කුණු කන්ද සහ ටොපි කොළය | දිනමිණ

කුණු කන්ද සහ ටොපි කොළය

කුණු කන්දක් පතබෑවීම නිසා ශ්‍රී ලංකාවේ සිදු වූ ව්‍යසනය වචනයෙන් විස්තර කිරීමට තරම් සුවඳැති දෙයක් නොවේ. නමුත් එම සිදුවීම අවසානයේ ඒ පිළිබඳ විශාල පරාසයක අරුත් දැක්වීම් ඇති වුණි. සමහරු කුණු කන්දට ශාප කළහ. තවත් අය දේශපාලනඥයන්ගේ දෙපැත්ත මතක් කර දුන්හ. තවත් අය සිද්ධිය වූ ස්ථානයෙන් සාමාන්‍ය ජනතාව කලින් ම ඉවත් ෙනාවූ නිසා ඒ අයට බැන වැදුණහ. මොන කතිකාවත වුණත්, සිදු වූයේ කුණු කන්ද සෙත්තපෝච්චි වුණාට පසුව ය. ඒ ලංකාවේ අපේ හැටි ය.

දෙයක් සිදු වූවාට පසු ඒ පිළිබඳ දෙකොන හපාගෙන කෑ ගැසීම සහ දුක්වීම සාමාන්‍ය ස්වාභාවයයි. අන් රටවල අසාමාන්‍ය සංසිද්ධියක් විය හැකි වුවද අපේ රටේ නම් එය එසේමය.

ශ්‍රී ලංකාව කොතරම් මනරම් දීපයක් වුව ද දෙදහස් දහ හතර වර්ෂයේ ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවට අනුව සිය දිවි නසා ගැනීමේ අනුපාතයෙන් අපේ රට සිවු වැනි ස්ථානය දැරීය. එය එසේ වූයේ ජීවිතය තොර කර ගත් අයගේ අඥාන බවත්, කශේරුකාවක් නොමැති වීමත් යනාදි දාර්ශනික හේතු එම සංසිද්ධිය සමඟ එළියට පැමිණියේය. ප්‍රාණියෙකුට තම දිවිය පිළිබඳ ඇති ආසාව උක් දණ්ඩකින් යුෂ මිරිකා ගන්නා සේ පෙරා ඉවත් කළ සමාජය හැමවිටම සුදනා වෙයි.

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුණේ අභ්‍යාන්තරිකව ඇති වූ තෙරපීම නිසා ය. අප විසින් සමාජයේ පුද්ගලයෙකු වෙත වචනයකින් හෝ අනවශ්‍ය බලපෑමක් කළේ නම් යම් දිනක ඔහුගේ කඩා වැටීමට අපි සෘජුවම වගකිව යුත්තෝ වෙමු. එදිනෙදා ජීවිතයේ මෙවන් පීඩා හමුවේ මිනිසුන් කොතරම් වියවුලෙන් සිටිනවා විය යුතුද? එසේ තිබියදීත් පොළොවේ පය ගසා පියවි සිහියෙන් සිටින මිනිසුන් අපි ඇගයුමට ලක් කළ යුත්තෙමු. කරුණු කාරණා එසේ වුව ද ජීවිතයේ යම් සංධිස්ථානයක කාලාන්තරයක් තිස්සේ සිදු වූ මනෝමූලික තෙරපුම නිසා ජීවිතයෙන් සමු ගන්නා අහිංසකයෝ වෙති. එය ඔවුන්ගේ දුර්වලකමකට වඩා සමාජයක් වශයෙන් අප කළ මිනීමැරුමකි.

අවසානයේ වතුර බසින මිටි ස්ථානය වන්නේ ජීවිතය සියතින්ම සිඳ ගත් අය ම වෙති. පින් කර ලැබූ මිනිස් භවය ප්‍රතික්ෂේප කරවීමට තරම් තිරිසන් වූ සමාජය චෝදනාවල රැහැනතරින් ගැලැවී යන ආකාරය ජුගුප්සාජනක අපූර්වත්වයකි. අනුන්ගේ කුණු සෙවීම කලාවක් නම් පිකාසෝලා උපන්නේ ඉන්දියන් සාගරයේ මුතු ඇටයේ ය. මනුෂ්‍යයෙකුට හිමි පෞද්ගලිකත්වයක් මෙහි නැත. උපන්දා සිට මියෙන තෙක් වෙනත් කාගේ හෝ අත පෙවීමක් අපේ ජීවිත පිටුපස දැන හෝ නොදැන ඇත.

මේ කාරණා නිසා සමාජයට බියෙන් ජීවත්වන්නෝ සිටිති. තමන් කැමති ජීවිතයට වඩා අනුන්ට අවශ්‍ය පරිදි ජීවත් වීමට පෙළැඹෙන්නේ මේ නිසාය. විවාහ විය යුත්තේ සැබෑ ලෙසම ආදරය කරන තැනැත්තාට වඩා ලෝකයක් විසින් පිළිගන්නා තැනැත්තාව ය. විවාහ වීම යමෙකුගේ ප්‍රමාද නම් ඔහුටත් නැති මගුල් විසයක් ඇත්තේ බාහිර සමාජයට ය. විවාහයක් ප්‍රමාද කිරීමට අප නොදන්නා කාරණා රාශියක් තිබෙන්නට ඉඩ ඇත. සමහර ලස්සන දෑ රහස් වශයෙන් පවතින තාක් පමණක් ආරක්ෂා වේ. ලස්සනට මිනිස්සු වෛර කරති. රහස් තව දුරටත් රහස් නොවූ කළ වචන නමැති කුණුවලින් පුරවා ලස්සන විනාශ කිරීමට හැකි කුහක ලොවක ඔබත් මමත් උපත ලබා ඇත්තෙමු.

කුණු කන්ද කඩා වැටීමෙන් පසු අනේ අපි විසි කළ ටොපි කොළය නිසා ජීවිත වන්දි ගෙවූ බවට කිව් කතන්දර මනුෂ්‍ය ජීවිතය හා බැඳෙන්නේ නැත. කුණු කන්ද කඩා වැටුණු විට වරද තමා මත පටවා ගත් උදවිය මනුෂ්‍ය ජීවිතයකට එසේ වූ කළ චෝදනා කරන්නේ ඒ ජීවිතයටම පමණි. ඒ අතින් බලන කල අපේ රටේ කුණු කන්දක් වීම මිනිසෙක් වීමට වඩා හොඳ ය.

තිසරණී විජයබණ්ඩාර
@Thizuu

නව අදහස දක්වන්න