ආදරයේ උල්පත..! | දිනමිණ

ආදරයේ උල්පත..!

ආදරයේ උල්පත වූ අම්මාවරුන්ගේ දිනය ඊයේට යෙදී තිබිණි. මෙවර අම්මාවරුන්ගේ දිනයෙහි තේමාව වෙනසක් සඳහා කැපවෙමු යන්න ය. වෙනසක් හැබෑවට ම අවශ්‍ය වේ. ඒ වෙනස ඇතිවිය යුත්තේ පැති දෙකකින් ය. එක අතෙකින් දරු පරම්පරාව අම්මා කෙරෙහි දක්වන ගෞරවය හා සැලැකිල්ල ප්‍රවර්ධනය විය යුතුය. තව අතෙකින් අම්මාවරුන් දරුවන් කෙරෙහි දක්වන ආදරය හා සැලැකිල්ල ද වැඩි දියුණු විය යුතුය. මේ දෙපැත්තට සංශෝධන අවශ්‍ය බව සමාජ සිදුවීම් නිරීක්ෂණය කරන කල හොඳින් පැහැදිලි වෙයි.

බුත්තල ප්‍රදේශයේ දී වයස්ගත කාන්තාවක් බස් නැවතුමක දමා ගොස් තිබිය දී සොයා ගෙන තිබිණි. ඒ මවගේ එක් පාදයක ලේ ගලන තුවාලයක් තිබූ බවද සඳහන් ය. කරුණු සොයා බලන විට පැහැදිලි වන්නේ දරුවන් ඇය අතරමං කොට පලාගොස් ඇති බව ය. මවට දරුවන් තිදෙනෙකු ඇති බවද ඔවුන් රාගම ප්‍රදේශයේ හොඳින් ජීවත්වන බවද මව කියයි. මෙය සත්‍යයක් නම්; එම දරුවන්ට නඩු දැමිය යුතුය. මේ එක සිද්ධික් පමණි. වෙසක් සමයේ තොරණ බැලීමට යැයි මවක රවටාගෙන ගොස් අතරමං කළ පුවතක් ද ජනමාධ්‍ය මගින් හෙළිදරව් කැරිණි.

අපේ සංස්කෘතිය තුළ දරුවාට වඩාත් සමීප තැනැත්තා අම්මා යැයි කිව හැකි ය. දරුවන් වෙනුවෙන් අම්මලා කරන කැපවීම තාත්තලා සිදුකරන්නේ ද යනු ගැටලුවෙකි. අම්මා නැති කල; අප්පා කවර කල යැයි සමාජ සම්මත යෙදුමක් අප අතර තිබේ. අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා යැයි ජනකවියා කියා තිබේ. මේවා නිර්මාණය වූයේ අපේ රටේ අම්මලා‍ගේ ප්‍රායෝගික හැසිරීම් රටාව පාදක කරගෙන ය. එබඳු තත්ත්වයක් තුළ අම්මලා නොසලකා හැරීමට සමාජය පෙළැඹෙන්නේ කෙසේ ද? එය විමසා බැලිය යුතු තත්ත්වයකි.

දරුවන් ඇති අම්මලා පන්දහස් ගණනක් අනාථ නිවාසවල ජීවත්වන බව නිල සංඛ්‍යා ලේඛනවල දැක් වේ. අනාථ නිවාස හැර වෙනත් ස්ථානවල දුකසේ ජීවත්වන තවත් අම්මලා සිටිති. ඔවුනට ආදරය අහිමි ය. නිදහස අහිමි ය. කොටින් ම ජීවත්වීම පවා ඔවුනට අභියෝගයක් වී තිබේ. තවත් අම්මලා තම දූ - දරුවන්ගේ ම වහල් සේවයෙහි නිරත වී සිටිති. ශ්‍රී ලංකාවේ එක්තරා නරුම පුතෙක් තම මවගේ දෑත් යකඩයකින් තලා තිබුණේ ඔහුගේ රෙදි කලට - වේලාවට සෝදා නොදුන් නිසා ය. මෙබඳු පුත්තු ඕනෑතරම් සිටිති. මෙබඳු දුවලා ද ඕනෑතරම් සිටිති.

අපේ අම්මලාගේ ශෝකාන්තය මේ ගැටලුවේ එක් පැත්තක් පමණි. මෙහි තවත් පැත්තක් තිබේ. එය විග්‍රහ කළ හැක්කේ නූතන අම්මාගේ ස්වභාවයත් සමඟ ය. තම රූ සපුව ගැන සිතමින් තමන්ගේ ම දරුවාට මව්කිරි නොදෙන අම්මලා අප අතර සිටිති. අතීත අම්මා තම ජීවිතයම දරුවන් උදෙසා කැප කළ අතර අද අම්මලා එසේ යැයි කියන්නට බැරි ය. අපේ එක මවක් තම දරුවා කැලණි ගඟට වීසිකොට පලාගිය බව ද අමතක නොකළ යුතු ය.

