යුරෝපයේ ඡන්ද දෙකයි | දිනමිණ

යුරෝපයේ ඡන්ද දෙකයි

ධම්මික සෙනෙවිරත්න
ප්‍රංශය - මරීන්ල- එමෑනුවෙල්

ප්‍රංශ ජනාධිපතිවරණය ජාතිකත්වය සහ අන්තර්ජාතිකත්වය අතර සටනක් බව ඇතැම් දේශපාලන විශ්ලේශකයන්ගේ කියැවීමය. එය හුදෙක් සම්ප්‍රදායික මැතිවරණ සටනක් නම් නොවන බව දැනටමත් පැහැදිලි වී තිබේ.

අගමැතිනිය කළ කතාවේදී යුරෝපා සංගමය මෙන්ම මාධ්‍යයද විවේචනයට ලක්විය. යුරෝපා දේශපාලනඥයන් බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ප්‍රතිඵලයට බලපෑමක් ඇතිවන අන්දමින් ක්‍රියාකරමින් සිටි බවට ඇය බරපතළ චෝදනාවක් එල්ල කළාය. ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නේ එය බ්‍රිතාන්‍යයට තර්ජනයක් බවය.

බ්‍රිතාන්‍යයේ අනපේක්ෂිත ඡායා පාර්ලිමේන්තු මැතිවරණයක් ප්‍රකාශයට පත්වී තිබේ. මැතිවරණය සඳහා දින නියම වී ඇත්තේ ජූනි 08 වැනිදාටය. ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටය අ‍ප්‍රේල් 23 වැනිදා පැවැත්වූවද ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් කිසිවකුටත් අවශ්‍ය අවම ඡන්ද ප්‍රතිශතය නොලැබිණි. එම දෙවන වටය හෙට (07) පැවැත්වේ. මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ සෞඛ්‍යයට හිතකරය. කෙසේ වෙතත් යුරෝපයේ ප්‍රජාතන්ත්‍රවාදය තර්ජනයට ලක්වී තිබේද යන කාරණය මැතිවරණ උණුසුම මැද්දෙන් සංවාදයට ලක්වෙමින් පවතී.

බ්‍රිතාන්‍යයේ හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට හේතුවූයේ යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට ජනමත විචාරණයේදී බ්‍රිතාන්‍යයන් ගත් තීරණයත් සමඟ ඇති වූ තත්ත්වයය. දිගටම යුරෝපා සංගමයත් එක්ව සිටිය යුතුය යන මතයේ සිටි අගමැති ඩේවිඩ් කැමරන්ට එම තීරණය හේතුවෙන් තනතුරෙන් ඉවත්වී ගෙදර යාමට සිදුවිය. ඉන්පසු කැමරන් පාලනයේ ඉතිරි කාලසීමාව වෙනුවෙන් අගමැති වශයෙන් පත්වූයේ තෙරේසා මේය. අනපේක්ෂිත මහ මැතිවරණය ඇයගේ තීරණයකි.

අගමැතිනියගේ විෙව්චනය

මැතිවරණය සඳහා ඇත්තේ හරියටම තවත් මසක කාලසීමාවකි. අගමැතිනිය රැජන බැහැදැකීමෙන් පසු ආණ්ඩුව විසුරුවා හරින ලද අතර මැතිවරණය ප්‍රකාශයට පත්කෙරිණි. අගමැතිනිය කළ කතාවේදී යුරෝපා සංගමය මෙන්ම මාධ්‍යයද විවේචනයට ලක්විය. යුරෝපා දේශපාලනඥයන් බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ප්‍රතිඵලයට බලපෑමක් ඇතිවන අන්දමින් ක්‍රියාකරමින් සිටි බවට ඇය බරපතළ චෝදනාවක් එල්ල කළාය. ඇය වැඩිදුරටත් පෙන්වාදුන්නේ එය බ්‍රිතාන්‍යයට තර්ජනයක් බවය. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳ සිදුවන සාකච්ඡා කඩාකප්පල් කිරීමට බ්‍රසල්ස් රාජ්‍ය තාන්ත්‍රික අංශවලට අවශ්‍ය වී ඇති බවද ඇය කීවාය.

