බිහිරි දරුවන් වෙත ආදරය ඇසෙන්නට සැලැස්වූ ශ්‍යාමේන් සොහොයුරිය | දිනමිණ

බිහිරි දරුවන් වෙත ආදරය ඇසෙන්නට සැලැස්වූ ශ්‍යාමේන් සොහොයුරිය

දශක 5ක් පමණ ශ්‍රී ලංකාව තුළ බිහිරි දරුවන් වෙනුවෙන් අනුපමේය සේවයක් කළ ශ්‍යාමේන් මෙන්දිස් කන්‍යා සොයුරිය අප්‍රියෙල් 5 වෙනි බදාදා සවස මෙලොවින් සමුගත්තාය.

බොහෝ කලක සිට “සෙලුලයිටිස්” රෝගයෙන් හා වැටීම් තැලීම් නිසා සිදුවූ ආබාධ දෙක තුනකින්ම පීඩා විඳි ඈ තම සේවාවට ඒ කිසිත් බාධා කර නොගත්තාය. සැම විටම පිරුණු සිනහවකින් මුව සරසා සිටි ඈ හැම කෙනෙකුටම දැක් වූයේ ඉතා ප්‍රසන්න බැල්මකි. බිහිරි දරුවන්ගේ කාර්යය දේව කාර්යයක් සේ සැලකූ ඇය ඔවුනගේ සෑම ගැටලුවකදීම පිළිසරණක් වූවාය. පෙරියමුල්ලේ සදාසරණ පැවිදි නිකායට අයත් ඇය එමනිකායේ ප්‍රතිපත්තිය අනුව ලංකාවේ වෙසෙන බිහිරි දරුවන් පුනරුත්ථාපනය කිරීමේ කාර්යයට බෙහෙවින්ම ඇප කැපවී සිටියාය.

විශාරද දැනුම

අයර්ලන්තයේ ඩබ්ලින් ජාතික විශ්වවිද්‍යාලයෙන් හා සැල්ෆඩ් විශ්වවිද්‍යාලයෙන් ද, එංගලන්තයේ වික්ටෝරියා මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් ද බිහිරිභාවය, බිහිරි අධ්‍යාපනය හා ශ්‍රවණ විද්‍යාව යන අංශවලින් උපාධි ලබා මෙරටට පැමිණ ලංකාවේ ශ්‍රවණාබාධිත ක්ෂේත්‍රයේ ප්‍රාඥයෙක් ලෙස මිය යන තුරුම සේවය කළාය.

බිහිරි අධ්‍යාපනය පිළිබඳ ඇයගේ ශිල්ප ඥානයට සමකළ හැකි කිසිදු විද්වතෙක් මේ ලංකා පොළොවේ නොසිටි බව කිවයුතුය. සවන් වහල් නොතිබුණ සමයේ කුඩා බිහිරි දරුවන්ගේ කටට, දිවට, උගුරට, නාසයට අත තබා හඬ නැගෙන, පිටවන කම්පනය පෙන්වා දෙමින් නිවැරදි කථනය පුහුණු කිරීමට ඇය සමත් වූවාය. හුදෙක් සංඥා භාෂාව අධෙර්ය කළ ඇය හැමවිටම කථනය සඳහා දරුවන් දිරිමත් කළාය. සංඥා හා කථනය උපයෝගී කරගනිමින් Total Communication සංඥා හා කථනය මිශ්‍ර වූ භාෂාව ඇය ප්‍රවර්ධනය කළාය.

වෘත්තීය සේවාව

1954 වසරේ සිට පානදුර යහපත් එ‍ඬේරා කන්‍යාරාමයේ ගුරුවරියක් වශයෙන් ගණිතය, සත්ත්ව විද්‍යාව, ජීව විද්‍යාව වැනි විෂයයන් ඉගැන්වූ අතර බිහිරි ක්ෂේත්‍රයේ උපාධි ලබා පැමිණි පසු 1964 වසරේද, 1967 සිට 1969 වසර දක්වාද, 1973 සිට 1976 දක්වා විදුහල්පතිනිය ලෙසද, නැවත 1982 සිට ශ්‍රවණ චිකිත්සක වරියක් ලෙසද රාගම ශා. ජෝසප් බිහිරි විදුහලේ සේවය කළාය. එම රාජකාරියට සමගාමීව බිහිරිවූවන්ගේ ජාතික සභාවේ ශ්‍රවණ පරීක්ෂකවරිය Audiometrician ලෙසද 1970 සිට 1973 දක්වා ඇය සේවයේ යෙදුණි.

මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන අංශයේ බිහිරි අධ්‍යාපන අංශය යටතේ ශ්‍රවණ විද්‍යාව, කථනය ඉගැන්වීමේ ක්‍රම හා ඉගැන්වීම් පුහුණුව නිරීක්ෂණය කිරීම ආදී විෂයයන් ගුරුභවතුනට ඉගැන්වූ අතර ජාතික අධ්‍යාපන ආයතනයේද වසර කීපයක් සේවය කළාය. 1979 සිට 1980 දක්වා ත්‍රිකුණාමලයේ සිංහ සමාජයේ ඇරයුම පරිදි එහි බිහිරි පාසලක් ආරම්භකොට ලංකාවේ පළමුවරට සිංහල හා දෙමළ බසින් පංති පැවැත්වීමට කටයුතු කළාය.

රාගම සා.ජෝශප් බිහිරි විදුහලේ ඇය විසින් පවත්වාගෙන ගිය ශ්‍රවණ පරීක්ෂණාගාරය තුළින් ඉතා නිවැරදි ශ්‍රවණ ප්‍රස්තාරයන් සැපයීමට ඇය සමත් වූවාය. වෙළද ආයතන මගින් රුපියල් සිය දහස් ගණන් අයකර ලබා දෙන බිහිරි ක්ෂේත්‍රයේ සේවාවන් ඇය විසින් ඉතා අඩු හා සාධාරණ මුදලකට ලබා දුන්නාය.

බිහිරි බව නොහඳුනන නිලධාරීන්

සවන් වහල් පැළඳි සමහර බිහිරි දරුවන්ට හරියාකාරව ඇසීම නොලැබෙන විට ඇයගේ ශ්‍රවණ පරීක්ෂණාගාරයට කැඳවා ශ්‍රවණ ප්‍රස්ථාර විශ්ලේෂණය කිරීමේදී එම ශ්‍රවණ ප්‍රස්ථාර දෝෂ සහිත බව ඇය බොහෝවිට පෙන්වා දී ඇත. බිහිරි අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය මට්ටමින් කෙරුණු සාකච්ඡාවලදී එම නිලධාරීන් විසින් ඇයගේ නිර්දේශ බොහෝ විට අකාමකා දමන ලදී. ටෙන්ඩර් ක්‍රමයට සවන්වහල් ගෙන්වා බිහිරි සිසුන් අතර බෙදා දීමෙන් එම සිසුන්ගේ ඇසීමේ අඩුකමට ගැලපෙන සවන්වහල් ඔවුනට නොලැබිණ.

එහි අනිටු ප්‍රතිඵල ඔවුනට නොතේරුණේ බිහිරි ක්ෂේත්‍රය පිළිබඳ නිසි අව‍බෝධයක් නොලබා සිටීම නිසාය. ගරු ශ්‍යාමේන් කන්‍යා සොයුරිය නිතරම පැවසුවේ බිහිරිභාවය පිළිබඳ දැනුම් තේරුම් ඇති නිලධාරීන් විශේෂ අධ්‍යාපනයේ නොමැතිවීමයි. බිහිරි අධ්‍යාපනයේ වැඩ කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේද අධ්‍යාපන දෙපාර්තමේන්තුවේද පත්කර තිබුණේ දෘෂ්ටි ඌණතාව හෝ සෙමෙන් මනස වැඩෙන ක්ෂේත්‍රයේ පුහුණුව ලැබූ නිලධාරීන්ය. මේ තත්ත්වය අදටත් එසේම පවතීදැයි සැක සිතේ.

