සිරිලක් දෙරණේ බෞද්ධ අභිමානය ලොවට රැගෙන යන ශාක්‍ය රාජධානියේ වත-ගොත | දිනමිණ

සිරිලක් දෙරණේ බෞද්ධ අභිමානය ලොවට රැගෙන යන ශාක්‍ය රාජධානියේ වත-ගොත

 තුන් ලොවක් අමා දම් සිසිලෙන් නිවා සනහාලු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මනු ලොව පහළ වූ රාජශ්‍රීයෙන් විරාජමානව ගිය කපිලවස්තුව අද නටඹුන් පුරවරයකි. තිලොව පරසිඳු රම්‍ය සුරම්‍ය සුභ ත්‍රෛමාළිගයෝ එහි නැත්තාහ. අනිත්‍ය වසඟයට පත් ඒ සියල්ලෝ කාලයේ වැලි තලාවෙන් වැසී ගොසිනි. ලොව නන් දෙසින් පැමිණ දඹදිව චාරිකාවේ යෙදෙන සැහැදැවතුන් හට දැක බලා ගැනීම සඳහා අදට ඉතිරිව ඇත්තේ කපිලවස්තුව අගනගරය කොටගත් ශාක්‍ය රාජධානියේ නටඹුන්ව ගිය අත්තිවාරම් කොටස් පමණකි.

සහසක් බුදුවරුන් පහළ වන බුද්ධ භූමියේ වත්මන් තත්ත්වය එසේ වත් දී ඒ උතුම් දහම සුරැකි ශ්‍රී ලංකා ධර්මද්වීපය, 2017 වසරේ එක්සත් ජාතීන්ගේ නිල වෙසක් උත්සවය සැමරීමේ සත්කාරක දේශය වශයෙන්, එකී මාහැඟි කර්තව්‍යය උදෙසා ලහි ලහියේ සූදානම් වෙමින් පවතී. මෙම ඓතිහාසික වෙසක් සැමරුමට සමගාමීව, එදා කපිලවස්තුවේ ශ්‍රී විභූතිය යළි ජීවමාන කරවමින් පිළියන්දල, කහපොළ ප්‍රදේශයේ අක්කර 78ක භූමි භාගයක් පුරා ඉදිවන ‘ශාක්‍ය රාජධානිය’, ශ්‍රී ලංකාවෙන් සකලවිළ බෞද්ධ ලෝකයාට දායාද වන තවත් මහානීය සදහම් තිළිණයකි.

කවුද මේක කරන්නේ...?

අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය ගරු විජයදාස රාජපක්ෂ මැතිඳුන්ගේ පූර්ණ මැදිහත්වීමේ, දැඩි කැපවීමේ සහ නොපසුබට උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසින් යථාර්ථයක් බවට පත්වීමට නියමිත, ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන මෙම ස්වර්ණමය ව්‍යාපෘතියේ සංකල්පය සහ සැලසුම් නිර්මාණකරණය ‘ආසියා ආලෝක පදනම’ හි (Light Of Asia Foundation) සභාපති ගරු නවීන් ගුණරත්න මහතා ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක් විසින් සිදුකරනු ලබන අතර ඉදිකිරීම් සහ ව්‍යාපෘති කළමනාකරණය ‘1:2:4 Designs’ ආයතනය විසින් සිදුකරනු ලබයි.

දෙස් විදෙස් පුරාවිද්‍යා මහාචාර්යවරුන්ගේ උපදෙස් සහ අධීක්ෂණය මත සිදුකෙරෙනා මෙම අසමසම ව්‍යාපෘතියේ ප්‍රධාන උපදේශකත්වය දරනු ලබන්නේ, තිස් වසරකට අධික කාලයක් ලුම්බිණි කපිලවස්තු පුරාවිද්‍යා පරිශ්‍රයන්හි ප්‍රධාන පුරාවිද්‍යාඥවරයා වශයෙන් කටයුතු කළ නේපාල ජාතික ආචාර්ය වසන්ත බිදාරි මහතා වන අතර මධ්‍යම සංස්කෘතික අරමුදලේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය නිමල් ද සිල්වා මහතා මේ සඳහා ස්වකීය නොමසුරු උපදේශන දායකත්වය සපයනු ලබයි.