හාත්පසින් අසන්නට - දකින්නට ලැබෙන දේවල් අනුව දරුවන්ගේ සිත් දූෂ්‍ය වීම අරුමයක් නොවේ. උපන් හැටියේ දරුවන්ගේ ගෙල මිරිකා මරා දමන මව්වරු අපට සිටිති. උපන් හැටියේ බිලිඳුන් වැසිකිළි වළට ඔබන අම්මලාද අපට සිටිති. මෙබඳු පසුබිමක් තුළ අම්මා ගෞරවණීය චරිතයක් ලෙස හඳුන්වන්නේ කෙසේ ද? ඇතැම් අම්මලා දරුවන්ට දෙන දඬුවම් දෙස බැලුවහොත් ඔවුන් අම්මලාද යන ගැටලුව මතු වේ. කෙසේ වුව අවසන් විග්‍රහයේ දී පැහැදිලිවන්නේ ඇතැම් අම්මලා දරුවන්ගේ වෛරය ව්‍යාප්තවන ලෙස හැසිරෙන බව ය.

ශ්‍රී ලංකාව දෙස නැවත හැරී බැලුවහොත් මේ තරම් බණ අසන හා මේ තරම් බණ කියන වෙනත් රටක් ලෝකයේ කොතැනකවත් නැත. උදෑසන හිරුකිරණ පොළොව සිපගන්නටත් පෙර සිට බණ දේශනා ආරම්භ වෙයි. නැවත ඒවා මධ්‍යම රාත්‍රිය අවසන් වන තුරු ද පවතී. අම්මලා හා දරුවන් එක තැනෙක තබා කියන බණ දේශනා ද තිබේ. එම අවස්ථාවලදී බහුල ලෙසින් මතුවන්නේ මව්ගුණය. මේ අවස්ථාවලට සහභාගීවන දෙපිරිස ම සෙම් සොටු පෙරාගෙන හඬා වැලපෙති. එහෙත් ප්‍රායෝගික ලෝකයට ගිය කල මේ කිසිවක් දැක ගැනීමට නැත. අම්මලා එක ලෝකයක ය. දරුවෝ තවත් ලෝකයක ය.

යුරෝපා සමාජය ද, ඉංග්‍රිසි සමාජය ද අපගේ දැඩි විවේචනයට ලක් වන්නේ එම රටවල මා - පිය, දූ දරු සබඳතා බිඳී ගොස් ඇති බවට ය. එහෙත් එය ඇත්තක් නො වේ. ඔස්ට්‍රේලියාවේ සිද්ධියකින් එය සනාථ කළ හැකි ය. එහි සෙනෙට් සභික ලැරීසා වෝටර්ස් මීට දින කිහිපයකට ඉහතදී තම දරුවා රැගෙන’විත් පාර්ලිමේන්තුවේ දී මව්කිරි ලබා දුන්නා ය. සියල්ලෝ ම නිහඬ ව ඒ දෙසබලා උන්හ. පාර්ලිමේන්තුවක දී දරුවකුට මව්කිරි ලබාදුන් ප්‍රථම ඇමැතිනිය ලෙස ඇය ලෝක ප්‍රසිද්ධියට පත් වූවා ය. අම්මලා හැසිරිය යුත්තේ ඒ අන්දමට ය.

අපේ පවුල් සංස්ථාව තුළ අවුල් ගහන බවද එහි සබඳතා බිඳීගොස් ඇති බව ද සත්‍යයෙකි. සදාචාරයේ බිඳවැටීම, ආර්ථික ගැටලු. නීතියේ ලිහිල්භාවය හා සමාජ ක්‍රමයේ වැරැදි ද ඒ සඳහා බලපා තිබේ. මේවා පිළිබඳ හොඳ සංවාදයක් ඇති කිරීමට බුද්ධිමතුන් පියවර ගත යුතු ය.

විශේෂයෙන් විනය හා හික්මීම සමාජය අතර ස්ථාපිත කළ යුතු ය. අද සමාජයේ වැඩි දෙනා ළඟ ලැජ්ජා - භය නැත. සමාජය බොහෝ සෙයින්ම සංකීර්ණ වී ඇති අතර මනුෂ්‍යත්වය තඹ දොයිතුවකට ගණන් නොගන්නා තත්ත්වයක් පැළපදියම් වී ඇත. මේවා වෙනස් කිරීම පහසු නැත. එබැවින් එය අභියෝගයක් ලෙස පවතී.

නව අදහස දක්වන්න