අගමැතිනිය යුරෝපා සංගමයට එල්ල කළ දැඩි විවේචනාත්මක වාග් ප්‍රහාරය මැතිවරණ ජයග්‍රහණය අරමුණු කරමින් කළ දේශපාලන ක්‍රීඩාවක් බව කම්කරු පක්ෂ නායක ජෙරම් කෝබින් පවසා තිබිණි. ස්කොට් විදේශ ඇමැතිනී නිකොලා ස්ටිර්ජස් පවසා ඇත්තේ එය වගකීම් විරහිත ප්‍රකාශයක් බවය. යුරෝපා සංගමයේ ඉහළ පෙළේ මූලාශ්‍රයක් බව දක්වමින් බී.බී.සී. ය වාර්තා කළේ අගමැතිනියගේ ප්‍රකාශය “මුළුමනින්ම ෆැන්ටසියක්” යනුවෙනි. සාකච්ඡා මේසයේදී බ්‍රිතාන‍්‍යයේ ස්ථාවරය වැරැදි ලෙස අර්ථකථනය කරන බව යුරෝපා මාධ්‍යවලට ඇති චෝදනාවය. එමෙන්ම යුරෝපා සංගමය සාකච්ඡා ක්‍රියාදාමයේදී දැඩි ස්ථාවරයක සිටින බවද ප්‍රකාශවී තිබේ. මේ සෑම කාරණයක්ම මැතිවරණ ප්‍රතිඵලයට බලපෑම් කළ හැකි බව අගමැතිනියගේ අදහසයි.

යම් හෙයකින් මේ සාකච්ඡා අසාර්ථක වුවහොත් උද්ගතවිය හැකි තත්ත්වය බරපතළ බවටද ඇය අනතුරු අඟවා තිබේ. එය යුරෝපා සංගමයේ ආර්ථික සුරක්ෂිත බවට මෙන්ම සමෘද්ධියටද අදාළ වන පරිදි එල්ල කරනු ඇත්තේ අනතුරුදායක බලපෑමකි. යම් හෙයකින් ඵලදායි විසැඳුමකට එළැඹිය නොහැකි වුවහොත් එය දරු පරම්පරාවල අනාගතය පවා අස්ථාවර කරනු ඇති බව අගමැතිනිය පෙන්වා දී තිබේ. මන්ද යත් ඉහළ වැටුප් ලබන රැකියා අවස්ථා ඔවුන්ගෙන් ගිලිහී යනු ඇති බැවිනි.

යුෙරා්පා සංගමය

ප්‍රතිවාදී කම්කරු පක්ෂයේ නායක ජේරම් කෝබින් පෙන්වා දී ඇත්තේ අගමැතිනියට අවශ්‍ය දේශපාලන ක්‍රීඩාවක යෙදීමට බවය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක නික් ක්ලෙන් ද එම ප්‍රකාශය ගැන විමතිය පළ කර තිබිණි. කෙසේ වූවද මේ පිළිබඳ ඉදිරි කටයුතු කිරීමට සිදුවන්නේ ඊළඟ පාර්ලිමේන්තුවටය.

යුරෝපා සංගමයෙන් ඉවත්වීමේදී බ්‍රිතාන්‍යයට පවුම් මිලියන 500ක මුදලක් ඊට‍ ගෙවීමට සිදුවනු ඇත.