මොනවද මෙතන තියෙන්නේ...?

රුපියල් මිලියන 500ක දැවැන්ත ව්‍යාපෘතියක් වන මෙය අදියර 4ක් යටතේ ක්‍රියාත්මක වන අතර මෙහි ඉදිවන ‘ශාක්‍ය රාජධානිය’, එදා කපිලවස්තුවේ අක්කර 48ක් පුරා විහිද පැතිරී පැවති රම්‍ය සුරම්‍ය සුභ මාළිගාවන්, වැව් - පොකුණු, උද්‍යාන, රැස්වීම් ශාලා ආදී සියලු අංගෝපාංගයන්ගෙන් යුතු, ඒවායේ ප්‍රමාණයෙන් සහ විශාලත්වයෙන් සමාන, පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම භාවිත කරමින් ඉදිකරනා අනූරුවකි. මෙයට අමතරව බුද්ධ චරිතය හා සෘජුව සබැඳි ලුම්බිණි, ඉසිපතන සහ කුසිනාරා උද්‍යාන සමඟින් ජනතාව උදෙසා භාවනා උද්‍යාන සහ ශාලා, පුස්තකාල සංකීර්ණයක්, සන්නිවේදන මධ්‍යස්ථානයක්, නිර්මාංශ භෝජනාගාර, වාහන නැවැත්වීමේ පහසුකම්, ආරක්ෂක කැමරා පද්ධති, ප්‍රථමාධාර සේවා ඇතුළු නවීන යටිතල පහසුකම් සහිතව මෙම සුවිසල් උද්‍යාන පරිශ්‍රය ඉදිකිරීමට සැලසුම්කොට තිබේ.

නවීනත්වයේ සහ පෞරාණිකත්වයේ ඒකාබද්ධ නිමැවුමක්...

අසිරිමත් බුද්ධ චරිතයේ සුවිශේෂී අවස්ථාවන් පිළිබිඹු කරමින් නවීන ‘හොලෝග්‍රැම්’ තාක්ෂණය ඔස්සේ සජීවීකරණය වන මෙම උද්‍යාන සහ මාළිගා සංකීර්ණය, ලෝක බෞද්ධ ප්‍රජාව වෙත 2017 එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උත්සව සැමරුම අළලා පිදෙන මහඟු තිළිණයකි. නවීනත්වය සහ පෞරාණිකත්වය යහමින් මුසු වූ මෙවන් ආකාරයේ දුර්ලභ, වටිනා නිර්මාණයක් ලොව වෙනත් කිසිදු බෞද්ධ රටක වර්තමානයේ අපට හමු නොවේ. ඒ අනුව දෙස් විදෙස් බෞද්ධ අබෞද්ධ සංචාරකයන්ගේ ආකර්ෂණයට නියත වශයෙන්ම පාත්‍ර වන මෙම ‘ශාක්‍ය රාජධානිය’, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා මහෝපකාරී වනු ඇති අතර, ගෘහ සහ උද්‍යාන නිර්මාණකරණයේ ශ්‍රී ලාංකීය විශිෂ්ටත්වය ලොවට විදහාපාන අසමසම නිර්මාණයක් වශයෙන්ද මෙය ජාත්‍යන්තර පිළිගැනීමට පාත්‍ර වනු ඇත.

ලොවටම ධර්මය බෙදෙන තැනක්...

