සදාකාලික ආදරයක් ලබන්නෙ මෙහෙමයි | දිනමිණ

සදාකාලික ආදරයක් ලබන්නෙ මෙහෙමයි

මිනිසකුගේ සිතට නිරායාසයෙන් ම ඇතිවන හැඟීම් අතර, ආදරය ප්‍රධාන තැනක් ගනී. ‘ආදරය’ යනු, කෙනකුගේ ජීවිතයට උත්තේජනයක් එක්කරන දෙයකි. සිතක් තුළ ආදරයක් හටගත් විට, සිත සතුටින් පිරී යයි. මේ නිසා, තමා ආදරය කරන තැනැත්තා හෝ තැනැත්තිය ප්‍රීතිමත් කිරීම සඳහා, ඕනෑම දෙයක් කළ හැකි ය. ආදරයට එතරම් වූ ප්‍රබල ශක්තියක් තිබේ. ආදරයක් සදාකාලිකව, නොවෙනස්ව පවත්වා ගන්නට නම්, දෙදෙනාගේ ආදරය දෙදෙනාට ම දැනිය යුතු ය.

ආදරය දැනෙන අන්දමින් කටයුතු නොකරන නිසා, බොහෝ සබඳතා තුළ විරසක බව, තනිකම, වෙන්වීම වැනි අවාසනාවන්ත තත්ත්ව ඇති වේ. විශේෂයෙන් පෙම්වතුන්ව සිට, ආදරය කරන සමයට වඩා විවාහයෙන් පසු ඒ ආදරය එලෙසින් ම පවත්වා ගැනීම බොහෝ දෙනකුට ගැටලුවකි. වසර පහක් හයක්, එසේත් නැතිනම් වසර හතක් පමණ කාලයක් පෙම්කොට විවාහ වී, මැසිවිලි නඟන්නේ වසර දෙකක්වත් ගතවන්නට පෙර ය. එසේ නම්, ඒ ගැන ඔබ දැනුම්වත් විය යුතු ය. ඔබත් විවාහ වීමට සිටින පෙම්වතකු හෝ පෙම්වතියක නම්, අඹු සැමියන් අතර විරසක බව ඇතිකරන ප්‍රධාන කරුණු පිළිබඳ දැනුම්වත් විය යුතු ය.

* එකිනෙකා අතර පිළිසඳරක් නොමැති වීම

පෙම්වතුන්ව සිටින කාලයේ කවුරුත්, නිතර මුණගැසීමට, කතාබහ කිරීමට කැමැති ය. නිතර හමු වී පිළිසඳරේ යෙදීමෙන්, එකිනෙකා තේරුම් ගත හැකි ය. එහෙත්, මේ කතාබහ විවාහ වී කලක් ගතවන විට දක්නට ලැබෙන්නේ නැත. දෙදෙනා එකිනෙකාගෙන් දුරස් වේ. බොහෝවිට සැමියා රූපවාහිනිය බැලීම, කාර්යාල රාජකාරි කිරීම ආදියේ නිරත වන විට, බිරිය එදිනෙදා නිවසේ වැඩ කටයුතුවල යෙදෙයි. එහෙත්, දවසේ වැඩපළ අවසන් වූ පසු ඉස්තෝප්පුවට වී තේ පැන් සංග්‍රහයක් රස විඳිමින්, දෙදෙනාට පිළිසඳරේ යෙදීමට හැකිනම්, බැඳීම් ශකිත්මත් වේ. සිතේ ඇතිවී තිබූ පීඩා සංසිඳී යයි.

*ප්‍රියමනාප ලෙස කතා නොකිරීම

ඕනෑම මනුෂ්‍යයකු තවත් මනුෂ්‍යයකුට ප්‍රියමනාප වන්නේ හෝ නොවන්නේ, කතා කිරීමේ විලාසය මත ය. පොල්ලෙන් ගසන්නා සේ කතා කිරීම, ගෞරවයෙන් කතා කිරීමට පුරුද්දක් නැතිකම, හැඟීමෙන් කතා නොකිරීම ආදිය එකිනෙකා අතර ගැටුම් ඇති වීමට හේතු වේ. කිසියම් අවස්ථාවක සැකයක්, රහසක් සිතේ පවතින විට, ප්‍රසන්නව කතා කිරීම අපහසු ය. එහෙත්, එසේ වීමෙන් ඔබට සිදුවන සෙතක් නොමැති බැවින්, හැකි උපරිමයෙන් යළි යථා තත්ත්වයට පත්වීම හොඳ ය. ප්‍රියමනාප ලෙස කතා කිරීම සැබැවින් ම දියුණු කරගත යුතු කුසලතාවකි.

