යුතුකම් හරිහැටි ඉටු කරනවාදැයි හදවතින්ම අහන්න | දිනමිණ

යුතුකම් හරිහැටි ඉටු කරනවාදැයි හදවතින්ම අහන්න

ජගත් හෙද දින සැමරුමේදී ජනපති කියයි

රට වශයෙන් ගත්විට හෙද සේවාවට දියහැකි ඉහළම අගය රජයක් විදියට ලබාදීම සෑම විටම ප්‍රතිපත්තියක් විදියට පිළිගන්නා බවත් තමන් රට වෙනුවෙන් කළයුතු වගකීම් සහ යුතුකම් හරිහැටි ඉෂ්ට කරනවාද යන්න සෑම අයෙකුගේම හදවතට තට්ටු කර ඇසිය යුතු කාරණයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර හෙද දිනය සැමරීම වෙනුවෙන් කොළඹ පෙරේදා (13) පැවැති උත්සව අමතමිනි. තම සේවා කාලය තුළ සේවා ස්ථානයේ නොසිට පෞද්ගලික සේවාවන්හි නිරත වෙමින් මුදල් හම්බ කරනවා යැයි හෙද සේවාවේ කිසිවෙකුට කිසිදා චෝදනාවක් එල්ල වී නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කියයි.

සේවා කාලය තුළ සේවා ස්ථානයේ සිටිය යුතු අය නොසිටින අවස්ථා තිබෙන බව පෙන්වාදෙන ජනාධිපතිවරයා ඒ අය කවුරුන්ද යන්න ඔබ අප කවුරුත් දන්නා බවද සේවාවන්වල ගුණාත්මක භාවය සහ ප්‍රමිතිය සියල්ල ගත්විට මේ සෑම දෙයක්ම සේවාවන්හි වැඩකරන අයගේ හෘද සාක්ෂිය සම්බන්ධ ප්‍රශ්නයක් බවද කියාසිටී.

හෙද සේවයේ ගන්නා වූ තීන්දු තීරණවලදි රජය පැත්තෙන් කළයුතු යම් වගකීමක් යුතුකමක් තිබේ නම් මුළු මහත් හෙද සේවාව වෙනුවෙන් රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ ඉහළම තීන්දු තීරණ ගන්නා බවද ඇතැම් වෘත්තීය සමිති දේශපාලන න්‍යාය පත්‍රවලට කටයුතු කර තිබෙන බවට පැහැදිළිව පෙනී යන කාරණයක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය. මේ දිනය අන්තර් ජාතික වශයෙන් තිබෙන වැදගත්කමත් සමඟ අපේ හෙද සේවාවේ ගුණාත්මකභාවය වර්ධනය කරමින් එම සේවාවට අවශ්‍ය පහසුකම් ලබාදෙමින් අපි වඩවඩාත් එම සේවාව ශක්තිමත් කළයුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. 

 

නව අදහස දක්වන්න