‘දුම්’ බලනා ක්‍රමය හරිද? | දිනමිණ

‘දුම්’ බලනා ක්‍රමය හරිද?

1998 වර්ෂයේදී ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනුකළ පෙත්සමකට අනුව නාගරික වායු දූෂණය නිසා පිරිසිදු වාතය ආඝ්‍රහනය කිරීමට නොහැකි වී ඇති බව පැහැදිලිවීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් 1999 වර්ෂයේදී මෙම පෙත්සම විභාගකොට එවකට සිටි පරිසර ඇමැතිවරයා වෙත යොමුකර ඇත. ඒ අනුව වර්ෂ 2000 ක් වූ ජූනි මස 03 වන දින මේ සම්බන්ධව ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත.

එහි තීන්දුව වී ඇත්තේ පාවිච්චි කළ වාහන සඳහා නියම ප්‍රමිතියක් තිබිය යුතු බවත් (ඉන්ධන සඳහා මෙන්ම) ආනයනික අනිකුත් වාහන සඳහා ද මෙම නීතියම ක්‍රියාත්මක කරන බවයි.

මෙම නීතිය ක්‍රියාත්මක කිරීමේ අයිතිය හිමිවී තිබුණේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්තුමාට හා පරිසර අධිකාරියටයි. මෙම පාර්ශ්වයන් එක්ව වායු සම්පත් කළමනාකරණ හා අන්තර්ජාතික ආයතනය විසින් 2002 වසරේදී සිදුකළ සමීක්ෂණයේ ප්‍රතිඵලය වී ඇත්තේ මෙම නීතිය ක්‍රියාවේ යොදවනවා නම් 90% ක්ම වාහන භාවිතයට නුසුදුසු වාහන බවයි. නැවතත් එම ප්‍රමිතියේ වෙනසක් සිදුකොට විවිධ පුද්ගලික සමාගම් සමඟ පොදුවේ සාකච්ඡා කර ප්‍රායෝගික ගැටලු තිබුණද මෙයට පිළියමක් වශයෙන් 2008 වසර වන විට බස්නාහිර පළාතෙන් ආරම්භ කළ මෙම වැඩසටහන ‘ශ්‍රී ලංකාවේ වායු විමෝචන වැඩසටහන’ ලෙස හඳුන්වා දෙන ලදී.

මේ යටතේ 60% ක් වාහන ආවරණය කළ අතර පළමුව යුද හමුදාවට අයත් වාහන, කෘෂිකාර්මික වාහන, හයිබ්‍රිඩ් හා සම්පූර්ණ ගෑස් වාහන නිදහස් කරන ලදී.

2009 ජූනි මස වන විට මෙය මධ්‍යම, දකුණ, උතුරුමැද හා එම වසරේම දෙසැම්බර් වන විට ඌව සබරගමුව හා වයඹටත්, 2013 වසර වන විට උතුරු නැඟෙනහිර දක්වාත් ක්‍රියාත්මක කර ඇත.

කෙසේ වෙතත් අද වන විට මිනිසාගේ යහපත සඳහා පාරිසරික වාතාශ්‍රය පවිත්‍රව තබාගැනීම උදෙසා දියත් කළ වාහන වායු විමෝචන ක්‍රියාවලිය ජනතාව නොමඟ යවන මාෆියාවක් බවට මේ වන විට පත්ව ඇත.

විශේෂයෙන්ම වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී දුම් සහතිකය අනිවාර්ය කර ඇත. නමුත් වායු විමෝචන මධ්‍යස්ථාන ආරම්භ කරන විට එම ස්ථානයන් සඳහා අදාළ විෂයට දැනුම ඇති පුහුණු කාර්මික ශිල්පීන් පිරිසක් ද සිටිය යුතුය.

වායු විමෝචන ආයතන පළමුව මුදල් අයකර ඔවුන් විසින් කළ යුතු ක්‍රියාවලිය මඟහැර එහි වගකීම පාරිභෝගිකයා අතට පත්කිරීම බලවත් අසාධාරණයකි.

මෙහිදී සඳහන් කළ යුත්තේ මෙම ක්‍රියාවලියේ මුල සිටම ඇති විහිළුවයි.

පාරිභෝගිකයාට වෙනත් කාර්මික ශිල්පියෙකු වායු විමෝචන (දුම්) සහතිකය ලබාගැනීමට පමණක් සකස් කර දී සහතිකය ලබාගත් පසු නැවත තල්ලු කරගෙන හෝ ගොස් නැවත තිබූ පරිදි සකස් කර දීමයි. මින් රැවටෙන්නේ අසරණ පාරිභෝගිකයා නොවේද? මේ බව වගකිවයුත්තන් නොදන්නේ ද යන්න ගැටලු සහගතය. මෙම ක්‍රියාවලිය මෙතෙක් දිගින් දිගටම සිදුවූ බව වාහන හිමියන්ට නොරහසකි. මේ අනුව වසරින් වසර මුදල් ගෙවා දුම් සහතික ලබා තවත් වසරක් ඉදිරියට වායු දූෂණය මහ පාරේ සැරිසරනු ඇත.

මේ අනුව පාරිභෝගිකයාගේ වටිනා කාලය දින දෙකක් පමණ ඇතැම් විට රාජකාරි නිවාඩු පවා ලබාගෙන මිඩංගු කිරීමට සිදුව ඇත. මෙම කාර්ය ආරම්භ කර වසරක් ගතවන විට 2010 වර්ෂයේදී පමණක් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි මෝටර් රථ වාහන සංඛ්‍යාව 3,69,243 ක් වූ අතර අතර එය 2011 වන විට 5,25,421 දක්වා වැඩි වී ඇත. මේ අනුව වසරක් ඇතුළත වාහන 31.62 ක වැඩිවීමක් බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන හෙළිකරයි.

මේ අනුව අද වන විට එනම් 2017 වර්ෂය වන විට ඊට වඩා අතිවිශාල වාහන ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ මාර්ගවල සැරිසරනු ලැබේ. මේවායින් පිටවන වායුවේ ගුණ අගුණ කෙසේ වෙතත් මින් රජයට ලැබෙන ආදායම අති විශාලයි.

මෙසේ ජනතාව නොමග නොයවා ජනතාව පීඩාවට පත් නොකර රජයට ආදායම් සරිකර ගන්නා සත්‍ය වූ ක්‍රියා පටිපාටියක් තුළින් වායු විමෝචන ක්‍රියාවලිය ඉටුකරනවා නම් එය හුදෙක් ජනතාවාදී මෙන්ම පරිසරවාදී වනු ඇත.

විශේෂයෙන් යතුරුපැදි වැනි සැහැල්ලු වාහන මේ තුළින් මුළුමනින්ම ඉවත් කර ඔවුනට තම යතුරුපැදිය නිසි ලෙස නඩත්තු කිරීමේ පිළිවෙත හඳුන්වා දී ගහකොළ, සතා සිවුපාවා ජීවත්වූ මේ සිරිලක වනගහනය විනාශ නොකර ගහකොළ ආරක්ෂා කර සදාහරිත කලාප බිහිකර මේසා විශාල වාහන කන්දරාවක් පුංචි ලංකාවට ඔරොත්තු නොදෙන බව වටහාගෙන වාහන අවම මට්ටමක පවත්වා ලංකාවට නැවතත් පෙර ලෙස පිරිසිදු වාතාශ්‍රය ලැබීමට ඉඩ සැලසීම වගකිවයුත්තන්ගේ යුතුකම වන්නේය.

ලෙස්ලි කුලතුංග 
මතුගම

නව අදහස දක්වන්න