*ආවේග පාලනය කර ගැනීමට අසමත් වීම

කෙනකු තුළ ඇතිවන ආවේග පාලනය කර නොගතහොත්, එය අනිවාර්යයෙන් ම අරගලයකට හේතු වේ. එම ආවේගය පිටකළ විට, නිසැකව ම අනෙක් පාර්ශ්වයෙන් ඊට ප්‍රතිචාර ලැබේ. ඒ ප්‍රතිචාරය බොහෝ අවස්ථාවල දී ගැටුමක් නිර්මාණය කරයි. ආවේගකාරීව හැසිරුණ බොහෝ පුද්ගලයන් කිසිවකුගේ හොඳක් දකින්නේ නැත. ඒ නිසා, කිසියම් ආවේගයක් ඇතිවූ විට, වැඩක නිරත වන්න. ඒ වගේම, බිරියට හෝ ඔබට ආවේගයක් ඇතිවූ විට, එක් අයකු අනෙකාට ආවේගය පිට කරන්නට ඉඩහැර, නිහඬව සිටීම, ගැටුම් අවම කිරීමට හේතු වේ. පසුව නිදහසේ ඒ ගැන කතාකර, එම ගැටලුව හිතින් මුළුමනින් ම බැහැර කරගත යුතු ය.

* ගෙදර දොර වැඩ සහයෝගයෙන් නොකිරීම

කාන්තාවන් මානසික පීඩනයට ගොදුරු වන කරුණු අතර කැපී පෙනෙන කාරණයක් ලෙස, තනිවම නිවෙසේ බොහෝ වැඩ ප්‍රමාණයක් කරන්නට සිදුවීම සඳහන් කළ හැකි ය. විවාහ වී රැකියාවකට යන කාන්තාවක් නම්, රාජකාරි කටයුතු වගේ ම, නිවෙසේ වැඩපළ ද කිරීමට සිදු වේ. ඒවා බිරිය පමණක් සිදු කරන විට ඇතිවන වෙහෙස අපමණ ය. එම රාජකාරි එදිනෙදාම කිරීමට සිදුවන දේ ය. එබැවින්, සැමියා හා බිරිය යන දෙදෙනා ම එක්ව, සහයෝගයෙන් යුතුව නිවෙසේ එදිනෙදා කටයුතු කිරීම, දෙදෙනාගේ ම මානසික පීඩනය අවම කිරීමට හේතු වේ.

* අගය කිරීම, කෘතවේදීතාව ගැන නොතැකීම

ජීවත් වීමට ආදරය අවශ්‍ය ම යැයි පිළිගන්නේ නම්, නිතර ම කරුණු දෙකක් ගැන සැලකිලිමත් විය යුතු ය. පළමු වැනි කාරණය නම්, අගය කිරීම ය. දෙවැනි කාරණය කෘතවේදී වීම ය. එය වයස් බේදයෙන් තොරව සියල්ලන් බලාපොරොත්තු වන්නකි. කෙනකු තමන් අගය කරනවා දකින්නට කැමැති නම්, තමන් පළමුව අනෙක් තැනැත්තා අගය කළ යුතු ය. කෘතවේදීතාව සම්බන්ධයෙන් ද එය අදාළ ය. අගය කිරීමට, කෘතවේදීතාවට අවශ්‍ය වන්නේ වචන පමණකි. එහෙත්, ඒ සඳහා හිස් වචන ප්‍රමාණවත් නැත. බර වචන හෙවත් හදවතට දැනෙන වචන කතා කළ යුතු ය.

*අනවශ්‍ය සැකය

හේතුවක් නැතුව සැක කිරීම මින් අදහස් කෙරේ. සැකසංකා ඇතිවන්නේ දෙදෙනා දෙදෙනාට විවෘත නොවන නිසා ය. විවාහයෙන් පසු ‘මම’ යන වචනය අහෝසි විය යුතු ය. ‘අපි’ යන වචනය ශක්තිමත් විය යුතු ය. බොහෝ දෙනා ප්‍රේමය සුන්දරයි කියා කීව ද, විවාහය සුන්දර යැයි නොකියන්නේ, ඒ තුළ මුහුණ දෙන්නට සිදුවන අභියෝග නිසාවෙනි. ඒ නිසා, මනා අවබෝධයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය ය. නැතිනම් ඔබගේ ප්‍රේමය හත් අවුරුදු ප්‍රේමයක් වුව ද, විවාහ වී වසරකින් බිඳවැටිය හැකි ය.

ඉහත සඳහන් කාරණා පිළිබඳ අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් ඔබට කිසිඳු මුදලක් වැය නොවේ. අවශ්‍ය වන්නේ ඕනෑකමත්, යහපත් ආකල්පත් පමණි. පෙම්වතුන් ලෙස ප්‍රේම කරනවාට වඩා, විවාහ දිවියට ඇතුළත් වීමෙන් පසු පෙරටත් වඩා ආදරය සමඟ මුසු වූ අවබෝධයක් අවශ්‍ය ම ය. නැතිනම්, හෙට දිනයේ ඔබේ විවාහ ජීවිතය අපායක් බවට පත් වේ. යුගදිවියට ඇතුළත් වීම යනු එවන් තත්ත්වයක් අපේක්ෂා කිරීමක් නොවන නිසා, අවධානයෙන් මේ කාරණා ගැන සිතමු.

 

මනෝවිද්‍යා උපදේශක
දිනුක මදුෂාන් වන්නිනායක

නව අදහස දක්වන්න