මුහුණු මාරු කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න බෑ | දිනමිණ

මුහුණු මාරු කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න බෑ

සමන්මලී ප්‍රියශාන්ති

මුහුණු මාරු කිරීමෙන් හෝ ආණ්ඩු මාරු කිරීමෙන් රටේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය හා සමානාත්මතාවය ඇති කිරීමට හැකියාවක් නැතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ප්‍රකාශ කළේය.

රටේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ හැකි වන්නේ ධනවාදයෙන් නොව සමාජවාදයෙන් බව කී ඒ මහතා ඒ අරමුණ කරා යාමට ශක්තිමත් ශ්‍රී ලාංකේය වාමාංශික ව්‍යාපාරයක් බිහි කිරීමට සියලු දෙනා එක් විය යුතු බවද පැවසීය.

ලෝක කම්කරු දිනය සැමරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය බැස්ටියන් මාවතේ දී පැවැත්වු මැයි දින රැලියට එක් වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළේය. අධිරාජ්‍යවාදී නව ලිබරල් වැඩපිළිවෙළට එරෙහි වැඩකරන ජනතාවනි නැඟිටිව් යනුවෙන් මේ මැයි රැලිය සංවිධානය කර තිබිණි.

එහිදී වැඩි දුරටත් අදහස් පළ කළ ගුණරත්නම් මහතා මෙසේද කීවේය.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා සමානාත්මතාවය ඇති කිරීමට නම් සැබෑ වාමාංශික ව්‍යාපාරයක් ගොඩනැඟිය යුතුයි. ධනවාදය ක්‍රියාත්මක වීමේන් රට ආර්ථිකමය වශයෙන් පරිහානියට යනවා‍.

පැය අටක වැඩ මුරයක් දිනා ගැනීම සඳහා අමෙරිකාවේ කම්කරු පන්තිය ගෙන ගිය අරගලයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වු ජාත්‍යන්තර කම්කරු දිනය ලොව පුරා වැඩකරන ජනතාව විසින් නැවත නැවත ස්මරණය කරමින් අඛණ්ඩව වසර 131 ඉදිරියට ගෙනැවිත් තිබෙනවා. එදා කම්කරුවන්ගේ වැඩ මුර තිබුණේ පැය 12, 14, 16 වගේ. 1886 මැයි 1 දිනයේ කම්කරු වෘත්තීය සමිති තීන්දු ගත්තා මේ වැඩමුරය පැය 8ක් කරන්නට. පාලක පන්තිය මෙය නිකම්ම ප්‍රදානය කළේ නැහැ. මේ වෙනුවෙන් වැඩකරන පන්තිය උද්ඝෝෂණ කළා. වැඩවර්ජන කළා. පාලක පන්තිය මේවා මර්දනය කළා. කම්කරු නායකයන් ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගත්තා. ඝාතනය කළා. එය අපි කවුරුත් දන්නා ඉතිහාසයයි. අද අපි මේ තැනට එකතු වෙලා කම්කරු දිනය ගැන කතා කරන වෙලාවේ ඉතිහාසයේ සරදමක් තිබෙනවා. එදා පැය 8 ක් වෙනුවෙන් සටන් කරපු කම්කරුවෝ අද වැඩමුරය පැය 10, 12ක් ඉල්ලන තත්ත්වයක් ආයෙත් ඇති වෙලා තිබෙනවා. අතිකාල ඉල්ලනවා. අද කම්කරුවෝ අතර අතිකාල ඉල්ලන තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. අතිකාල ගන්න විශාල තරගයක් තිබෙනවා. විවිධ හිතවත්කම් පානවා හාම්පුතුන් එක්ක. අද රටේ තත්ත්වය අනුව කම්කරුවන්ට පැය 8ක් නෙවෙයි පැය 12, 13 වෙලා තවත් රස්සාවක් කරන්නත් වෙලා තිබෙනවා. එදා 1886 ඉදන් ගෙවුණු මේ කාලය තුළ කම්කරු පන්තියේ තත්ත්වය එන්න එන්න නරක අතට හැරිලා. කම්කරු පන්තියට, ජනතාවට යහපතක් කරලා නැහැ. අපේ රටේ අපේ අත්දැකිම් බැලුවාම වුවත් මේ තත්ත්වයේ වෙනසක් සිදු වෙලා නැහැ.

