විපක්ෂයේ ලැජ්ජා නැති කතා | දිනමිණ

විපක්ෂයේ ලැජ්ජා නැති කතා

අද විපක්ෂ කල්ලිවලට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා දේශපාලනය කිරීමේ හා ආණ්ඩුව විවේචනය කිරීමේ පමණක් නොව ‘අවශ්‍ය ඕනෑම ආකාරයකින් ආණ්ඩුව පෙරළන බවට’ වහසි බස් දෙඩවීමට පවා දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් වත්මන් යහපාලන ආණ්ඩුව බිහිකොට තිබේ. විපක්ෂයට මේ ආකාරයෙන් දේශපාලනයේ නිරත වීමට කිසිදු අවස්ථාවක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ලබා දුන්නේද ? තමන්ට එරෙහි වූ හෝ එරෙහි වෙතැයි කල්පනා කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කොන් කරමින්, පල නොකියා පලා බෙදමින් තම පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ පවා දේශපාලන ක්‍රියාකාරීත්වය වනසා දැමූ පාලකයන් අද මර්දනය ගැන කතා කරන්නේ පුදුමාකාර වේදනාවකිනි. එහෙත් ඔවුන් මුවා වී සිටින මේ සුන්දර සළුව ඔසවා තැබූ විට අප හමුවේ විවර වන්නේ තමන්ට එරෙහිව දේශපාලනය කළ පවට වන්දි ගෙවූ ශ්‍රීපති සූරියආරච්චි, මංගල සමරවීර, ජෙනරාල් සරත් ෆොන්සේකා ආදීන්ගේ මුහුණුය. තමන්ට එරෙහි තීන්දු නොදුන් නිසා නින්දාවට පත් කළ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ආදීන්ගේ මුහුණුය.

‘මේ පලවුණේ මේ ජනතා ද්‍රෝහී, මර්දනකාරී ආණ්ඩුවට එරෙහිව ජනතාව තුළ තියෙන විරෝධය’යැයි ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කළ මැයි රැලියෙන් පසු ජනමාධ්‍ය හමුවේ දිනේෂ් ගුණවර්ධන කීය. දිනේෂ් ගුණවර්ධන විසින් කළ මේ ප්‍රකාශයම වෙනස් වචනවලින් මහින්ද රාජපක්ෂ ඇතුළු තවත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ පුනරුච්චාරණය කරමින් සිටිති. ඒ හරහා ආණ්ඩුවට අභියෝග ද කරමින් සිටිති.

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කළ මැයි රැලියට ඔවුන් අපේක්ෂා කළාටත් වඩා ජනතාවක් පැමිණි බව පිළිනොගැනීම දේශපාලන කුහකකම ඉක්මවා ගිය දේශපාලන අඳබාල බවකි. දැවැන්ත ප්‍රදර්ශන කාමයෙන් පෙළෙන මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂ නායකයෝ හැකි සෑම අවස්ථාවකදීම තම ප්‍රදර්ශන කාමය සතපවා ගැනීමට අසීමිත කැමැත්තක් දක්වති. ඒ වෙනුවෙන් ඕනෑම මිලක් සහ අවදානමක් දැරීමට පසුබට නොවෙති.

මෙරට ජනතාව පසුගිය 2005 වසරේ සිට 2015 ජනවාරී 08 වැනිදා දක්වා අඛණ්ඩවත්, ජනවාරි 08 වැනිදා සිට අවුරුද්දකට වරක් දෙවරක් දකින්නේ මේ ප්‍රදර්ශන කාමය සතපවා ගැනීමට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කල්ලිය ගන්නා ස්වයං තෘප්ත උත්සාහයන් මිස වෙන දෙයක් නොවේ.

