වෙසක් මාසය පුරාම මම නිර්මාං­ශි­කයි - රිතූ ආකර්ෂා | දිනමිණ

වෙසක් මාසය පුරාම මම නිර්මාං­ශි­කයි - රිතූ ආකර්ෂා

නුදුරු දිනයකදී ප්‍රේක්ෂකයන් අතරට එන නවතම ටෙලි සිතුවම වන්නේ ‘සසර සේයා’යි. වෙනස්ම තේමාවක් ඔස්සේ දිග හැරෙන සසර සේයා ළඟදීම ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමට හැකියාව ලැබේ. මේ ටෙලි සිත්තමෙහි අපූරු රංගනයක යෙදන රිතූ ආකර්ෂා අද රසඳුනට ඇගේ චරිතය පිළිබඳව තොරතුරු හෙළිකළා.

කාලෙකින් අද ගෙදර ඉන්නවා වගේ නේද?

ඔව්. අද නිවාඩුයි.

වෙසක් එකට ලොකුවට ලෑස්ති වෙනවා කියලා ආරංචියි

හ්ම්. ලොකුවට ලෑස්ති වෙනවා.ඒත් මේ පාර නම් වෙසක් කුඩු හදන්න වුණේ නැහැ. නමුත් අපි ගෙදර වටේටම පහන් පත්තු කරනවා. විශේෂම දේ තමා මම ආගමට ගොඩක් ලැදියි. ඒ නිසාම වෙසක් මාසය පුරාම මම නිර්මාංශිකයි.

මේ දිනවල අලුත්ම කලා වැඩකටයුතු මොනවද රිතු ?

ලබන සතියේ වගේ මගේ අලුත්ම ටෙලි නාට්‍යය විකාශය වෙන්න තියෙනවා. ඒ නාට්‍යයත් එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නවා.

කියමු නේද අලුත්ම ටෙලි නාට්‍ය ගැන?

‘සසර සේයා’ ITN නාළිකාව ඔස්සේ ලබන සතියේ සිට ප්‍රේක්ෂකයන් අතරට එනවා. ලක්ෂ්මන් පුෂ්පකුමාර ගේ අධ්‍යක්ෂණයක්. ඒ වගේම තිර රචනයත් ඔහුගේ. ආත්ම දෙකක් මත ගොඩනැගුණු ලස්සන ආදර කතාවක්. අමිල අබේසේකර,විශ්ව කොඩික්කාර මගේ පෙම්වතුන් විදියට රඟපානවා. මම හිතනවා ප්‍රේක්ෂකයෝ ගොඩක් ආදරය කරයි කියලා මේ ටෙලි නාට්‍යයට.

ඔබ වෙනදා රංගනයෙන් දායක වුණු චරිතත් එක්ක ‘සසර සේයා’ හරහා වෙනස්ම රංගනයක් දැක ගන්න පුළුවන් වේවිද?

ඔව්. අනිවාර්යයෙන්ම.ප්‍රේක්ෂකයන්ට ලොකු වෙනසක් දැකගන්න හැකිවෙයි කියලා හිතනවා.

දැනට ටෙලි නාට්‍ය කීයකට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවද?

ටෙලි නාට්‍ය 10 ක් වගේ. ඒ හරහා ඔබට චරිත 10 ක් කරන්න ලැබෙන්න ඇති.

ඒ අතරින් වඩාත් කැමැතිම රංගනය කුමක්ද ?

‘කාසි වත්ත’ ටෙලි නාට්‍යයේ රංගනයට මම ගොඩක් කැමැතියි සහ ඒ චරිතය හරහා මම ජනප්‍රිය නිළිය සඳහා නිර්දේශ වුණා. නමුත් මාව ප්‍රේක්ෂකයන් වැඩිපුර වැළඳ ගත්තේ ‘වරුණි’ කියන චරිතයට. ඒ උතුම් පැතුම් ටෙලි නාට්‍යයේ. අදටත් ගොඩක් අය මට කතා කරන්නේ ‘වරුණි’ කියලා.

රිතූ මියුසික් විඩියෝ වලින් ඈත් වෙලා කියන කතාව ඇත්තද?

මියුසික් විඩියෝ වල ඉන්න එක මම නතර කළා. හොඳ නිර්මාණයකට සහභාගී වෙනවා විතරයි.

ඒකට හේතුව?

මම මියුසික් ප්‍රෝග්‍රෑම් එකක් කරන නිසා, මම හිතුවා මියුසික් විඩියෝ කරන එක අඩු කරන්න.මට බයක් තියෙනවා මගේ ලෙවෙල් එක බහීවි කියලා. ඒකට හේතුව කිව්වොත්, එක දිගට මියුසික් විඩියෝ තුළින් දකිනකොට අගයක් නැති වෙනවා. මට ඕන හැම වෙලාවෙම කලා ක්ෂේත්‍රයේ හොඳ රංගන ශිල්පිනියක් වෙන්න. ඒ නිසා වැඩ කරද්දී තෝරා බේරාගෙන තමා කරන්නේ.

රංගන ශිල්පීන්, නිවේදන වෘත්තියට එන එක ඔබ දකින්නේ කොහොමද?

මම කියන්නේ, කෙනෙක් වෙන ක්ෂේත්‍රයක ඉඳන් තවත් ක්ෂේත්‍රයකට ආවත්, ඒ එන්නේ තමුන්ගේ හැකියාවෙන්. තමන්ගේ හැකියාව හඳුන ගන්න කාලයක් යනවා. මම රංගන ක්ෂේත්‍රයට ආවට පස්සේ තමා නිවේදනයට ආවේ. ඒ දෙරණින් ලැබුණු ආරාධනය නිසා. ඒ ආරාධනයෙන් පස්සේ තමා දැනගත්තේ මට නිවේදනය කරන්න හැකියාව තියෙනවා කියලා. තමන්ගේ රාජකාරිය වගේම තමන් කරන දේ හරියට කරනවා නම් මම හිතනවා ඒක හොඳ දෙයක් කියලා.

ඔබට දැනෙනවද , නිවේදනයෙන් ඔබ සාර්ථකයි කියලා?

මම මගේ උපරිමය බලාපොරොත්තු වෙන කෙනෙක්. මම දෙයක් කර අවසන් වුණාට පස්සේ මම ඒක හොඳට කළා කියලා මම හිතන්නේ නැහැ. ඒ දේ මදි කියලා මට හැම වෙලාවෙම හිතෙනවා. 

(නිලු­පුලි සඳ­කැ­ලුම් ඡාය­රූප - ශෙහාන් සිති­ජය ලිය­න­ව­ඩුගේ)

නව අදහස දක්වන්න