කොන්ත්‍රාත්ක්‍රම, මෑන් පවර් ක්‍රම, අනියම් සේවකයන් ස්ථිර නොකරන තත්ත්වයන් ඇති වෙලා. කම්කරුවන් සුරා කෑමට ලක් වෙලා. මේ පැය අටක වැඩ මුරය ඇයි කම්කරුවන්ට අද මදි වෙලා තිබෙන්නේ. මේ පැය අටක වැඩ මුරයෙන් තමන්ගේ මුලික අවශ්‍යතාවන් ටිකවත් ඉටු කර ගන්න මේ අයට හැකියාවක් නැහැ. තමන්ට අවශ්‍ය ප්‍රමාණයේ වැටුපක් ලැබෙන්නේ නැහැ. ඒ නිසි ඔවුන්ට සිදු වෙලා තිබෙනවා රැකියා දෙක තුන කරන තත්ත්වයට පත් වෙන්න.

අපේ කුඩා දරුවන්ටත් පොඩි කාලෙම අනාගත ශ්‍රම බලකායට එකතු වෙන්න සිදු වෙලා තිබෙනවා. මේ දරුවන්ට දැන් විභාග පැවැත්වෙන්නෙත් අනාගත ශ්‍රම බලකාය ඉලක්ක කරලා. එයයි යථාර්ථය එයයි අප දන්නා කාරණය. එදා පැය අටක වැඩ දිනයක් ඉල්ලා සටන් කළ කම්කරු පන්තියේ වර්තමාන තත්ත්වය මෙයයි. අද වර්තමාන සාමාජයට ධනවාදය විසින් කිසිම හොඳක් කරලා නැහැ. එන්න එන්න කම්කරුවන්ගේ, ගොවින්ගේ, කාන්තාවන්ගේ, සිසුන්ගේ, බුද්ධිමතුන්ගේ, වෘත්තිකයන්ගේ තත්ත්වය පහළ දමා තිබෙනවා. මේ නිසා අපි තේරුම් ගන්න අවශ්‍ය වන්නේ අපේ ඒකායන වැඩපිළිවෙළ සකස් විය යුතු වන්නේ අනාගත සමාජවාදය ගොඩනැඟීමට දැක්මක් ඇති කර ගැනීමයි. එය ලෝක තත්ත්වයක් වෙනවා. අපි එහි ලාංකිය කාර්යභාරය ඉටු කරන්නට පෙරමුණ ගත යුතු වෙනවා.

ජාත්‍යන්තර කම්කරු දිනය ගැන කතා කරන මේ වෙලාවේ අපේ රටට මොකද වෙලා තිබෙන්නේ. රටේ දේශපාලන තත්ත්වය කොහොමද? අද මීතොටමුල්ලේ සමුහ ඝාතනයක් සිදු වෙලා තිබෙන්නේ. ඒ ජනතාව තමන්ගේ දෙමාපියන්, දරුවන්, සහෝදරයන් ගැන හුල්ල හුල්ල ජීවත් වෙන තත්ත්වයක් අද තිබෙන්නේ. දොම්පේ, කරදියාන, ජාඇල ජනතාව කුණු එපා කියලා උද්ඝෝෂණ කරන තත්ත්වයක් තිබෙන්නේ. මේ කුණු කන්ද ගොඩ ගැහුවේ පසුගිය ආණ්ඩුවයි. වත්මන් ආණ්ඩුව ඒ කුණු කන්ද ඉදිරියට ගෙන ගියා. ධනවාදයට මේ තත්ත්වය විසඳන්න බැහැ. සරල කුණු ප්‍රශ්නයක්වත් මේ ධනවාදයට විසඳන්න බැහැ.

