වැව් හිඳිලා-මල් මැරිලා කිඹුලන් ගැවසෙනවා- අතපය සීරෙනවා | දිනමිණ

වැව් හිඳිලා-මල් මැරිලා කිඹුලන් ගැවසෙනවා- අතපය සීරෙනවා

තඹුත්තේගම විශේෂ ඩබ්ලිව්. ප්‍රදීප්

අනුරාධපුරය අටමස්ථානය වන්දනාමාන කරන්න එන අයට නෙළුම් මල් විකුණා දිවි සරි කර ගන්නා වෙළෙඳුන්ගේ ජීවිත කතා මල් තරම් පියකරු නැති බව ඔවුහු පවසති. තුන්සිය හැටපස් දවස තිස්සේ ගිනි ගහන අව්වටත්, ඇදවැටෙන වැස්සටත් මැදිවී ඔවුහු ජීවිතය සොයති. සමහරකු වැව් දිය පීරා මල් කඩා විත් වන්දනාකරුවන්ට අලෙවි කොට දවසේ වියදම සරි කර ගනිති. තවත් සමහරකු කඩන ලද මල් තොග පිටින් වෙළෙඳුන්ට විකුණා කීයක් හෝ උපයා ගනිති. නමුත් මතුව ඇති පෑවිල්ලට වැව් සිඳී මල් හිඟවීමෙන් සියල්ලෝම අසරණ වී ඇත.

මේ පුදබිමේ සිද්ධස්ථාන අභිමුව ස්ථිරව හෝ තාවකාලිකව අටවන ලද මඩු තුළට වී මල්, හඳුන්කුරු ආදිය විකුණා දිවි ගැටගහ ගන්නා අය මෙන්ම තැන තැන මහ මඟ රැදෙමින් වෙළෙදාමේ යෙදෙන පිරිසක් ද වෙති.

අනුරාධපුරය ලෝලුගස්වැව ගමේ සිට පැමිණ වෙස්සගිරිය පෙනෙන මානයේ මහ මඟ මල් විකුණන සරත් විජේන්ද්‍ර - දැන් අවුරුදු 10ක් විතර තිස්සේ මං මේ රස්සාව කරන්නේ. දරුවන්ගේ වියදම්, අනිත් හැමදේම කරගන්නේ මේකෙන්. හවස 4ට විතර ඇවිල්ලා රෑ 8ට විතර යනවා. රුපියල් 1,000-1,500ක් හොයා ගත්තත් දවෙස් මහන්සියයි වියදමයි බලපුවහම ඉතුරුවක් නෑ. නිකංම ආපහු යන දවසුත් ඕනතරම් තියනවා. පහුගිය අවුරුදු දවස් වලත් මං මෙතැන මල් විකුණන්ඩ ආවා. නොනගතේට කට්ටිය අටමස්ථානේ එනවනේ.

අනුරාධපුරය, දෙකේ කණුව හන්දියට මදක් ඔබ්බෙන් මහ මඟ මල් විකුණන ශ්‍රාවස්තිපුර, ඉන්දික කුමාර ප්‍රේමසිරි - සැඳැහැවතුන් සල්ලි දීලා මලක් පූජා කරන්න දෙපාරක් හිතනවා. සවස් වෙනකොට තියෙන මල් ටික එහෙම්මම විසිකරලා යනවා. වෙන මොනවා කරන්න ද. මං ගොඩක් වෙලාවට සති අන්තෙයි, නිවාඩු දවස්වලයි තමයි මෙතනට එන්නේ. මලක් රුපියල් 10ට දෙන්නේ. ඒකත් වැඩියි කියනවා. අපි විඳින දුක මහන්සිය කවුරුවත් දන්නේ නෑ.

මල් තොග වශයෙන් සපයන තලාව ඊ. එම්. තුෂාර -මේ දවස්වල නෙළුම් මල් හිඟයි. තියෙන පෑවිල්ල හින්දා වැව්වල මල් හොයාගන්ඩ විදිහක් නෑ. බොහෝම අමාරුවෙන් තමයි මල් හොයාගන්නේ. ගම්වල තියන කොටු වැව් ගොඩක් හිඳිලා. නෙළුම් යායවල් පිටින් මැරිලා. ඒත් අපෙන් මල් ගන්න වෙළෙන්දෝ, වඳින්න එන කට්ටිය ඒ ගැන හිතන්නේ නෑ. මල් කඩන්ඩත් ලේසි නෑ. සමහර වැව්වල කිඹුල්ලු. නෙළුම් දඬුවලට අත පය සීරෙනවා. එහෙම දුක් විඳලත් අවසානේ රුපියල් 2කට තමයි මලක් දෙන්නේ.

නව අදහස දක්වන්න