වෙසක් පොසොන් | දිනමිණ

වෙසක් පොසොන්

අප්‍රේල් මාසය අලුත් අවුරුදු උදාව සේම සකල ශ්‍රී ලංකාවාසීන්ට බලාපොරොත්තු ගෙන දෙන මාසයයි. අවුරුදු කියා කට ගැන්මටත් කලින් එන වෙසක් සහ පොසොන් උණුසුම මෙයට හේතුවයි. පහන් සිතිවිලි වඩවන මංගල කාරණා මෙනෙහි කරනු වස් ඇති ප්‍රධාන පොහොයවල් දෙකක් වටා දැඩි ජනතා ආකර්ෂණයක් ඇත. ඒ වෙසක් සහ පොසොන් ආශ්‍රයෙන් අප විසින් නිර්මාණය කරගත් උප සංස්කෘතියේ අපූර්වත්වයයි.

අපි කුමන ආකාරයේ බාධා මධ්‍යයේ වුවද උපරිම ආකාරයෙන් ජීවිතය සතුටින් ගෙවීමට යත්න දරන ජාතියක් වෙමු. වෙසක් සහ පොසොන් යන ආගමික වශයෙන් වැදගත් දින දෙක සඳහා පෙළ ගැසෙන්නේ ද ඒ හැඟීමෙනි. දන්සල් යනු එලෙස සතුටු වීම සඳහා මිනිසුන් යොදා ගන්නා මාධ්‍යයකි. දන්සලක් දීමට පොළඹවන කාරණාව තවත් අයෙකුට තම හැකි පමණින් දානයක් දීම හා සම වේ. දන්සල් පෝලිම්වල කිසිවෙකුත් කට්ට කන්නේ නැත. ඔවුන්ට ගෙවල්වල කන්න නැත්තේ ද නැත. දන්සල් වැඳීම ඔවුන්ට සතුටකි. අවුරුදු නිවාඩුවට හමුවූ පැ‍රැණි හිතමිතුරන් වෙන් වන්නේ ළඟ එන වෙසක් සමයේ දන්සල් වන්දනාවේ යාමට කතිකා කරගෙන ය.

එක් එක් සමාජ මට්ටම් නියෝජනය කරන ජනතාව එකම කඩල ගොටුවකින් සහ සිසිල් පැන් වීදුරුවකින් සප්පායම් වන්නේ මේ කාලයේය. දුර වන්දනා ගමන් සංවිධානය ද වෙසක් සහ පොසොන් සමයේ සුවිශේෂි අංගයකි. ගම්වල අදටත් ලොරි රථ සහ ට්‍රැක්ටර් රථවල සිය සමීපතමයන් සමඟ එකට මුසු වී යන ගමන් දැකීමත් ප්‍රිය උපදවන සුළු ය. ඒ යන මඟ දිගටත් අතොරක් නැති දන්සල් ය. දන්සල් වඳින්නට එසවෙන පය පන්සල් යන්නට නොඑසවීම නම් දුකට කරුණකි.

වෙසක් කූඩු සහ තොරණ තවත් බෞද්ධ උප සංස්කෘතියේ අලංකාර අංගයකි. පොසොන් සහ වෙසක් වශයෙන් තොරණ දෙයාකාර වුවද පොහොය දෙකටම ඇත්තේ වෙසක් කූඩු පමණි. වෙසක් කූඩු මැයි මාසයෙන් පටන්ගෙන සමහර විට අවුරුද්ද පුරාවටම හෝ ඊළඟ අවුරුද්දේ මැයි වන තෙක් ම නිවෙස්වල එල්ලී සිටී. උණ බම්බු ආශ්‍රයෙන් මෑතක් වන තුරුම නිවෙස්වල නිර්මාණය කෙරුණු වෙසක් කූඩු දැන් වෙළෙඳපොළ අත්‍යවශ්‍ය භාණ්ඩයකි. කුඩා අට පට්ටමක් කුඩා නොවන මුදලකට අලෙවි කෙරේ. කෙසේ වතුදු වෙසක් කූඩු අලෙවි කිරීමෙන් අහිංසකයන්ගේ අත මිට ටික කලකට හෝ සාර වේ. එහෙත් අලුත් පරපුරට වෙසක් කූඩුවක් සෑදිමෙන් ලද හැකි ආස්වාදය අහිමි වේ.

වෙසක් සුබ පැතුම්පත් මනුෂ්‍ය සබඳතා අලුත් කරවයි. පාසල් ශිෂ්‍යයන් අතර මේවා අතිශය ජනප්‍රිය වේ. ඔවුහු චාරිත්‍රයක් වශයෙන් මේවා හුවමාරු කර ගනිති. බකට් පත්තු කිරීම සහ පහන් පත්තු කිරීමද අනිත්‍යය යන සංකල්පය ඇසිල්ලකින් පහදා දෙන පොහොය සැමරුමකි. වෙසක් සහ පොසොන් පොහොය සැමරීමට එක් වූ විපරීත අංගයක් ලෙස වෙස් මුහුණු හැඳින්විය හැකිය. ඇට සැකිලි, යක්ෂයන් සහ හොල්මන් රූප යොදා නිර්මාණය වූ මේවායෙන් නිරූපණය කෙරෙන්නේ යක්ෂ-ප්‍රේත ලෝක පිළිබඳ ගැඹුරු සංකල්පයක් නම් නොවේ. බටහිර නූතනත්වයේ කුණු බෞද්ධ සංස්කෘතිය ආක්‍රමණය කිරීම මේ වෙස් මුහුණු කියන කතාවයි. පෙරහැර අවුරුදු ගණනාවක් තිස්සේ පොහොය දිනයේ අසිරිය වඩවන සංස්කෘතික පෙළහරයි. ඒ ආශ්‍රිත අතීතකාමය මුසු පහන් සිතිවිලි ඒ අත්දැකීම විඳගත් අය අතර ඇත. කුඩා අවධියේ අප්පච්චිගේ කර මත සිට බැලූ නිසා පෙරහැර යනු ආහ්ලාදජනක මතකයකි.

චිත්‍රපටයක පූර්ව ප්‍රචාරක පටය නිකුත් කළ දින සිට එය බැලීමට දැඩි උනන්දුවක් ඇති වන්නේ යම් සේද වෙසක් සහ පොසොන් පිළිබඳවද එසේමය. අප්‍රේල් මාසය මේ ඉදිරි කාලය පිළිබඳ ඉඟි කරවන පූර්ව ප්‍රචාරක පටයයි. එය අවසානයේ ළඟදීම ඔබේ සිනමාහලට හෙවත් කමින්ග් සූන් එක වනුයේ වෙසක් සහ පොසොන් පොහොය දිනයන් ය. ජූනි මාසයෙන් පසු මාස කිහිපය උපේක්ෂාවෙන් යුතුව ගෙවන්නේ එළඹෙන අවුරුද්දේ ද මේ හැඟීම් මෙලෙසින් ම විඳීමේ බලාපොරොත්තුවෙනි.

තිසරණී විජයබණ්ඩාර
@Thizuu

නව අදහස දක්වන්න