පුද්ගලික වැයවීම

අවුරුදු 2 ½ සිට බිහිරි බිළිඳුන් පුනරුත්ථාපනය කිරීමට ඇය රාගම බිහිරි විදුහලේ පන්තියක් ආරම්භ කළාය. කුඩා දරුවන් පරිහරණය කරන ද්‍රව්‍ය එකිනෙක හඳුනාගෙන ඒවා නමින් කීමට පුරුදු කළ අතර එකිනෙක ද්‍රව්‍යයේ ක්‍රියාකාරිත්වය ගැන වචන කිහිපයක් පැවසීමට ඔවුන්ගේ හැකියාව දියුණු කළාය. ලංකාවේ බිහිරි දරුවන්ගෙන් ඉතා වැඩි කොටසක් අයත් වන්නේ දිළිඳු පවුල්වලටය. එම නිසා ඔවුන්ට සවන්වහල් හා ඊට අවශ්‍ය කළමනා ලබාගැනීමට අපහසු විය. මේ අවශ්‍යතාවය ඉටු කරදීමට ඇය උනන්දු වූවාය. උසස් සමාජයේ පොහොසත් පවුලක උපත ලැබූ ඇය මෙරට හා පිටරට තම ඥාතීන්ගේද, මිතුරු මිතුරියන්ගේද සහය ලබා ගනිමින් තම ධනයද එකතුකොට දිළිඳු පවුල් සිය ගණනකට මාස් පතා ආධාර දීමේ ක්‍රමයක් ඇති කළාය.

මෙය දිළිඳු දෙමාපියන්ට මෙන්ම බිහිරි දරුවන්ටද විශාල සහනයක් විය. මේ මුදල් කටයුතු සම්බන්ධයෙන් ලිපි ලිවීම, ඒ මුදල් හරියාකාරව ලැයිස්තුගත කිරීමට හා එකිනෙක ගිණුම් හිමියන්ගේ ගිණුම්වල තැන්පත් කිරීමට එතුමියට විශාල කාලයක් ගතවිය. තම රාජකාරි කටයුතුවලට අමතරව ඒ හැමදේ කළේ තමාගේ පුද්ගලික විවේක කාලයේදීය. තම ඇඳුම් සෝදා ගැනීමට, තුවාල වෙලාගැනීමට, පසුදා පාඩම් වලට සූදානම් වීමට අමතරව මේ මුදල් පරිහරණය නිසා සත්තකින්ම ඇය රාත්‍රී නින්දට ගියේ රෑ 2 ට, 3 ට හෝ 4 ටය. එහෙත් ඇය මැසිවිලි නොකීවාය.

ශ්‍රී ලංකා බිහිරි ළමා දෙගුරුන්ගේ සංගමය

ශ්‍යාමෙන් මෙන්දිස් කන්‍යාසොයුරිය මැදහත් වී ආරම්භ කළ ශ්‍රී ලංකා බිහිරි ළමා දෙගුරුන්ගේ සංගමය තුළින් ඉටු කරන සේවාව මුළු මහත් ලංකාවාසී බිහිරි දරුවනට ලබාදුන් ඉතා වටිනා දායාදයකි. තමා හැදුණු වැඩුණු මොරටුවේ පාරම්පරික නිවස සංගමය පවතිනතාක් කල් සංගමයේ වැඩකටයුතු සඳහා යොදා ගැනීම ඇයගේ පරම චේතනාව විය.

මේ සංගමයේ සාමාජිකයන් බිහිරි දරුවන්ගේ දෙමාපියන්ය. 1500කට අධික පවුල් සංඛ්‍යාවක් සිටින මෙම සංගමය රජයේ අනුමත පුන්‍යායතනයකි. මේ මගින් බිහිරි දරුවන් සිටින දෙමාපියන්ට හා බිහිරි දරුවන්ට සම්මන්ත්‍රණද, පොලීසිය වැනි මහජන ආයතනවලට බිහිරිභාවය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්ද පවත්වයි. බිහිරි දරුවනගේ චිත්‍ර තරඟ, නැටුම්, නාට්‍ය හා ක්‍රීඩා තරඟ වැනි කුසලතා වර්ධන වැඩසටහන්ද පවත්වයි.

මෙම දරුවන්ට අධ්‍යාපනය දෙන ආචාර්යවරුන්ගේ දැනුම වර්ධනය සඳහා පාඨමාලා පවත්වයි. තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණු වැඩමුළු පවත්වමින් රැකියා හා ස්වයං රැකියා ලබාදීමද කරයි. විවාහාපේක්ෂිත තරුණ තරුණියන් හා ඔවුන්ගේ දෙමාපියන්ට හමු පවත්වා විවාහය සඳහා සහකරුවන් සහකාරියන් තෝරා ගැනීමට මං පාදයි. මෙලෙසින් සංගමය බිහිරි දරුවන්ගේ අධ්‍යාපනය මෙන්ම සුබසාධනය සඳහාද මහඟු කැපවීමකින් කටයුතු කරයි.

