කිසිදු ක්‍රීඩා සංගමයකට මින්පසු අතුරු කමිටු නෑ | දිනමිණ

කිසිදු ක්‍රීඩා සංගමයකට මින්පසු අතුරු කමිටු නෑ

ඉදිරියේදී මෙරට කිසිදු ක්‍රීඩා සංගමයකට අනතුරු පාලක මණ්ඩල පත් නොකරන බවත් ප්‍රජාතන්ත්‍රවාදී වැඩ පිළිවෙළක් යටතේ සෑම සංගමයකම සාධාරණ නිලවරණයකින් නිලධාරින් පත්කිරීමට පියවර ගන්නා බවත් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි.

ක්‍රිකට් පාලක මණ්ඩලයට පසුගිය කාලයේ අතුරු පාලක කමිටු පත්වීමෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඡන්ද වරම අහිමිවූ බවත්, පසුගිය වසර 8ක් තුළ ක්‍රීඩාව දේශපාලනීකරණය වීමෙන් ගැටලු රාශියක් පැන නැගුණු බවත් කී අමාත්‍යවරයා සමස්ත ක්‍රීඩාව වෙනුවෙන් ප්‍රතිපත්ති සකස් කරමින් ඒ සියල්ල නිමාකළ බව කියා සිටියේය.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අලුතින් ඉදිකරන ලද තීරු හයකින් සමන්විත පන්දු යැවීමේ පුහුණු මධ්‍යස්ථානය ඊයේ පස්වරුවේ විවෘත කරමින් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා මේ අදහස් පළ කළේය.

“පසුගියදා බැඩ්මින්ටන් නිලවරණය විගණන වාර්තාවක් නොමැතිව පැවැත්වීම නිසා එහි ඡන්දය අවලංගු කිරීමට සිදුවුණා. එවැනි සිද්ධින් හැරෙන්නට සෑම ක්‍රීඩා සංගමයකටම සාධාරණ ඡන්දයකින් නිලධාරීන් පත් කිරීමේ වාතාවරණය ක්‍රීඩා අමාත්‍යාංශය තුළින් ඇති කොට තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී මුදල් අවභාවිතාව සම්බන්ධව චෝදනා ලැබූවන්ට සහ අදාළ ක්‍රීඩාවේ නිරතව නොසිටි පුද්ගලයන්ට කිසිම ක්‍රීඩා සංගමයකම නිලතල වලට ඉදිරිපත් වෙන්නට අවස්ථාව දෙන්නේ නෑ” අමාත්‍යවරයා කීවේය.

ඊයේ විවෘත කළ අංග සම්පූර්ණ පුහුණු මධ්‍යස්ථානයේ ඉදිරියේදී විදෙස් සංචාරවලට සහභාගීවන ජාතික ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම් සතියක හෝ සති දෙකක පුහුණුවක් ලබනු ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

එංගලන්තයේදී ලබන ජූනි මාසයේ පැවැත්වීමට නියමිත ‘චැම්පියන්ස් කුසලාන’ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සැලසුම් කර තිබෙන දින හයක අධි පුහුණු වැඩසටහනේ ආරම්භයට සමගාමීව මේ මධ්‍යස්ථානය විවෘත කෙරිණි.

පැති විකට්ටු සඳහා අලුතින් සවි කෙරුණු විදුලි ආලෝක පද්ධතියද ඊයේ විවෘත කළ අතර මෙය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයිනේ ඉදිකරමින් යන පළාත් ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථාන හතරක පළමු අදියර සම්පූර්ණ කිරීමක් ලෙසින් සටහන් විය.

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට අමතරව කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ දඹුල්ලේ රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අංග සම්පූර්ණ පහසුකම් සහිතව ඉදිකෙරෙන සෙසු පළාත් පුහුණු මධ්‍යස්ථාන වෙයි.

මේ උත්සවයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල ඇතුළු නිලධාරීහු එක්ව සිටියහ.

ඉන්දික පොල්කොටුව
ඡායාරූප - උදේනි රාජපක්ෂ 

නව අදහස දක්වන්න