වැඩ කරන ජනතාව වගකීම් සහගත සමාජ බලවේගයක් | දිනමිණ

වැඩ කරන ජනතාව වගකීම් සහගත සමාජ බලවේගයක්

රට තුළ සංහිඳියාව ගොඩනැගීමේදීත්, ආර්ථික සමෘද්ධිය අත්කර ගැනීමේදීත් වැඩකරන ජනතාව වෙත අත්හළ නොහැකි වගකීමක් පැවැරී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් මැයි දින සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා එසේ කියා සිටියි.

ජනාධිපතිවරයාගේ සුබපැතුම් පණිවුඩයේ මෙසේ ද සඳහන් වේ.

මිනිස් ශ්‍රමය විසින් ගොඩනැංවූ ශිෂ්ටාචාරයේ උපරි ව්‍යුහය, මිනිස් ශ්‍රමයේ අභිමානවත් උත්තුංගබව ඉදිරියේ දණ නැවූ ඓතිහාසික සංසිද්ධිය සිහිකරමින් සැමරෙන ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මෙම පණිවුඩය නිකුත් කරන්නේ මැයි දිනය සමරන ලොව පුරා සහෝදර කම්කරුජනතාව වෙත ආචාරය ද පළ කරමිනි.

මිනිසුන් යදමින් බැඳ ඔවුන් තම දේපොළක් ලෙස සලකා හාම්පුතුන් කටයුතු කළ අතීතයක සිට වෘත්තිය අයිතීන් වෙනුවෙන් එක් වටමේසයක සිට, හාම්පුතුන් සමග කේවල් කරන වර්තමානය දක්වා කම්කරුවා පැමිණි මාවත, ලෙසින්ද දහදියෙන් ද කඳුළින් ද ඉදිවූවක් බව සිහිකැඳවා ගන්නට ජාත්‍යන්තර කම්කරු දිනය අපට බලකර සිටියි. එස් ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා විසින් මැයි දිනය ශ්‍රී ලංකාවේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයටපත් කළ තැන් සිට ශ්‍රී ලාංකික කම්කරුජනතාව දිනාගත් ජයග්‍රහණ අවලෝකනයට ද මැයි දිනය නිමිති සපයයි.

ඒ දිගුකාලීන අරගල මාවතෙන් පන්නරය ලැබ, නූතන ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ව්‍යුහයේ තීරණාත්මක බලවේගය ලෙස කටයුතු කරන වැඩකරන ජනතාව, ශ්‍රීලංකාව වෙත ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමේ අරගලයේ ද තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බව සිහිපත් කරනු කැමැත්තෙමි. රට තුළ සංහිඳියාව ස්ථාපනය කිරීමේ සහ ආර්ථික සමෘද්ධිය අත්කර ගැනීමේ අරගලය ඇතුළු ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අභියෝගයන් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ද ලංකාවේ වැඩකරන ජනතාව වෙත පැවරී ඇති වගකීම අත්හළ නොහැකි එකකි.

තම වෘත්තීය අයිතිය සහ වරප්‍රසාද වඩා ශක්තිමත් කරගන්නා අතර, රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලිය වෙත මෙන්ම නව ලෝක ප්‍රවණතා වෙත ද සංවේදී වෙමින් වඩාත් වගකීම් සහගත සමාජ බලවේගයක් ලෙස වැඩකරන ජනතාව ක්‍රියාකරනු ඇතැයි මම විශ්වාස කරමි.

1917 ශ්‍රේෂ්ඨ රුසියානු විප්ලවය ජයග්‍රහණය කොට වසර සියයක් සම්පූර්ණ වෙන මෙම වසරේදී සැමරෙන මැයි දිනය, වඩාත් ජවසම්පන්න ආවේශයක් අප සැම වෙත ලබාදී ඇත. එම උණුසුම් ජවයෙන් අද මැයි දිනය සමරන ලොව පුරා වැඩකරන ජනතාව සමඟ මම ද එක්වන අතර, ඈත අතීතයේ සිට මිනිස් නිදහස සහ කම්කරු අයිතිය වෙනුවෙන් දිවි දුන්, මොරදුන්, දහදිය කඳුළු දුන් ලොවපුරා සියලු කම්කරු සහෝදරයින් වෙත ගෞරවාචාරය පළකරමි. 

 

නව අදහස දක්වන්න