වීර හස්තියකු නිසා ප්‍රකට වූ පනාමුරේ | දිනමිණ

වීර හස්තියකු නිසා ප්‍රකට වූ පනාමුරේ

පෙණ පිඬු නංවමින්, දිය බුබුලෙන් දිය ගලා ඒ. විටෙක, වැලි අවුස්සමින් දිය බුබුල උඩට නගින්නේ, වැලි මලක් ලෙසට ය.

“මෙතනට වෙලා හයියෙන් කතා කර කර ඉන්නකො. එතකොට දියබුබුලු නැගෙන වේගය වැඩි වෙනවා.”

සිය දරු පවුල සමඟ, පනාමුරේ දිය බුබුලෙන් ගලා යන දිය පහරේ දිය නෑමට සහ රෙදි සේදීමට පැමිණි අයකු පැවසුවේ ය. සැබැවින් ම ඔහු පැවසූ දෙය සත්‍යයක් බව අපට පසක් කරගත හැකි විය.

පනාමුරේ පිහිටි මේ දිය බුබුල, ලංකාවේ අවසාන ඇත්ගාල ලෙස සැලකෙන පනාමුර ඇත්ගාල අසල පිහිටා තිබේ. කලුකන්දාව කඳු පාමුල පිහිටි මේ දිය බුබුල, ඇතිවන්නේ එම ස්ථානයේ පිහිටි දිය උල්පතක් මැදි කරගෙන ය. වසරේ සෑම කාලයකම දිය සිඳී නොයන මේ දිය උල්පත, අදටත් මේ ප්‍රදේශයට එක් කරන්නේ අපූර්වත්වයකි. ආශ්චර්යයකි.

අද වන විට එදා පැවැතියා යැයි පවසන තරම් ම විශාල දිය බුබුලක් දැකිය නොහැකි වුව ද, එම දිය උල්පත නිසා විශාල දිය පහරක් උපත ලබයි. කුඹුක්, නුග ඈ තුරුලතා පිරි මේ දිය බුබුල පිහිටි ප්‍රදේශය, සිසිල් බවින් අනූන ය. වැසි කලට දෙගොඩතලමින් ගලා යන දිය පහර, ප්‍රදේශයේ කුඹුරු අස්වද්දමින්, කෘෂි ගම්මාන සරු කරමින් ගලා බසී. අතීතයේදී පනාමුරේ, කොලොන්න වැනි ප්‍රදේශවල කැලෑවල අලි ඇතුන් බොහෝ ප්‍රමාණයක් වාසය කර තිබේ.

මේ දිය බුබුල ආශ්‍රිතව පනාමුරේ ඇත්ගාල ඉදිවූයේ, දිය බුබුලෙන් දිය බීමට පැමිණෙන අලි ඇතුන් අල්ලා, හීලෑ කර විකිණීම සඳහා උන් අල්ලා ගැනීමට සුදුසු ස්ථානයක් බවට එය පත්වූ නිසා ය.

පනාමුරය යනු, මඩුවන්වෙල නින්දගමට අයත් පැරැණි ගමකි. මෙහි, කතරගම දේවාලයේ මුර භටයන් පනහක් මුරට සිට තිබේ. එබැවින්, ‘පනහමුර’ ලෙස මේ පෙදෙස හඳුන්වා ඇත. කාලයත් සමඟ ව්‍යවහාරය වෙනස් වෙමින්, පනාමුර ලෙස භාවිතයට පත්ව ඇත. පනාමුර නින්දගම යනු, උඩරට පාලනය කළ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු , මඩුවන්වෙල මොහොට්ටාලට සන්නසකින් ප්‍රදානය කළ අක්කර 7000 කින් යුතු බිම් පෙදෙසකි.

විජයසුන්දර ඒකනායක අභයකෝන් කොඩිතුවක්කු මුදියන්සේලාගේ ශ්‍රීමත් ජේමිස් විලියම් මඩුවන්වෙල මහ දිසාව, මේ පරම්පරාව නියෝජනය කළ අවසානයා ය. ඔහු මේ ප්‍රදේශයේ ඇත් ගාල් 20 ක් පමණ කරවා ඇත. ඔහුගෙන් පසු මේ බූදලය හිමි වූයේ, දිසාවේගේ සොහොයුරකුගේ පුතකු වූ, ව්‍යවස්ථාදායක සභාවේ හා ප්‍රථම පාර්ලිමේන්තුවේ කථානායක ධුරය හෙබවූ, නවරත්න වික්‍රමසිංහ වේහැල්ල මුදියන්සේලාගේ ප්‍රැන්සිස් මොලමුරේ මහතාට ය. ඔහු ද මේ ප්‍රදේශයේ ඇත්ගාල් පහක් බන්දවා ඇත. පස්වැනි ඇත්ගාල වන්නේ, පනාමුරේ ඇත්රාජා හා සම්බන්ධ ලංකාවේ අවසාන ඇත්ගාල ය.