මැයි රැලියට පැමිණි ජනතාව දැක අද ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් මත් වී සිටින ආකාරයෙන්ම පසුගිය වසරේ කිරුළුපන රැලියෙන් පසුව ද ඒ ආකාරයෙන්ම අමුතුම ආකාරයේ දේශපාලන වින්දනයක් ලැබුවේය. ඊට පසුව මහනුවර සිට කොළඹ දක්වා පැමිණි පා ගමනෙන් පසුව ද මහා ඝෝෂාවක් නඟමින් ස්වයං මෝහනයට පත්ව ආණ්ඩුවට එරෙහිව වහසි බස් දෙඩුවේය. ඒත් ‘බල්ලෝ බිරුවට තවලම යනවා’ යැයි කියන ගැමි කියමන යළි යළිත් සනාථ කරමින් ආණ්ඩුව ඉදිරියට ගියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන යන අඛණ්ඩ හා තිරසර වැඩපිළිවෙළ ඒ ආකාරයෙන්ම ඉදිරියටම ගමන් කළේය.

කිරුළුපනෙන් හෝ පා ගමනෙන් ආණ්ඩුවවත්, හිටපු ආණ්ඩුවේ දූෂිතයන්ට එරෙහිව පරීක්ෂණ කරන නිලධාරීන්වත් සැලූණු ආකාරයක් අපි දුටුවේ නැත. ඒ නිසා ‘ගෝල් ෆේස් එකට ගැලූවා’ යැයි කියන ඊනියා ජනගඟ හමුවේ ආණ්ඩුවවත් දූෂිතයන්ට එරෙහිව පරීක්ෂණ සිදු කරන නිලධාරීන්වත් නොසැලෙන බව සහතිකය.

දිනේෂ් කියන්නේ කා ගැනද ?

මීළඟට අපගේ අවධානය යොමු විය යුත්තේ දිනේෂ් ගුණවර්ධන අවධාරණය කරන ‘ජනතා ද්‍රෝහී හා මර්දනකාරී ආණ්ඩුව’ යන්න වෙතය. ලේඛකයා නිවැරදි නම් දිනේෂ් ගුණවර්ධන මේ සඳහන් කරන්නේ 2015 ජනවාරී 08 වැනිදා මෙරට ලක්ෂ 62ක ජනතාවක් විසින් බලයට පත් කළ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුව ගැනය. යළිත් 2015 අගෝස්තු මස 17 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් ජනවාරි 08 ජනවරම යළිත් තහවුරු කළ ආණ්ඩුව ගැනය.

ආණ්ඩුවක් ජනතා ද්‍රෝහී වන්නේ කුමන නිර්ණායක අනුව දැයි දේශපාලන ශබ්ද කෝෂයේ පැහැදිලි කිරීමක් නැති තැන අපට සිදුවන්නේ භාවිතය අනුව ඒ ගැන අදහසක් ඇති කර ගැනීමය. ඒ අනුව අපට වත්මන් ආණ්ඩුව ගැන ඇතිවන චිත්‍රය වන්නේ කුමක්ද ? එය බලය ලබාගත්තේ ඉතා පැහැදිලිව බහුතරයක් ජනතාවගේ ඡන්ද බලයෙනි. මහින්ද රාජපක්ෂ ඇතුළු රෙජිමයේ අන්ත දූෂිත, රාජ්‍ය සම්පත් දැවැන්ත ලෙස අවභාවිත කළ දැවැන්ත රාජ්‍ය හා මර්දනකාරී යාන්ත්‍රණයක් තීරණාත්මක ලෙස පරාජය කරමිනි. ඒ අනුව ඉතා පැහැදිලිව සඳහන් කළ යුත්තේ වත්මන් ආණ්ඩුවේ බල මූලය, ප්‍රභවය අතිශයින්ම පවිත්‍ර හා ප්‍රජාතන්ත්‍රවාදී වන බවයි.

දෙවැනි කරුණ වන්නේ එසේ ලබා ගත් බලය අවභාවිත කිරීමක් සිදුවන්නේ නම් හෝ බලය ලබාගත් දේට වඩා හාත්පසින්ම වෙනස් ක්‍රියාවලියක් තුළ ආණ්ඩු කිරීම සිදුවන්නේ නම් එම ආණ්ඩුව ජනතා ද්‍රෝහී ආණ්ඩුවක් වශයෙන් සැලකිය හැකි බවයි. වත්මන් යහපාලන ආණ්ඩුව විෂයෙහි මේ කාරණය අපි දකින්නේ කෙසේද ?

