ශාක්‍ය ජනපදයේ පළමු අදියර ජනපති විවෘත කරයි | දිනමිණ

ශාක්‍ය ජනපදයේ පළමු අදියර ජනපති විවෘත කරයි

බුදුන් වහන්සේගේ උපත සිදුවූ ලුම්බිණිය ඇතුළු භාරතයේ සිද්ධස්ථාන මෙරටදී දැකබලා ගැනීමේ අවස්ථාව ජනතාවට උදාකරමින් පිළියන්දල, කහපොළ ප්‍රදේශයේ ඉදිකරන ලද ශාක්‍ය ජනපදයේ පළමු අදියර අද (11) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරිණි. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙලට සමගාමීව මෙහි පළමු අදියර විවෘත කිරීම සිදු විය.

මිලියන පන්සියයක වියදමින් අක්කර 78ක භූමි ප්‍රදේශයක ඉදිකර ඇති මෙම ශාක්‍ය ජනපදය තුළ බුද්ධ කාලීන ශාක්‍ය ජනපදය ඒ ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය කර තිබෙන අතර සුද්ධෝදන රාජ මාලිගය, රම්‍ය, සුරම්‍ය, සුබ මාළිගා, බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය සිදු වූ ලුම්බිණිය, බුද්ධත්වයට පත් වූ බුද්ධගයාව, මහා පරිනිර්වාණය සිදු වූ කුසිනාරාව, ප්‍රථම ධර්ම දේශනය පැවැත් වූ ඉසිපතනාරාමය, නාලන්දාව ආදි බුද්ධ චරිතයට අදාළ විශේෂ සිදුවීම් සිදුවූ ස්ථාන එහි ප්‍රතිනිර්මාණය කොට ඇත.

මේ හා සමගාමීව එම පරිශ්‍රයේ අංග සම්පූර්ණ බෞද්ධ මධ්‍යස්ථානයක්, බෞද්ධ පුස්තකාලයක්, ඊ පුස්තකාල, භාවනා මධ්‍යස්ථාන, නිර්මාංශ භෝජනාගාර, විවේකාගාර, නරඹන්නන් සඳහා රථගාල් ආදිය ද ඉදිකිරීමට නියමිතව තිබේ.

සමරු ඵලකය නිරාවරණය කර ශාක්‍ය ජනපදයේ පළමු අදියර විවෘත කළ ජනාධිපතිවරයා එහි ප්‍රතිනිර්මානය කර තිබෙන ලුම්බිණි සල් උයනේ සල් පැළයක් ද රෝපණය කරනු ලැබීය.

ව්‍යාපෘතියේ ඉදිකිරීම් අධික්ෂණය කළ නේපාලයේ පුරාවිද්‍යාඥ වසන්ත බිදාරි මහතා විසින්, අසිරිමත් ලුම්බිණිය, නම් ග්‍රන්ථය ජනාධිපතිවරයාට පිළිගැන්වීය.

පුරාවිද්‍යාඥ වසන්ත බිදාරි මහතා වෙත සහ ව්‍යාපෘතිය සඳහා උපදේශකත්වය සැපයූ මහාචාර්ය නිමල් ද සිල්වා මහතා වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

දායකත්වය දැක්වූවන් කිහිප දෙනකු සඳහා ද සමරු තිළිණ පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

ශාක්‍ය ජනපදයේ ඉදිකර තිබෙන ප්‍රදර්ශන කුටිය නැරඹු ජනාධිපතිවරයා එහි පැවැත්වෙන දන්සැල ද නිරික්ෂණය කරනු ලැබීය.

ත්‍රිකුණාමලයේ ආනන්ද නායක ස්වාමින් වහන්සේ, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි ගෝණදුවේ ගුණානන්ද නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ නේපාලය, භූතානය, චීනය, සිංගප්පූරුව ආදි රටවලින් වැඩම කර සිටි මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන්වන විජයදාස රාජපක්ෂ, පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය අමාත්‍ය සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, කැස්බෑව ආසන සංවිධායක නිරෝෂන් පාදුක්කේ, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ, ආසියා ආලෝක පදනමේ සභාපති නවීන් ගුණරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

නව අදහස දක්වන්න