ෂැනොන් ගේබ්‍රියල් කොදෙව් දිනවයි | දිනමිණ

ෂැනොන් ගේබ්‍රියල් කොදෙව් දිනවයි

ෂැනොන් ගේබ්‍රියල්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමග බාබඩෝස්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 106ක ජයක් අත්කර ගැනීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සමත් විය.

මේ සමග තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සම විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් පිල ලකුණු 312කට සීමාකළ පාකිස්තානුවෝ පළමු ඉනිම සඳහා ලකුණු 393ක් රැස් කළහ. ලකුණු 81ක් පිටුපසින් දෙවැනි ඉනිම ඇරැඹු කොදව් පිල ලකුණු 268කට දැවී ගියේ පාකිස්තානයට ජයග්‍රහණය සඳහා ලකුණු 188ක ඉලක්කයක් ලබාදෙමිනි. එම ඉලක්කය හඹාගිය පාකිස්තානයට දෙවැනි ඉනිමේදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 81ක් පමණි.

සර්ෆ්‍රාස් අහමඩ් ලකුණු 23ක් රැස්කරමින් පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. මොහොමඩ් අමීර් ලකුණු 20ක්, අහමඩ් ෂෙසාඩ් ලකුණු 14ක් හා අසාර් අලී ලකුණු 10ක් රැස්කළ අතර සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව පසු කිරීමට කොදෙව් පන්දු යවන්නන්ගෙන් ඉඩක් නොලැබිණි.

පාකිස්තාන දෙවැනි ඉනිම බිඳ දමමින් තරගයේ වීරයා වූ ෂැනොන් ගේබ්‍රියල් තම ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කරමින් ලකුණු 11කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් නායක ජේසන් හෝල්ඩර් කඩුලු 3ක් හා අල්සාරි ජෝශප් කඩුලු 2ක් දවා ගත්හ.

කොදෙව් පළමු ඉනිම - 312. රොස්ටන් චේස් 131, ජේසන් හෝල්ඩර් 58 (මෙහොමඩ් අබ්බාස් 56/4, මොහොමඩ් අමීර් 65/3) සහ දෙවැනි ඉනිම - 268. ෂායි හෝප් 90 (යසීර් ෂා 94/7)

පාකිස්තාන පළමු ඉනිම - 393‍. අසාර් අලී 105, මිස්බා උල් හක් 99, අහමඩ් ෂෙසාඩ් 70 (ෂැනොන් ගේබ්‍රියල් 81/4, ජේසන් හෝල්ඩර් 42/3, දේව්න්ද්‍ර බිෂූ 116/3) සහ දෙවැනි ඉනිම - 81. (ෂැනොන් ගේබ්‍රියල් 11/5, ජේසන් හෝල්ඩර් 23/3) 

නව අදහස දක්වන්න