මැතිවරණ ව්‍යාපාරයේදී අගමැතිනි තෙරේසා මේ අවධාරණය කරමින් සිටින්නේ ජාතික අභිලාෂයට මුල්තැන දෙමින් නිවැරැදි තීරණය ගත යුතු බවය. රටට ශක්තිමත් මෙන්ම ස්ථාවර නායකත්වයක් ‍අවශ්‍ය බව ඔවුන්ගේ ප්‍රධාන තේමාවකි. ජනමත විමසුම්වලින් ප්‍රකාශයට පත්වන පරිදි බ්‍රිතාන්‍යයන් වැඩිදෙනෙකුගේ ප්‍රමුඛත්වය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ලැබී ඇත. සංක්‍රමණික ප්‍රශ්නය, ආර්ථිකය වැනි කාරණාවලට ඊළඟට අවධානය යොමුවී තිබේ. දැනට සිදුකර ඇති ජනමත සමීක්ෂණ වැඩි ගණනක ඉදිරියෙන් සිටින්නේ කොන්සර්වෙටිව් පක්ෂයයි. ඔවුන් සහ කම්කරු පක්ෂය අතර 10% - 15% ක පමණ පරතරයක් ති‍ෙබ්. කෙසේ වූවද මෙම සමීක්ෂණ පිළිබඳ පමණට වැඩි විශ්වාසයක් රැඳවීමද ප්‍රායෝගික නැත. යුරෝපා සංගමය පිළිබඳ ජනමත විචාරණයේදී ඒවා බොහොමයක් අසත්‍ය වූ බැවිනි.

මැදිවියේ හා වඩා පරිණත ඡන්ද දායකයන් අතර කොන්සර්වෙටිව් පක්ෂය විශාල වශයෙන් ඉදිරියෙන් සිටින අතර අවුරුදු 40ට අඩු ඡන්ද දායකයන් අතර ඉදිරියෙන් සිටින්නේ කම්කරු පක්ෂයයි.

ප්‍රංශ ජනාධිපතිවරණය EM පක්ෂයේ එමෑනුවෙල් මැක්‍රන් සහ FN පක්ෂයේ මරීන්ල පෙන් අතර සටනක් බවට පත්වී ඇත. වත්මන් ජනාධිපති සමාජවාදී පක්ෂයේ ප්‍රංශුවා ඔලන්ද්ට ද දෙවන වරටද තරග කිරීමේ සුදුසුකම් ඇතත්, තමා ඊට ඉදිරිපත් නොවන බව ඔහු ප්‍රකාශ කළේය. ඔහුගේ ජනප්‍රියත්වය හීනවී ඇති බව පෙනෙන්නට තිබිණි.

2002 වර්ෂයෙන් පසු ජාතික පෙරමුණු (FN) අපේක්ෂකයකු දෙවන වටයට පැමිණි පළමු අවස්ථාව මෙයය. මධ්‍ය වාමාංශික හෝ මධ්‍ය දක්ෂිණාංශික අපේක්ෂකයකු දෙවන වටය නියෝජනය නොකරන ඉතිහාසයේ පළමු අවස්ථාවද මෙයයි. පළමු වටයේදී එමෑනුවෙල් මැක්‍රන් 24%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබූ අතර මරීන්ල පෙන් ලැබුවේ 21% ක ඡන්ද ප්‍රතිශතයකි. අන්ත දක්ෂිණාංශික මරීන්ල පෙන් ජාතික පෙරමුණු පක්ෂයේ නිර්මාතෘවරයාද වන ජින් මාරිල පෙන්ගේ දියණියයි. ජාතික අභිලාෂයට මුල්තැන දිය යුතු බව මෙන්ම යූරෝ කලාපයෙන් ප්‍රංශය ඉවත්විය යුතු බව ඇයගේ ප්‍රධාන මැතිවරණ සටන්පාඨ අතර තිබේ. මරීන් 48 හැවිරිදිය.

එමෑනුවෙල් මැක්‍රන් 39 හැවිරිදි වන අතර ජනාධිපතිවරණ සටනේ ළාබාලම අපේක්ෂකයාය. ඔහු ආර්ථික හා කර්මාන්ත අමාත්‍ය ධුරයද හොබවා ඇත. තමා වමේ හෝ දකුණේ නොවන බව ඔහු කියා තිබේ. කෙසේ වූවද වමේ සහාය වැඩි වශයෙන් ලැබෙන්නේ ඔහුට බව පෙනෙන්නට ඇත. ඔහු යුරෝපා හිතවාදී ප්‍රතිපත්තියක පිහිටා සිටී. ආර්ථිකය ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතු බව ඔහුගේ ස්ථාවරයයි.

