මව ට්‍රොලියට නගිද්දී දරුවා බිහිවී බිම වැටී මරුට | දිනමිණ

මව ට්‍රොලියට නගිද්දී දරුවා බිහිවී බිම වැටී මරුට

කළුතර මධ්‍යම සමූහ

ප්‍රසූත වේදනාවෙන් සිටි මවක් ත්‍රිරෝද රථයකින් පිඹුර මූලික රෝහලට ගෙනැවිත් ඇති අතර ඇය ත්‍රිරෝද රථයෙන් බැස රෝහලේ ට්‍රොලියට නගිනවිට දරුවා බිහිවී බිම පතිතවීම නිසා මිය ගියැයි කියන සිද්ධියක් කළුතර නාගොඩ මහ රෝහලේ පැවැති හදිසි මරණ පරීක්ෂණයකදී අනාවරණය විය.

එසේ මියගොස් ඇත්තේ ගීකියනකන්දවත්ත ඉහළ කුඩලිගම කොටසේ පදිංචි ජෝදි මෝහන කුමාරි (අවු.34) යන අයගේ දෙවැනි පිරිමි දරුවායි.

වැලිපැන්න හදිසි මරණ පරීක්ෂක නිහාල් ජයනෙත්ති මහතා ඉදිරියේ පැවැති එම හදිසි මරණ පරීක්ෂණයේදී ගීකියනකන්දවත්තේ පදිංචි කන්තන් වසන්ත කුමාර (අවු.22) යන අය සාක්ෂි දෙමින් මෙසේ කීය.

මියගොස් ඇත්තේ මගේ අක්කා බිහි කළ දරුවායි.

සිද්ධිය වූ දින ප්‍රසූත වේදනාවෙන් සිටි අක්කාත් මාත් නැන්දාත් ත්‍රිරෝද රථයකින් පිඹුර රෝහලට ගෙන ආවා.

අක්කා ත්‍රිරෝද රථයෙන් බැස රෝහලේ ට්‍රොලියට නගින්න හදනවිට ඇය ප්‍රසූත කර සිටි දරුවා බිම ඇද වැටුණා.

පසුව රෝහල් කාර්යමණ්ඩලය අක්කාත් දරුවාත් නාගොඩ රෝහලට යැව්වා. දරුවා එහිදී මිය ගියා.

මෙහිදි නීලවේගම් රදී දේවි (අවු.34) යන අය සාක්ෂි දෙමින් මෙසේ කීවාය.

මිය ගොස් ඇත්තේ මගේ මල්ලිගේ විවාහක බිරිඳ ප්‍රසූත කළ දරුවායි. මගේ මල්ලි ගාල්ල බූස්ස බන්ධනාගාරයේ වසර 8ක සිර දඬුවමක් විඳිමින් සිටිනවා.

පසුගිය වසරේ සැප්තැම්බර් මස 06 වන දින ඔහු සතියක තාවකාලික නිවාඩුවක් සඳහා සිර ගෙදර සිට ගෙදර පැමිණි‍යා.

ඒ ආ අවස්ථාවේ අපේ ගෙදරටත් පැමිණ ගියා. මල්ලි නිවාඩු ඉවරවී නැවත බන්ධනාගාරයට ගිය පසු ඔහුගේ බිරිඳ ඇගේ දෙමාපියන් ළඟට ගියා. ඇය ගැබ්ගෙන සිටි බවක් අප දැන සිටියේ නැහැ.

සිද්ධිය වූ දින ඇයගේ මල්ලි අපට කතා කර මේ බව කිව්වා. අප රෝහලට එනවිට දරුවා මිය ගොස් තිබුණා. ත්‍රිරෝද රියෙන් බැස ට්‍රොලියට නගිනවිට දරුවා බිම වැටුණ බව රෝහලේ ආරක්ෂක නිලධාරියා කිව්වා.

මල්ලි හිරගෙදර සිට ගෙදර පැමිණ සිටි කාලයේ මේ දරුවා පිළිසිඳ ගන්නට ඇතැයි අප සිතනවා.

මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළ කළුතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එස්. එස්. අත්තනායක මහතා මළ සිරුරේ අස්ථි කොටස් ඉදිරි පරීක්ෂණ සඳහා කළුතර මහ රෝ‍හලේ පරීක්ෂණාගාරයට යවා තිබුණි. ඉදිරිපත් වූ සාක්ෂි සහ අධිකරණ වෛද්‍ය නිලධාරිවරුන්ගේ වාර්තා සලකා බැලූ මරණ පරීක්ෂකවරයා මේ පිළිබඳ විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.

මතුගම පොලිසියේ කොස්තාපල් (46560) ශාන්ත මහතා මෙහිදී සාක්ෂි මෙහෙයවිය. 

නව අදහස දක්වන්න