මිල්ලනිය උඩුවර දිප්පිටිගොඩ අමුණ අබලන් | දිනමිණ

මිල්ලනිය උඩුවර දිප්පිටිගොඩ අමුණ අබලන්

කුඹුරු අක්කර 100ක් පුරන්

මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිමැටිය ඇළ හරහා 1954 වර්ෂයේදී ඉදිකළ උඩුවර දිප්පිටිගොඩ අමුණ අබලන්වීමෙන් වසර දහයක පමණ කාලයක සිට කුඹුරු අක්කර දහසකට පමණ ජලය ලබාගැනීමට නොහැකිවී ඇතැයි උඩුවර, දිප්පිට ගොවීහු කියති.

මේ සම්බන්ධව අදහස් දැක්වූ උඩුවර අරුණ ගොවි සංවිධානයේ ඩබ්ලිව්. යසපාල මහතා,

උඩුපුරේ වෙල්යාය, දිප්පට වෙල්යාය, කඳන යාය, කෙසෙල්හේනාව යාය, හන්දිරන්විල සහ කටුවල යාය ඇතුළු කුඹුරු යාය රැසක අක්කර දහසකට වැඩි ප්‍රමාණයකට මේ අමුණ මඟින් ජලය ලබාගැනීමට හැකියි. නමුත් ලෑලි දිරල විනාශවෙලා. ප්ලේට් දොරක් දාන්න ඕන. වතුර පිරුනම අතින් දාන ලෑලි ගලවන්න බැහැ. ඒ නිසා ප්ලේට් දොරක් දාන්න කියල ගොවිජනසේවා දෙපාර්තමේන්තුවට, දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට, ගොවි ජනසේවා නිලධාරින් ඇතුළු කියන්න තියෙන හැම තැනටම කිව්වා. නමුත් වැඩක් වුණේ නැහැ. අපේ කුඹුරු පුරන්වෙලා ගියා.

උඩුව කේ. සුනිල් මහතා,

උඩුවර, දිප්පිටිගොඩ, මුවපට්ටිය ඇතුළු ප්‍රදේශ රැසකට අමුණ හරහා යාමට ඇත්තෙ අඟල් හයක් පළල පාලමකින්. වී ගෝනියක්වත් එගොඩ - මෙගොඩ රැගෙන යන්න බැහැ. ට්‍රැක්ටරයක් එගොඩ යායට ගෙනයන්න බැහැ. ඒ නිසා අමුණ හරහා ට්‍රැක්ටරයක්වත් රැගෙනයාමට හැකි පරිදි පාලමක් තනාදෙන්න කියල බලධාරින්ට යෝජනා කළා. ඒ යෝජනා දශක ගණනක් සිට හමස් පෙට්ටිය දාල නිසා ගොවිතැන් අතහැරදාල ප්‍රදේශයේ කුඹුරු අක්කර 800ක් 1000ක් විතර මුළුමනින්ම පුරන් වෙලා.

උඩුවර සයිමන් සිඤ්ඤෝ මහතා,

මිල්ලනිය ගොවිජනසේවා කොට්ඨාසයට අයිති දිප්පිටිගොඩ අමුණ ප්‍රතිසංස්කරණය කර කිරිමැටිය ඇළ හෑරීම කළයුතු බව ගොවිතැනට සම්බන්ධ නිලධාරින් සියලු දෙනාට දැනුම් දීල තියෙනවා. නිලධාරින් කාර්යාලවල ඉඳගෙන ගොවි ගැටලු විසඳන නිසා ගොවීන්ට කුඹුරු වගාවට අවශ්‍ය අත්‍යඅවශ්‍යම පහසුකමවත් ලැබෙන්නෙ නැහැ.

සටහන හා ඡායාරූප - මීගහ‍තැන්න සමූහ 

 

නව අදහස දක්වන්න