සැලසුම් කොට ඇති පරිදි පළමු අදියරේ දී ඉදිවන මාළිගා සංකීර්ණය සහ උද්‍යානයන්ට අතමරව සෙසු අදියරයන් හි දී මෙහි ඉදිවන අධි තාක්ෂණ සන්නිවේදන මධ්‍යස්ථානය ඔස්සේ ශ්‍රී සම්බුද්ධ ධර්මය, භාෂා 15 කට අධික සංඛ්‍යාවකින් ලොව පුරා වෙසෙන ජනතාවට ශ්‍රව්‍ය - දෘශ්‍ය මාධ්‍යයෙන් විසුරුවා හැරෙන අතර, මෙම අමිල කර්තව්‍යය හා අත්වැල් බැඳගැනීමට දැනටමත් ලොව දැවැන්ත බෞද්ධ රටවල් සිය කැමැත්ත සහ සහයෝගය පළකොට තිබේ. තවද ලොව සියලු භාෂා සාහිත්‍යයන්ට අයත් බෞද්ධ පොත්පත් සහිත අන්තර්ජාතික පුස්තකාල සංකීර්ණයක් ස්ථාපිත කිරීමට බුද්ධශාසන අමාත්‍යාංශය මෙහිදී පියවර ගෙන ඇත. එසේම පුද්ගල ආධ්‍යාත්ම වර්ධනය ඉලක්ක කොටගනිමින්, වත්මන් තරගකාරී ජීවන රටාව තුළ බහුල වශයෙන් ඉස්මතු වන මානසික ආතතිය වැනි පීඩාකාරී තත්ත්වයන්ගෙන් මිදීමට ජනතාවට ඉඩහසර සහ නිවැරදි මඟපෙන්වීම සිදුකිරීමේ අරමුණින් මෙහි ස්ථාපිත වන, සක්මන් මළු, ශෛලාසන, පැන් පොකුණු ආදියෙන් සමන්විත භාවනා කුටි සහ උද්‍යාන සංකීර්ණය මෙම පරිශ්‍රයට එක්කරනු ලබන්නේ අමිල වටිනාකමකි.

විශිෂ්ටයන්ගේ මනා සුසංයෝගයක්...

අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය ගරු විජයදාස රාජපක්ෂ මැතිතුමන්, අමාත්‍යාංශ ලේකම් ගරු චන්ද්‍රපේම ගමගේ මැතිතුමන් ප්‍රමුඛ අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ අප්‍රතිහත ධෛර්යයේ කාරුණික උපකාරයේ සහ නිවැරදි මඟපෙන්වීමේ ප්‍රතිඵලයක් ලෙසින් ලොව හමුවේ යළි ජීවමාන වන ඒ පෞරාණික ශාක්‍ය රජදහනේ ඉදිකිරීම් සහ ව්‍යාපෘති කළමනාකරණය, ගෘහ නිර්මාණ සැලසුම් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලක්දිව සුපතල ‘1:2:4 Designs’ ආයතනය විසින් සිදුකරනු ලබන අතර, ලොව හොඳම බෞද්ධ චිත්‍රපටය ලෙසින් 2014 වසරේ ජාත්‍යන්තර සම්මානලාභී ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ සිනමා කෘතිය බෞද්ධ ‍ලෝකයාට දායාද කළ එමෙන්ම පුරා වසර අටක් ‘ජාත්‍යන්තර වෙසක් චිත්‍රපට උළෙල’ සහ ‘සිනමා දන්සැල’ සංවිධානය කරමින් ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ බුදුදහමේ පණිවුඩය ලොවට රැගෙන යාමේ උත්තරීතර කර්තව්‍යය සිදුකළ ගරු නවීන් ගුණරත්න මහතා ප්‍රමුඛ ‘ආසියා ආලෝක පදනම’ සිය අත්දැකීම සහ නිර්මාණශීලී සංකල්පයන් උපයෝගී කරගනිමින් මෙම මාහැඟි ව්‍යාපෘතියේ නිර්මාණ සැලසුම්කරණය සිදුකරනු ලබයි.

ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ සහ බිහිවන දැවැන්තම බෞද්ධ නිර්මාණයන් අතර පෙරමුණේම වැජඹෙන මෙම ‘ශාක්‍ය රාජධානිය’ ශ්‍රී සම්බුද්ධ ධර්මය ලොව පුරා ව්‍යාප්ත කරමින්, ශ්‍රී ලාංකීය බෞද්ධ අනන්‍යතාව ලොව හමුවේ විදහා දක්වන අද්විතීය නිමැවුමකි.

නව අදහස දක්වන්න