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් දිගින් දිගටම අතපසු කරමින් සිටි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම වත්මන් ආණ්ඩුව විසින් විසඳනු ලැබුවේ මෙරට රාජ්‍ය සේවකයන්ට ඉතිහාසයේ වාර්තාගත ගණනකින්, එනම් රුපියල් 10, 000 කින් වැටුප් වැඩි කිරීම සමගිනි. මෙය මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමක් පමණක් වශයෙන් ලඝු නොකළ යුතුය. මන්ද යහපාලන ආණ්ඩුව විසින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම මගින් සිදු කරනු ලැබුවේ රාජ්‍ය සේවකයන් විසින් වසර ගණනාවක් පුරා ආණ්ඩුවෙන් ඉල්ලා සිටි ඔවුන්ගේ අයිතියක් ලබාදීමක් වන හෙයිනි. මේ සමඟ පෞද්ගලික අංශයේ වැටුප රුපියල් 2500කින් වැඩි කරනු ලැබුණි. වැටුප් වැඩි කිරීමට සමගාමීව යහපාලන ආණ්ඩුව විසින් ඛනිජ තෙල්, ගෑස්, බස් ගාස්තු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් විශාල ප්‍රතිශතයකින් අඩු කරනු ලැබුවේය.

ජනතාවට මෙවැනි ආර්ථික සහන ලබාදුන් ආණ්ඩුවක් ජනතා ද්‍රෝහී වන්නේ කුමන පදනමකින් දැයි මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන ඇතුළු කල්ලිය ජනතාවට පැහැදිලි කළ යුත්තේ තමන් බලය හොබවමින් සිටි දස වසර ගැන ජනතා මතකය ද අවදි කරමිනි. එවිට දිනේෂ් ගුණවර්ධනට කියන්න සිදුවන්නේ කුමක්ද ? ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මගින් ද ලබා දුන් ඉන්ධන සහනය ලබා නොදුන් බවය, රජයේ සේවක වැටුප් තඹ ශතයකින් වැඩි නොකළ බවය. උද්ධමනය හමුවේ පීඩාවට පත් ජනතාව බන්දුල ගුණවර්ධන විසින් හෑල්ලූවට පමණක් නොව නින්දාවට ද ( රුපියල් 2500 කතාව) පත් කළ බවය.

අද මහින්ද රාජපක්ෂට, දිනේෂ් ගුණවර්ධනට අනුව ජනතා ද්‍රෝහී වී ඇත්තේ මෙවැනි නින්දා සහගත අතීතයක් තිබූ තම පාලනය නොව ජනතාවට අසීමිත සහන ලබා දුන් වත්මන් යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය වීම හැඳින්විය හැක්කේ කුමන නමකින් දැයි සිතා ගැනීමටවත් නොහැකිය.

අනෙත් අතින් මැයි රැලියට පැමිණි ජනතාව හමුවේ ඒකාබද්ධයේ ප්‍රබලයන් කියන්නේ වත්මන් ආණ්ඩුව ‘දූෂිත ආණ්ඩුවක් ’ බවය. ඒකාබද්ධයේ ප්‍රබලයන්ගේ ශ්‍රී මුඛයෙන් මෙවැනි කතා පිටවන විට ඒවා අසා සිටි ජනතාව සිනාසුණේ මුඛයෙන් ද අධෝ මුඛයෙන් දැයි පැහැදිලි නැත්තේ අතලොස්සක් හැර එදා ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියේ වේදිකාවේ සිටි සහ පා ගමනේ පැමිණි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සිට කැබිනට් ඇමැතිවරයා දක්වා අන්ත දූෂිතයන් නිසාය. හෙජින් ගනුදෙනුව, ග්‍රීක බැඳුම්කර ඇතුළු නානාප්‍රකාර දූෂිත ගනුදෙනු හරහා මහා භාණ්ඩාගාරය හිස් කළ පුද්ගලයන් නිසාය.

