කල්පිටි මුහුදේ මියැදෙන ප්‍ර‍තාපවත් කොරල් පරය | දිනමිණ

කල්පිටි මුහුදේ මියැදෙන ප්‍ර‍තාපවත් කොරල් පරය

නන්දසිරි වැලිගමගේ

අපේ රටේ වැඩිම ජෛව විවිධත්වයක් තිබූ ලෝකයේ තවත් දුර්ලභ කොරල් පරයක් ලෙස සුපතල කල්පිටිය බා රීෆ් නොහොත් මහා බාධක කොරල් පරය මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති. කල්පිටියේ උච්චවේලිවල මුහුදු සැතැපුම් 1-2 අතර පිහිටි මේ අති දුර්ලභ කොරල් පරය වනජීවියට අයත් අභය භූමියකි. මේ කොරල් පරය සහමුලින්ම අක්කර 300ක පමණ වපසරියකින් යුත්ත වුව ද එහි නැරුඹුම් ප්‍රමාණය මීටර 200-300ත් අතර වුවක් විය. මෙහි දුර්ලභ මත්ස්‍ය විශේෂයන් 125ක් පමණ තිබූ අතර විශේෂිත කොරල් වර්ග 200කටත් අධික ගණනක් තිබී ඇත.

මුහුදු කිමිදුම් අංශයේ හා සංචාරක කෙෂේත්‍රයේ නියැළෙන්නකු වූ ඕෂන් ලංකා ආයතනයේ අධිපති ශානක දිල්ෂාන් පෙරේරා මහතා - ලෝකයේ අති දුර්ලභම කොරල් පරයක් ලෙස ජීවමානව තිබූ මේ කොරල් පරය මේ වන විට සම්පූර්ණයෙන්ම විණාශ වී මැරී ගොස් අවසන්. මේ අභය භුමිය ගැඹුර අඩු බිමක්. ඕනෑම කෙනකුට ඉතා ලෙහෙසියෙන් නැගී පහත්වී කොරල් නැරඹීමට හැකියි. මේ ස්වභාවික පිහිටීමම විනාශයට හේතු වුණා කියන්න පුළුවන්. වනජීවිය මේක තෙරුම් ගන්නේ නෑ. මේ ගැන දැනමු ඇති අය කී දේවල් පිළි ගත්තේ නෑ. ඒක මේ මහා අපරාධයට හේතුවක් වුණා.

මේ මහා විනාශයට මානව ක්‍රියාකාරීත්වය 25%ක් වගකිව යුතුයි. අනිත් 25%ට වගකිව යුත්තේ රජයයි, පරිසර අධිකාරීයයි වගේ වනජිවී එකයි.

මෙය විනාශ වෙන්න මේ ප්‍රදේශයට ගෙවී ගිය කාලයේ තිබූ අධික උෂ්ණත්වය හේතු වුණා. ඒත් ඒකට පිළියම් සොයන්න වගකිවයුතු ආයතන උනන්දු වුණේ නෑ. සොයා බැලුවේ නෑ.

කොරල් පරය උඩින්බෝට්ටු සේවාවන් ගෙනියනවා. නොගැඹුරු මුහුද නිසා කොරල්පර කැඩි විනාශ වුණා.

එමෙන්ම විවිධ දැල් වර්ග උපයෝගී කර ගනිමින් කොරල් පරනල මාළු ඇල්ලීම විනාශයට තවත් හේතුවක්. මේ ගැන ගත යුතු ක්‍රියාමාර්ගත් එක්ක වගකිවයුතු අයට අප කීප වතාවක් දැන්නුවා. අවසාන වරට කොරල් පරය වටේට යකට කම්බි වැටක් සවි කරන්න කියා දැන්නුවා. එයට විදුලිය දුන්නා නම් අනවසර ලෙස මේ කොරල් පරය උඩින් බෝට්ටු ඇදගෙන ගොස් එය විනාශ කිරීම නතර වෙනවා.

දැන් වෙන්න තියන දේ සියල්ල සිදුවෙලා ඉවරයි. දැන් තියෙන්නේ අළුතින් මේ කොරල් නැවත් ඇති කිරීමයි.

මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ගවේෂණ නිලධාරියකු වන රුක්ෂාන් මහතා - පසුගිය දිනක මම මේ කොරල් පරය නරඹන්න ගියා. එය රාජකාරී ගමනක් නොවෙයි. ඒ නිසා මේ කරුණු දැක්වීමත් පෞද්ගලිකවයි කියන්න‍ වෙන්නේ. ලෝකයේ මෙවැනි කොරල්පර ඇති ස්ථාන හරිම දුර්ලභයි.

දැන්නම් කොරල් පරයම විනාශ වෙලා ඉවරයි. කොරල් සියල්ලම මැරිලා. විශාල කොටසක් කැඩී ගිහින්.

මේ කොරල් පරය නැවතත් ජීවී මට්ටමකට එන්න අවුරුදු 10ක් විතර යයි. වහා වනජිවීය මැදිහත් විය යුතුයි. අවබෝධයක් ඇති ආයතන හා පිරිස් සමඟ ඒකාබද්ධ වැඩසටහනක් ඇරඹිය යුතුයි. එසේ වුණොත් ඉදරි පස් වසර තුළ මේ කොරල් පරය නැවත ජිවමාන කරන්න පුලුවන් වේවි.

නව අදහස දක්වන්න