මැතිවරණ ව්‍යාපාරයේදී ජනතාව අමතමින් මරීන් ල පෙන් අවධාරණය කළේ ඔවුන්ගේ ජනවර්ගය, සම්භවය, ස්ත්‍රි පුරුෂ බව වැනි කාරණා ගැන තමා සැලකිලිමත් නොවන බවය. තමන්ට අවශ්‍ය ඔවුන් කවුරුත් සතුටින් තැබීමට බව ඇය පැවැසුවාය.

මරීන් ල’ පෙන් ජාතික දේශපාලනයේ කැපීපෙනෙන චරිතයක් ලෙස පෙරට එමින් ඇති අයුරු දක්නට හැකිය. ඇය දැඩි චරිතයක් ඇති දේශපාලනඥයකු බව මේ මැතිවරණ ව්‍යාපාරයේදී පෙන්නුම් කිරීමට සමත්විය. බ්‍රිතාන්‍ය ජනමත විමසුමේදී මෙන්ම අමෙරිකා ජනාධිපතිවරණයේදී ද සනාථ වූයේ අන් කාරණාවලට වඩා ජාතිකත්වය හා ජාතික අභිලාෂයට මුල්තැනක් ලැබී ඇති බවය. ප්‍රංශයේදී එතැන සිටින්නේ මරීන්ය. කෙසේ වූවද ඇය බලයට පත්වුවහොත් ප්‍රංශය එක්වරම යම් අර්බුදකාරී වකවානුවකට මුහුණපානු ඇතැයි ප්‍රංශ ආර්ථික විද්‍යාඥයන් හා දේශපාලන විචාරකයන් ඇතැමෙක් මත පළ කරති. ඊට වඩාත් බලපා ඇත්තේ යූරෝ කලාපයෙන් ඉවත්වීම ඇයගේ ප්‍රමුඛ පොරොන්දුවක් බැවිනි.

අප්‍රේල් 23 වැනිදා පැවැති පළමු වටයේදී ඇය මිලියන 7කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත්තාය. එය 2015 ප්‍රාදේශීය මැතිවරණවලදී ලැබූ ඡන්ද සංඛ්‍යාවට වඩා මිලියනයක වැඩිවීමකි. එමෙන්ම 2002 දී ඇයගේ පියා ලැබූ ඡන්ද සංඛ්‍යාවට වඩා මිලියන 2ක පමණ වැඩිවීමකි.

ඇය අවතක්සේරු නොකළ යුතු බව ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් කියන්නේ මේ පසුබිම සැලකිල්ලට ගනිමිනි. ප්‍රංශයේ මුස්ලිම් බලපෑම ආක්‍රමණයක් ලෙස හැඳින්වීම හේතුවෙන් වරෙක ඇය අධිකරණයට රැගෙනයාමද සිදුවිය.

සාම්ප්‍රදායික නොවන සටනක්

ප්‍රංශ ජනාධිපතිවරණය ජාතිකත්වය සහ අන්තර්ජාතිකත්වය අතර සටනක් බව ඇතැම් දේශපාලන විශ්ලේශකයන්ගේ කියැවීමය. එය හුදෙක් සම්ප්‍රදායික මැතිවරණ සටනක් නම් නොවන බව දැනටමත් පැහැදිලි වී තිබේ.

මරීන් ල’ පෙන් පසුගියදා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ද හමුවිය. එහිදී ඇය කියා සිටියේ 2014 දී රුසියාව ක්‍රිමියාව ඈඳා ගැනීම නීතිවිරෝධී දෙයක් නොවන බවය. IS ත්‍රස්තවාදීන්ට එරෙහිව රුසියාව හා ප්‍රංශය උපායමාර්ගික සහයෝගිතාවක් මත ක්‍රියාත්මක විය යුතු බවද ඇය ප්‍රකාශ කර තිබිණි. ජාතික පෙරමුණට රුසියානු ආධාර ලැබෙන බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රංශ ජනාධිපතිවරණය මෙන්ම බ්‍රිතාන්‍ය ඡායා මහ මැතිවරණය යුරෝපා දේශපාලනය කෙරෙහි මෙන්ම අන්තර්ජාතික දේශපාලනය කෙරෙහිද සැලකිය යුතු බලපෑමක් කරනු ඇතැයි පෙනෙන්නට තිබේ.

නව අදහස දක්වන්න