ජාතියේ අවාසනාවට පසුගිය ආණ්ඩුවේ දූෂිත තෝරු මෝරු මේ වන විටත් දැලට ටිකක් දුරින් සිටියත් ජනතාවට පෙනෙන ඇත්ත සඟවා ඉස්සා මෙන් ’ මම සුදනා’ යැයි අද ඒකාබද්ධ කල්ලිය කියන්නේ රෙදි ඇඳගෙන දැයි ප්‍රශ්න කිරීමේ සදාචාරාත්මක අයිතිය මේ රටේ පුරවැසියන්ට ඇත්තේය. මහා පරිමාණ උදාහරණ නැතත් හිමිකරුවන් නැති මල්වානේ සහ මාතර මාලිගා ගැන බැසිල් රාජපක්ෂ ද රුපියල් කෝටි ගණනක අමාත්‍යාංශ වාහන අවභාවිත කිරීම ඇතුළු චෝදනා ගැන විමල් වීරවංශ කියන්නේ කුමක්ද ?

වත්මන් ආණ්ඩුවට දූෂණ චෝදනා එල්ල කරන්නේ මෙවැනි අපකීර්තිමත් අතීතයක් සහ භාවිතයක් ඇති අන්ත දූෂිතයන් හා දූෂිතයන්ට රැකවරණය දෙමින් ඔවුන්ව පෝෂණය කළ පුද්ගලයන්ම වීම හාස්‍යයට නොව බිම පෙරැළි පෙරැළි වැළපීමට කරුණක් වන්නේය.

මර්දනාකාරී කතාව කාටද ?

ඒකාබද්ධ විපක්ෂය ගාලූ මුවදොර පිටියේ දී ප්‍රදර්ශන කාමයෙන් මත් වෙමින් කියන්නේ ‘මේ පැමිණි ජනතාව යහපාලන ආණ්ඩුවේ මර්දනයට එරෙහි වුන් ’ කියාය. දිනේෂ් ගුණවර්ධන, මහින්ද රාජපක්ෂ ඇතුළු කල්ලිය ජනතාව හමුවේ මේ කතා කරන්නේ රෙදි ඇඳ ගෙනදැයි ඒ පසුව හෝ ප්‍රශ්න කළ යුත්තේ දස වසරක් දැවැන්ත මර්දනකාරී පාලනයක් ගෙන ගිය, සමස්ත සමාජයම භීතියෙන් මුසපත් කළ නායකයන් අද මර්දනකාරී ආණ්ඩුවක් ගැන කතා කරන නිසාය.

ඒකාබද්ධ විපක්ෂය කියන ආකාරයට වත්මන් ආණ්ඩුව මර්දනකාරී නම් එය අපූරුම මර්දනකාරී ආණ්ඩුවකි. ඒ මන්ද අද විපක්ෂ කල්ලිවලට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා දේශපාලනය කිරීමේ හා ආණ්ඩුව විවේචනය කිරීමේ පමණක් නොව ‘අවශ්‍ය ඕනෑම ආකාරයකින් ආණ්ඩුව පෙරළන බවට’ වහසි බස් දෙඩවීමට පවා දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් වත්මන් යහපාලන ආණ්ඩුව විසින් බිහිකොට තිබෙන නිසාය. විපක්ෂයට මේ ආකාරයෙන් දේශපාලනයේ නිරත වීමට කිසිදු අවස්ථාවක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ලබා දුන්නේද ? තමන්ට එරෙහි වූ හෝ එරෙහි වෙතැයි කල්පනා කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කොන් කරමින්, පළ නොකියා පළා බෙදමින් තම පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ පවා දේශපාලන ක්‍රියාකාරීත්වය වනසා දැමූ පාලකයන් අද මර්දනය ගැන කතා කරන්නේ පුදුමාකාර වේදනාවකිනි. එහෙත් ඔවුන් මුවා වී සිටින මේ සුන්දර සළුව ඔසවා තැබූ විට අප හමුවේ විවර වන්නේ තමන්ට එරෙහිව දේශපාලනය කළ පවට වන්දි ගෙවූ ශ්‍රීපති සූරියආරච්චි, මංගල සමරවීර, ජෙනරාල් සරත් ෆොන්සේකා ආදීන්ගේ මුහුණුය. තමන්ට එරෙහි තීන්දු නොදුන් නිසා නින්දාවට පත් කළ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ආදීන්ගේ මුහුණුය.