සංගමයට නව සභාපතිවරයෙක්

මා ඉහළින්ම ගරු කරන ශ්‍යාමේන් මෙන්දිස් කන්‍යා සොයුරිය මා පළමු වරට හඳුනා ගත්තේ මුළු සභාවක් අනුමත කළ ඇයගේ යෝජනාවකට පුද්ගලිකව විරුද්ධ වීමෙනි. 1996 වසරේ අග භාගයේදී මෙම සංගමයේ රැස්වීමකට සහභාගි වන ලෙස ආරාධනයක් ලදිමි. මෙවැනි සංගමයක අවශ්‍යතාව මට දැනී තිබුණු නිසා මා ඉතා ප්‍රී‍තියෙන් ඊට සහභාගි වූයෙමි. ඒ, සංගමයේ 25 වෙනි රිදී ජුබිලි මහ සභා රැස්වීමයි. එහිදී නව වසර සඳහා කාර්ය මණ්ඩලයක් පත් කර ගැනීමට අවස්ථාව එළඹිණි.

සභාපති තනතුර සඳහා යෝජනා වූ සෑම සාමාජිකයෙක්ම වයෝවෘද්ධභාවය, දුරබැහැර වීම හා අසනීප තත්ත්වයන් වැනි හේතු ඉදිරිපත් කරමින් ඉල්ලා අස්වූහ. පැයකට පමණ අධික කාලයක් තුළ සිදුවූ මෙම කඹ ඇදිල්ලෙන් හෙම්බත්වුණු ප්‍රධාන අනුශාසකවරිය වසර දෙකකට සංගමයේ කටයුතු අත්හිටුවන ලෙස යෝජනා කළාය. එම යෝජනාව හැමෝටම සිසිල් පවන් රොදක් බඳු විය. එහෙත් එය මහා කඩාවැටීමක් සේ මට දැනුණි.

මම වහානැගිට අවුරුදු 25කට පසු එවැන්නක් සිදුවේ නම් ඒ මහා ලජ්ජාවක් බවත්, ධෛර්ය සම්පන්න සාමාජිකයෙක් එම තනතුර සඳහා ඉදිරිපත් වන ලෙසත් ඉල්ලා සිටියෙමි. මගේ වචනයෙන් සභාව මවිත වී නිශ්ශබ්ද විය. මොහොතකින් සභාපති ධුරයට මගේ නම යෝජනා විය. මහත්සේ කිපුණු මා සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ට සංගමය එපා නම් මටත් එපා යැයි කීමට මදවේලාවකින් නැගී සිටියෙමි. එවිටම ස්පර්ශයෙන් කරුණාවන්ත බවක් දැනුණු හස්තයක් මගේ වම් උරහිස මත පතිත විය. මම හැරී බැලුවෙමි. ඒ ගරු ශ්‍යාමේන් ප්‍රධාන අනුශාසකවරියයි.

“ඔයා මේ තනතුර භාරගන්න, ඔයාට පලපුරුද්දක් නැතත් මම හැම සහයෝගයක්ම දෙනවා. ඒක පොරොන්දුවක්. ඔයා මේ තනතුර භාරගන්න” මම නිහඬ වී අසුන් ගතිමි. යෝජනාව ස්ථීර විය. මුලසුනට මා ගොස් පැවසුවේ එක් වසරකට මා මේ තනතුර භාරගන්නා බවත් ලබන වසරේ එය භාරගැනීමට කිසිවෙක් සූදානම් විය යුතු බවත්ය. ඉන්පසු සභාපති තනතුරට වෙනත් සාමාජිකයෙක් ඉදිරිපත් වූයේ වසර 9කට පසුවය. ඉන් පසුවත් කඩින් කඩ එම තනතුර ඉසිලීමට මට සිදුවිය.

 

ශ්‍රී ලංකා බිහිරි ළමා දෙගුරුන්ගේ සංගමයේ සභාපති

බී. ආර්. එම්. රොඩ්‍රිගෝ 

නව අදහස දක්වන්න