දැන් මාස ගණනක ඉදලා අධ්‍යාපනය මුදලට විකුණන්න එපා කියලා සිසුන් උපවාස කරනවා. පන්ති වර්ජනය කරනවා. ජනතාව උද්ඝෝෂණය කරනවා. සයිටම් ගෙනාවේ කවුද? අධ්‍යාපනය මුදලට විකිණීම හඳුන්වා දුන්නේ කවුද? පසුගිය බලයට පත් වු සියලු ආණ්ඩු ජේ.ආර්, රනිල්, චන්ද්‍රිකා මේවා ගෙනාවා. මහින්ද තවත් ඉදිරියට ගෙන ගියා. අද රනිල්, මෛත්‍රී හවුලත් මේවා ඉදිරියට ගෙන යනවා. අද වන විට වර්තමාන තත්ත්වය මෙයයි. ඛනිජ තෙල් සේවකයෝ උද්ඝෝෂණ කළා තෙල් ටැංකි ඉන්දියාවට විකුණන්න එපා කියලා. මහින්ද රාජපක්ෂ කිඹුල් කඳුළු හෙළුවා ඉන්දියාවට හිතවත් ආණ්ඩුවක් තිබෙන්නේ මේ තෙල් ටැංකි විකුණන්න එපා කියලා. ව්‍යාජ ඉන්දියානු විරෝධයක් පෙන්නලා කිඹුල් කඳුළු හෙළුවා. සියලු ආණ්ඩු මේ වැඩේටත් හවුල්. ඒ අයට සල්ලි ලැබුණා. ඒවා තමන්ගේ සාක්කුවට දා ගත්තා. දැන් මේ රජයත් ඒවා ඉදිරියට ගෙන යනවා. මේවාට විරුද්ධ වුණේ නැහැ. ගිවිසුම් අහෝසි කළේ නැහැ. දැන් ආයේ විකුණන්න යද්දි කිඹුල් කඳුළු හෙළනවා. මේ බලයට ආපු හැම ආණ්ඩුවක්ම එකම ප්‍රතිපත්තිය ගෙන යන්නේ.

උතුරු මැද, ජනතාව වකුගඩු රෝගය නිසා මිය යනවා. මේකට මොකක්ද ධනවාදය දුන්න විසඳුම. මේ ආණ්ඩුවට පසුගිය ආණ්ඩුවට විසඳුමක් තිබුණද? මේ තත්ත්වය විසඳන්න කිසිම රජයට බැහැ. හැම රජයක්ම වස විෂ පුළුවන් තරම් වර්ධනය කරලා බහුජාතික සමාගම්වලට මුදල් හම්බ කර ගන්න දීලා එයින් කොටසක් තමන්ගේ සාක්කුවටත් දා ගන්න කටයුතු කළා. මේ නිසයි මේ ජනතාව වකුගඩු රෝගීන් වෙලා තිබෙන්නේ. අපට ධනවාදය උරුම කළේ මේ දේවල් තමයි. යථාර්ථය එයයි. මේ සියලු ආණ්ඩු අපට උරුම කළ දුන්නු යථාර්ථය. මේ නිසා අපට තිබෙන එකම විකල්පය එක් ආණ්ඩුවක් වෙනුවට තවත් ආණ්ඩුවක් බලයට ගෙන ඒම නෙවෙයි. එක පක්ෂයක් වෙනුවට තවත් පක්ෂයක් එක නායකයෙක් වෙනුවට තවත් නායකයෙක් නෙවෙයි. ධනවාදය සම්පුර්ණයෙන් පරාජය කිරීමේ දේශපාලන වෙනසකට අපි අවතීර්ණ වෙන්න ඕනේ.