වත්මන් ආණ්ඩුවේ මර්දනයක් ගැන බොරු භීතියක් ගැන මුසාබස් දෙසාබාන ඒකාබද්ධ කල්ලියෙන් විමසා සිටිය යුත්තේ පසුගිය යුගයේ ක්‍රියාත්මක වූ කැන්ගරු අධිකරණ, සුදුවෑන් ගැන ඔබලාගේ හෘද සාක්ෂිය එක මොහොතකටවත් වේදනා දෙන්නේ නැද්ද යනුයි. එසේ නැතිනම් ‘බොක්කේ දඩමස් තියාගෙන මේ ආකාරයෙන් හක්කෙන් බුදු රැස් විහිදීමට ’ හැකියාවක් හෘද සාක්ෂියක් ඇති කිසිම පුද්ගලයෙකුට තිබිය නොහැකිය.

ජාත්‍යන්තර කම්කරු දිනය දා යහපාලන ආණ්ඩුවේ මර්දනයක් ගැන හඬා වැටෙන දිනේෂ් ගුණවර්ධනලාට සේවක අර්ථසාධක අරමුදල සොරා කෑමට එරෙහිව අරගල කර දිවිපිදූ රොෂාන් චානකලා, ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව අරගල කර ඝාතනයට ලක් වූ හලාවත ඇන්ටනීලා පමණක් නොව පිරිසිදු දියබිඳක් ඉල්ලා පාරට බැස්ස විට සිය ජීවිතවලින් වන්දි ගෙවූ රතුපස්වල ජනතාවගේ අඳෝනා නොඇසෙන්නේ කුමක් නිසාදැයි පුදුමය.

සරසවි සිසු දුක

ගාලූ මුවදොර පිටියට ගැලූවේ සරසවි සිසුන්ට එරෙහිව ක්‍රියාත්මක වන මර්දනයට එරෙහි ජනතා විරෝධය බව මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ තම දස වසරක පාලන යුගය තුළ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට දී පමණක් නොව ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය ඇතුළු සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම පුරා දස වසරක් පුරා වැපිරූ අන්ත භීෂණය මුළුමනින්ම අමතක කරමින් විය යුතුය. 2010 ජනපතිවරණය ආසන්න සමයේ දී කඩවත ප්‍රදේශයේ දි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් දෙදෙනකු රිය අනතුරකින් මහමඟ දී මිය යාම අදත් නොවිසඳුණු අභිරහසකි. ඒ අතර සරසවි සිසුන්ට හමුදා පුහුණුව ලබාදීම, ගෝඨාභය රාජපක්ෂට අයත් ‘රත්නා ලංකා’ ආරක්ෂක සමාගම විශ්වවිද්‍යාල ආරක්ෂක අංශවලට අනුයුක්ත කිරීම මගින් සිසුන් තුළ ඇති කළ භීෂණය ගැන අද ඔවුන්ට පුංචි මතකයක් පවා නොවීම විස්මයට කරුණකි. ඒ සියල්ල පසෙක තිබෙද් දී අද සරසවි සිසු දුක ගැන විලාප තිබන්නේ එදා අධ්‍යාපනයට රාජ්‍ය වියදමින් සියයට 6 ක් වෙන් කළ යුතු බවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කළ මහා වැඩවර්ජනය කඩාකප්පල් කිරීමට සියලූ ආකාරයේ දහංගැට දැමූ පාලකයන්ය.

මේ යහපාලනය දරාගත නොහැකිද?

ජාතිවාදයෙන් හා අවස්ථාවාදයෙන් අන්ධ කළ ජනතාවක් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව අන්ධයන්, ගොළුවන් හා බිහිරන් සේ පාලකයන් පසුපස එන බවට ලෝකයාට ඔප්පු කළ ප්‍රබලම අවස්ථාව වශයෙන් ජර්මන් අාඥාදායක හිට්ලර්ගේ නැඟීම දැක්විය හැකිය. ජර්මානුවකු ද නොවන හිට්ලර් මුළු මහත් ජර්මනියේම අසහාය පාලකයා වශයෙන් ඔසවා තබනු ලැබුවේ හිට්ලර්ගේ ජාතිවාදී හා අවස්ථාවාදී ඉච්ඡාබස්වලින් මෝහනයට පත් ජර්මන් ජනතාව විසිනි.

