කිතුල්ගල බෝට්ටු පදින්න ආ බෙල්ජියම් ආගන්තුකයෝ | දිනමිණ

කිතුල්ගල බෝට්ටු පදින්න ආ බෙල්ජියම් ආගන්තුකයෝ

කිතුල්ගල කැළණිගගේ රාප්ටින් ක්‍රීඩාව (බෝට්ටු සේවය) අද දෙස් විදෙස් සංචාරකයන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වී ඇති ක්‍රීඩාවකි. මේ සදහා ශ්‍රී ලංකාවට ඇදී එන සංචාරකයින්ගෙන් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් අපේ රටට හිමිවන්නේය. යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කිතුල්ගල කැලණිගගේ මේ වන විට මෙවැනි රාප්ටින් ක්‍රීඩා සේවා මධ්‍යස්ථාන රාශියක් පවත්වාගෙන යයි. මේ නිසා සති අග හා නිවාඩු දින වල දෙස් විදෙස් සංචාරකයන්ගෙන් කිතුල්ගල සංචාරක පුරවරය පිරී ඉතිරී යයි.

බෙල්ජියම් රටේ විදේශ සංචාරකයින් පිරිසක් අද (25) කිතුල්ගල කැලණිගගේ රාප්ටින් ක්‍රීඩා සදහා පැමිණියේ හෙලිකොප්ටර් යානා දෙකකින්ය. ඔවුන් රැගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා ගොඩබැස්සූ යටියන්තොට වින්සන්ට් පෙරේරා ක්‍රීඩා පිටිය භාර යටියන්තොට ප්‍රාදේශීය සභාවේ ලේකම් තුමිය ඇතුළු නිලධාරීන් පිරිසක්ද යටියන්තොට පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක්ද මේ අවස්ථාවේ මෙතැනට පැමිණියේය. ආගන්තුකයින්ට මල් කළඹක් දී පිළිගත්තේ ශ්‍රී ලාංකිකයන් ආගන්තුක සත්කාර දන්නා පිරිසක් සිටින රටක් බවට පෙන්වා දෙමිනි. බෙල්ජියම් ජාතිකයන් වන මේ පිරිස ශ්‍රී ලාංකිකයන්ගේ සුහදත්වය අගය කරමින් පැමිණ තිබූ බස් රථ කීපයක නැග කිතුල්ගල සංචාරක පුරයට පිටත්ව ගියේ රාප්ටින් ක්‍රීඩාවෙන් විනෝද වීමටය. ශ්‍රී ලාංකිකයන් පිළිබද ලෝකයේ ඇති වැරදි ආකල්ප අද ක්‍රමයෙන් මැකී යනවා මෙන්ම සංචාරක කර්මාන්තයද දියුණු වන්නේ මෙවැනි දේ තුලින් බව රැස්ව සිටි පිරිසගේද අදහස විය.

යටියන්තොට
සමන් එස්. රත්නායක

නව අදහස දක්වන්න