එදා කම්කරු අරගලය ආරම්භ වු වෙලාවේ අමෙරිකාවේ ආර්ථික අවපාතයක් තිබුණේ. දැඩි අර්බුද තිබුණා ජනතාව අතර. ඒ වගේම අධිරාජ්‍යවාදය ඇති වු කාලය ද එයයි. එදා ධනවාදයේ කේන්ද්‍රය වු රටේ ආර්ථික අවපාතය එද්දි ප්‍රජාතන්ත්‍රවාදය එක්ක මේ අය කටයුතු කළේ. ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීම එක්ක ආර්ථිකය සම්බන්ධ වුණේ කොහොමද?

මේක ලංකාවේ දේශපාලනඥයන්ට, සමහර වාමාංශිකයි කියා ගන්නා දේශපාලනඥයන්ට තේරෙන්නේ නැහැ. සිවිල් සංවිධානවලට තේරෙන්නේ නැහැ. ඒ අය හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදය උඩින් ගේන්න පුළුවන් කියලා. සමහර නායකයන්ට ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න පුළුවන් කියලා හිතනවා. ඒ තත්ත්වය 1886 පැය අටේ වැඩ දවස ඉල්ලා සටන් කළ කම්කරුවන්ගෙන් ඉගෙන ගත යුතු පාඩමක් වෙනවා. අපේ රටේ ඉතිහාසයේ වසරක් පාසා ඉගෙන ගන්නා යථාර්ථයක් මෙය.

පළමු වැනි ලෝක යුද්ධය, දෙවැනි ලෝක යුද්ධය වගේ දේවල් ඇති වුණේ කොහොමද? ධනවාදය පාර කැපුවේ රස්සා නැති කරන්න. බැංකුවලින් ණය ගන්න බැහැ. හිට්ලර් වැනි අය නිර්මාණය වන දේශපාලන වටපිටාවක් මේ ධනවාදය තුළ තිබෙනවා. ප්‍රජාතන්ත්‍ර විරෝධි තත්ත්වයන් වර්ධනය වන්නේ මෙවන් වටපිටාවන් මතයි.

අපේ රටට මේ නව ලිබරල් ආර්ථිකය හඳුන්වා දුන් අවස්ථාවේ කම්කරු පන්තිය මර්දනය කළා. ධවල පත්‍රිකා ගෙනත් අධ්‍යාපනය විකුණන්න හැදුවා. අපේ රටේ ජනතාවගේ ප්‍රජාන්ත්‍රවාදය අහිමි වීමේ දේශපාලන ගමන එදා 1971 දී ආරම්භ වුණා. 1977 විධායක බලතල සහිත ක්‍රමයක් ඇති වුණා. අද පොළොන්නරුවේ ගොවි පුතා ඒ විධායක ක්‍රමය භාවිත කරමින් ඉන්නවා. මේ ආර්ථිය 77 ආවේ චණ්ඩ කුණාටුවක් වගේ. පීඩිත පන්තිය තවත් පීඩාවට පත් කරලා තමයි මේ ප්‍රවාහය ආවේ. එය තමයි දෙමළ ජනතාවට විරුද්ධ මහා සංග්‍රාමයක් බවට පත් වුණේ. 1983 අපි එය දැක්කා. පස්සේ 1989- 89 ලංකාව ලේ විලක් කළා. ආර්ථික අර්බුද එද්දි පාලක පන්තිය, පාලක ආණ්ඩුව අර්බුදවලට විසඳුම් ගේන්නේ අමතර බලයක් එක්කයි. අපිට උදාහරණ තිබෙනවා. චන්ද්‍රිකා රජය, රාජපක්ෂ රජය මේ සියල්ල උදාහරණයි. ඒ කාලේ 2015 පෙර ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වුණේ කොහොමද? ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් නැති වුණාම අපේ ජනතාව උද්ඝෝෂණය කරනවා. මේවාට දෙන විසඳුම තමයි මර්දනය.