එවකට මේ ඇත්ගාල සකසා ඇත්තේ, අඩි 10 ක් 12 ක් පමණ උස ශක්තිමක් ගස් කපා, එම දැව කඳන්වලින් වැටක් සකසාගෙන ය. මේ වැටේ එක් පසෙකින් අලි ඇතුන්ට ඇතුළු වීමට පිවිසුමක් තබා, දිය සොයා පැමිණෙන අලි ඇතුන් ගාලට කොටු කර ගෙන පිවිසුම් දොර වසා දැමීම සිදුවේ. උන් එසේ ගාල් කරන්නේ, ගිනිමැල ගසා, හමා හඬින් ශබ්ද කරමිනි. මේ ආකාරයට කොටු කර ගන්නා අලි ඇතුන් හීලෑ අලි සමඟ ගොස් අල්ලා ගැට ගසයි. මෙය එක්තරා ආකාරයක භාරධූර කර්තව්‍යයකි එහෙත්, මේ කටයුත්ත සඳහා එවකට එම ප්‍රදේශයේ විසූ සෑම් ඇලපාත, මඩුවන්වෙල කෝරාල යන ප්‍රාදේශීය නායකයන් සහය දී තිබේ. එදා සිටි දෙස් විදෙස් ප්‍රභූන්, මෙහි පිහිටි වැට අසලට පැමිණ, අලි ඇතුන් ගාල් කරනු බලා වින්දනයක් ලැබීමට අමතක කළේ ද නැත. එවකට, මේ ප්‍රභූ නරඹන්නන් සඳහා අට්ටාල සකස් කර, නැරැඹුම් ස්ථාන ද සකස් කර තිබී ඇත. මේ නිසා ම මේ ඇත් ගාල, ලෝක ප්‍රසිද්ධ ඇත් ගාලක් බවට පත්ව තිබේ.

එදා, 1950 අගෝස්තු මාසයේ පස් වැනිදා ය. සකසා තිබූ ඇත්ගාල සඳහා කොටු වූ පනාමුර ඇත් රාජා, කිසිවෙකුටත් මෙල්ල කරගත නොහැකි ලෙස හැසිරෙන්නට විය. අඩි 9 ක් පමණ උස මේ දැවැන්තයා, එදින රාත්‍රියේ ජීවිතයෙන් සමු ගත්තේ, නාවික හමුදා තුවක්කුකරුවකු වූ සෑම් කදීර්ගාමර් නමැත්තාගේ වෙඩි පහරකට ලක් වෙමිනි.

මේ ඛේදනීය සිදුවීමත් සමඟම, ඇත්ගාල් සඳහා රට පුරාම දැඩි විරෝධයක් පැන නැගී ඇත. මේ හේතුව නිසා ම, පාර්ලිමේන්තුව මඟින් ඇත්ගාල් තහනම් කර තිබේ. මෙරට අලි ඇතුන්ගේ නිදහස වෙනුවෙන් අභීතව සටන් කළ මේ හස්තියා, අද වනවිට වීරයෙක් බවට පත්ව ඇත.පනාමුරේ ඇත් රජු විසූ එම ‍‍ඓතිහාසික ස්ථානය නැරැඹීමට ඔබත් කැමැති නම්, රත්නපුර හරහා ඇඹිලිපිටිය මාර්ගයේ උඩවලව පසුකර, රංචමඩම හංදියෙන් හැරී දකුණට ගමන් කර, පනාමුර දක්වා වූ මාර්ගයෙන් පැමිණිය යුතු වේ. නැත්නම්, ඇඹිලිපිටිය උඩගම හංදියෙන් හැරී, කොලොන්න - සූරියකන්ද මාර්ගයේ කි.මී. 10 ක් පමණ පැමිණිවිට හමුවන පනාමුර හංදියෙන් හැරී ආ හැකි ය. මඩුවන්වෙල වලව්ව දක්වා සංචාරය කරන අයෙක් නම්, උඩගම - පනාමුර හරහා කොලොන්න මාර්ගයේ පැමිණ, පනාමුර හංදියෙන් දකුණට හැරී කි.මී. දෙක තුනක් පමණ පැමිණිවිට මේ ඇත්ගාල කරා පැමිණිය හැකි ය.

වර්තමානය වනවිට එහි යන්නන්ට, එදා තිබූ ඇත්ගාල සිහි කරවන ස්ථානයක් බවට එය එම ස්ථානය සකස් කර තිබුණ ද, නිර්මාණය කර ඇති පනාමුරේ ඇත් රජු පරයා නැගී ඇත්තේ ගණ වන ලැහැබකි. එම ඇතුගේ රුව ද විනාශ වෙමින් ඇත. ඉඩම වටා සිටුවා ඇති කොටන් යෙදූ වැට ද දිරාපත් වෙමින් තිබේ. සදා නොමැකෙන මතක කැටිකළ, ඉතිහාසගත වූ පනාමුරේ හස්ති රාජයා දිවි පිදූ මෙබිම, මතු පරපුර වෙනුවෙන් රැක ගැනීම, ඔබේත් මගේත් යුතුකමකි. එබැවින්, නිර්මාණය කර ඇති හස්ති පිළිරුව රැක ගැනීම සහ එම ස්ථානය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීම යුගයේ අවශ්‍යතාවකි.

 

ඉරෝෂිණී දීපිකා
ඡායාරූප - අන්තර්ජාලයෙනි

නව අදහස දක්වන්න