තේරුම් ගන්න බැරිවීම කණගාටුවට කරුණක්.

සයිටම් එක ගැන ඔබේ ස්ථාවරය කිව්වොත්.

මම කියන්නෙ සයිටම් එක ගැන දැඩි තීන්දුවකට ආණ්ඩුව එන්න ඕන.

මේ ප්‍රශ්නය විසඳන්න ආණ්ඩුව කල් ගත්ත වැඩියිනේද?

කල්ගත්ත වැඩියි. අධිකරණය මොන තීන්දුව දුන්නත් ආණ්ඩුවෙ ස්ථාවරය කියන්න ඕන. නිදහස් අධ්‍යාපනය සම්පූර්ණයෙන් පෞද්ගලික අංශයට දෙන්න බැහැ. අධිකරණ තීන්දුවක් ඇවිත් තියෙන්නෙ කියල ආණ්ඩුවට ෂේප්වෙන්න බැහැ.

පුංචි ඡන්දය එන්න එන්නම කල්යාම ප්‍රජාතන්ත්‍රවාදයට හොඳ තත්ත්වයක් නෙවෙයි නේද?

ඔව්. මම කියන්නෙ ඡන්දය වහාම දෙන්න කියලයි. ඡන්දයත් අපට අවශ්‍යයි. ඡන්දයක් පැවැත්තුව කියලම ප්‍රජාතන්ත්‍රවාදය ඇතිවෙන්නෙත් නැහැ. ඒත් ඡන්දය හරි ක්‍රමයට තියන්න ඕන.

ශ්‍රී ලංකාවෙ ධීවර කටයුතුවලට ඉන්දීය ධීවරයන්ගෙ මැදිහත්වීම ගැන මොකද කියන්නෙ.

මේක හැමදාම ඇදි ඇදී යනව. ඉන්දියානු ධීවරයින් අපේ ධීවර සම්පත් හොරකම් කරගෙන යන එක වැරදියි. යුද්ධ කාලෙ අපි ඔය මුහුදු කලාපයට ගියේ නැහැ.

ඔවුන් ඒ නිසා ඒ ප්‍රදේශයෙ මසුන් ඇල්ලුව. දැන් ඔවුන්ගෙ පරම්පරාවක්ම ඒ මුහුදෙ මසුන් අල්ලනවා. ඉන්දියාව ඔවුන්ට මේ තත්ත්වය පැහැදිලි කර දිය යුතුයි. ඒ කලාපය අපට අයිති කලාපයක් බව ඉන්දීය ධීවරන්ට ඔවුන් කියා දිය යුතුයි.

මහින්ද අමරවීර ඇමතිතුමා ඉන්දියාවට මේ බව පැහැදිලිකර දිය යුතුයි. අනුන්ගෙ මුහුදු සීමාවෙ මසුන් මැරීම නීතිවිරෝධියි.

නව අදහස දක්වන්න