තමන් විසින් බලයේ මුදුනටම ඔසවා තැබූ හිට්ලර් තමන්ව මානව සංහතියේ ඛේදාන්තම ඉසව්ව කරා කැඳවා ගෙන යනු ඇතැයි එදා ජර්මන් ජනතාව විශ්වාස නොකරන්න ඇත. එහෙත් අවසානයේ හිට්ලර් ඒ දෙය අවශ්‍ය ප්‍රමාණයටත් වඩා හොඳින් ඉටු කළේය. ජාතිවාදයෙන් හා අවස්ථාවාදයෙන් මෝහනයට පත් වන ලෝකයේ කිසිදු සමාජයකට ප්‍රජාතන්ත්‍රවාදය හෝ සෞභාග්‍ය හමුවන්නේ නැත. ඒ වෙනුවට බොහොම පහසුවෙන් හමුවන්නේ මර්දනය, ඒකාධිපතිවාදය සහ විනාශය පමණකි.

මේ යථාර්ථය අපේ සමාජය වහාම වටහා ගත යුතුය. මන්ද 19 වැනි ව්‍යස්ථා සංශෝධනය හරහා, තොරතුරු දැන ගැනීමේ අයිතිය හරහා මෙන්ම ජාතික ආණ්ඩුව හරහා මේ මොහොතේ රටේ විවර කර ඇති ප්‍රජාතන්ත්‍රවාදී හා යහපාලන වටිනාකම් අන්තවාදයට, අවස්ථාවාදයට කිසිසේත් දරාගත නොහැකි හෙයිනි. යහපාලන ආණ්ඩුවේ තිඹිරිගෙයි සිට අප දකිමින් සිටින්නේ ඉහත සඳහන් කළ අන්තවාදය හා අවස්ථාවාදය විසින් නිර්මාණය කරමින් සිටින දැවැන්ත විනාශයක පෙරමඟ සලකුණු, සොහොන් ලකුණු මිස වෙන යමක් නොවේ.

අප එය අවධාරණය කරන්නේ අහේතුකව නොව සහේතුකවය. ඒකාබද්ධ විපක්ෂය විසින් වත්මන් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයටත් වඩා පුළුල් හා ප්‍රශස්ත ප්‍රජාතන්ත්‍රවාදයක් ජනතාවට හිමිකර දෙනු ඇතැයි යමෙක් සිතන්නේ නම් ඔහුව වහාම රැගෙන යා යුත්තේ අංගොඩටය. මන්ද මැයි පළමු වැනිදා ගාලූ මුවදොර පිටියට ගැලූවේ ප්‍රජාතන්ත්‍රවාදයේ, යහපාලනයේ, සංහිඳියාවේ රැල්ල නොව ජාතිවාදයේ, අන්තවාදයේ සහ අවස්ථාවාදයේ සුනාමිය බව අප වටහාගත යුතුය. ඒ නිසා වත්මන් යහපාලන භාවිතය දරාගත නොහැකිව යළි රෙජිමයක් බිහිවනු දැකීමේ පිපාසයෙන් පෙළෙන මේ අවස්ථාවාදය අප වටහා ගත යුත්තේ ‘නිවී යාමට ආසන්න පහන අවසන් මොහොතේ දී දෙන මහා එළිය’ වශයෙනි. මේ එළියෙන් අප ඒ වටා ඇති භූතයන්, පිසාචයන් පමණක් නොව දෙපැත්ත කන වවුලන් ද හඳුනාගත යුතුය.

අවසාන වශයෙන් අවධාරණය කළ යුත්තේ දිනේෂ් ගුණවර්ධනලා, මහින්ද රාජපක්ෂලා මැයි දින රැලියේ දී එපා කියා මොර දුන් ආණ්ඩුව මෙය නම් මෙරට අති බහුතරයක් ජනතාව තවත් බොහෝ කාලයක් එයට පෙම් බඳින බවය. මන්ද ලෙයින්, කඳුලෙන් දිනාගත් නිදහස අවස්ථාවාදයට හා අන්තවාදයට වඩා බොහෝ සෙයින් අගනා හෙයිනි.

භාතිය බරුකන්ද 

නව අදහස දක්වන්න