කිරුළ දිනා ගැනීම ජාතික කණ්ඩායමට ඇතුළු වීමට ලැබුණු සහතිකයක් වුණා | දිනමිණ

කිරුළ දිනා ගැනීම ජාතික කණ්ඩායමට ඇතුළු වීමට ලැබුණු සහතිකයක් වුණා

‘ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ ජනප්‍රියතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා’ පළමු කොටසේ කිරුළ සඳහා වන තරගය දැන් එකම කණ්ඩායමක ක්‍රීඩකයන් දෙදෙනෙක් අතර උණුසුම් සටනක් බවට පත්ව තිබේ.

කරට කර තරගයක නියැලී සිටින සාන්ත පීතර විදුහලේ ලක්ෂින රොඩ්රිගෝ හා සන්තුෂ් ගුණතිලක වෙන්ව සිටිනේ ඡන්ද 46ක කුඩා පරතරයකිනි.

10 වැනි සතියේ ඡන්ද ගණන් කිරීම අවසානයේ රොඩ්රිගෝ ඡන්ද 8,993ක් ලබා ගෙන පෙරමුණේ සිටින අතර ඔහුගේ කණ්ඩායම් සගයා වන ගුණතිලක ඡන්ද 8,947ක් රැස්කර ගෙන දෙවැනි ස්ථානයට පිවිස සිටී.

කෙසේ වෙතත්, සාන්ත පීතර ක්‍රීඩක යුගලයට ඔවුන්ගේ මේ ගමන පහසු නොවන්නේ ඉසිපතනයේ සන්ජුල අබේවික්‍රම ඡන්ද 8,721ක් ලබා ගෙන තෙවැනි ස්ථානයේ සිටිමින් තරග බිමට පිවිස සිටින නිසාවෙනි. පළමු කොටසේ අලුත්ම ඡන්ද ගණනයේදී ප්‍රථම ස්ථාන තුනේ සිටින ක්‍රීඩකයන් අතර තිබෙන්නේ ඡන්ද 272ක පරතරයක් පමණකි.

දෙවැනි හා තෙවැනි කොටස්වල ඉදිරියෙන්ම සිටින කුරුණෑගල සාන්ත ආනා විදුහලේ පියුමාල් සිංහවංස හා බණ්ඩාරවෙල මැදි විදුහලේ චරිත බස්නායක වැඩි වැඩියෙන් ඡන්ද හිමිකර ගනිමින් සිටිති.

මේ අතර, 1990 වසරේදී තමා දිනා ගත් ‘ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා’ සම්මානය හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක හා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මාවන් අතපත්තු සලකන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තමන්ට ලැබුනු ‘සහතිකයක්’ වශයෙනි.

“මම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසින් ආනන්දු විදුහල වෙනුවෙන් හොඳින් ක්‍රීඩා කරමින් නිරන්තරයෙන් ලකුණු ලබා ගනිමින් සිටියදී මම අනාගතයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරාවි කියා බොහෝ දෙනා සිතුවා. මට ‘චාන්ස්’ එකක් තියෙන බවට මටත් දැනුනත් ඒ ගැන සහතිකයක් මට තිබුනේ නැහැ” යැයි අතපත්තු පවසයි.

1990 වසරේදී ‘ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා’ කිරුළු පැළඳීම ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා අතපත්තුට ලැබුනු සහතිකයක් විය.

“මට ඉස්සර ‘ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා’ සම්මානය දිනා ගත් සැවොම ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළා. ඒ නිසා, මම වෙහෙස වෙලා වැඩ ක‍ළොත් මටත් ඒ විශිෂ්ට කල්ලියට එක් වීමට හැකි වනු ඇතැයි සම්මානය දිනා ගත් මොහොතේදී මා දැන ගත්තා” යැයි අතපත්තු අතීතය මෙනෙහි කරමින් කියයි.

නව අදහස දක්වන්න