ජනාධිපතිතුමා කියනවා. වැඩවර්ජන උද්ඝෝෂණ වැඩි නිසා ජන ජීවිත කඩා වැටිලා මේ ජීවිත යථා තත්ත්වයට පත් කර ගන්න මීට වඩා ක්‍රම ගේන්න ඕනේ කියලා. ෆොන්සේකා මහතාට එය බාර ගන්න පුළුවන් කියනවා. මේවා විහිළු කතා නෙවෙයි. මේවා තමයි පෙනෙන්න තිබෙන්නේ.

ලෝක බැංකුව උපදෙස් දෙන්නේ අධ්‍යාපනයට මුදල් වෙන් කරන්න එපා, සෞඛ්‍යයට මුදල් එපා, රාජ්‍ය ආයතනය විකුණන්න කියලා. දැන් රජයට ඕනේ ඒක කරන්න. රජයට මුදල් නැහැ. මේ නිසා බදු ගහනවා. පොඩි මිනිහාට තමයි බදු ගහන්නේ. ජනතාව අද එන්න එන්න පීඩාවට පත් වෙනවා. මේකට එරෙහිව ජනතාව උද්ඝෝෂණය කරන විට විසඳුම් දෙන්න බැහැ. මර්දනය තමයි ගේන්න පුළුවන්. මේ ප්‍රකාශවලින් හෙළි වෙන්නේ ගෝඨාභය කෙනෙක් නැවත ගේනවා කියලා නෙවෙයිද?

අපි දන්නවා ෆොන්සේකාගේ පැටිකිරිය. යුද්ධ කාලේ ඔහුගේ ප්‍රජාන්ත්‍රවාදය අපි දැක්කා. එයාගෙයි ගෝඨාභයගෙයි වෙනසක් අපි දකින්නේ නැහැ.

අද ජනාධිපතිට බණ කිය කිය රට පාලනය කරන්න බැහැ. ජනතාව පාරට බැහැලා සටන් කරනවා. දැන් තිබෙන්නේ මර්දනයේ පොල්ල ගේන්න විතරයි. 2015 යහපාලන වෙනසක් ගැන ප්‍රජාතන්ත්‍රවාදය නැවත ගේන්න පුළුවන් කියලා විශ්වාස කළ අයට මතක් කරන්න කැමැතියි මුහුණු මාරු කරලා ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න බැරි බව.

ප්‍රජාත්ත්‍රවාදය රටේ ආර්ථික තත්ත්වයන් එක්ක සම්බන්ධයි. රටේ ආර්ථිකය නරක නම් තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය ගෙන්න බැහැ. ගොවි පුතකුට එය කරන්න පුළුවන් කියලා හිතුවාට මේ දේශපාලන සමීකරණය ඊට වඩා වෙනස් විදිහට විසඳන්න අවශ්‍යයි.

සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය සමානාත්මතාවය ඇති කරන්න නම් ලාංකේය සමාජවාදය ගොඩනඟන්න අවශ්‍යයි. ඉන් මෙහා අපට විසඳුමක් නැහැ කියලා මේ කාරණාවලින් අපට පැහැදිලි වෙනවා.

සැබෑ වාමාංශික ව්‍යාපාරය ගොඩනැඟීමෙන් පමණයි අපට මේ සියල්ල ජය ගත හැකි වන්නේ යැයි පැවසීය.

වෙනසකට තාරුණ්‍යය සංවිධානයේ සංවිධායක සුජිත් කුරුවිට, නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සංවිධායක හේමමාලි අබේරත්න, ගොවි අරගල ව්‍යාපාරයේ සංවිධායක විමල් වාත්තුහේවා, කම්කරු අරගල මධ්‍යස්ථානයේ කැඳවුම්කරු දුමින්ද නාගමුව, පුබුදු ජාගොඩ, චමීර කොස්වත්ත මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් ව සිටියහ.

ඡායාරූපය - රුක්මල් ගමගේ 

නව අදහස දක්වන්න