ඉන්දීය අගමැතිගෙන් ඇරැඹි ජගත් වෙසක් උළෙල නේපාල ජනපතිනියගෙන් සමාප්ත වූ වගයි | දිනමිණ

ඉන්දීය අගමැතිගෙන් ඇරැඹි ජගත් වෙසක් උළෙල නේපාල ජනපතිනියගෙන් සමාප්ත වූ වගයි

මහින්ද අලුත්ගෙදර

 

එක්සත් ජාතීන්ගේ 14 වැනි ජාත්‍යන්තර වෙසක් සැමරුමේ සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වීම සඳහා නේපාල ජනාධිපතිනී බිද්යා දේවි භණ්ඩාරි මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණියාය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පෙරේදා (13) පැමිණි නේපාල ජනාධිපතිනිය අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති ආචාර්ය විජදාස රාජපක්ෂ, විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරාල සහ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහත්ම මහත්මීන් විසින් මහතා හරසරින් පිළිගනු ලැබූහ.

මෙරටට පැමිණි බිද්යා දේවි භණ්ඩාරි මහත්මිය ගුවන් තොටුපොළේ විශේෂ අමුත්තන්ගේ පොතෙහි සමරු සටහනක් ද තැබුවාය. එයින් අනතුරුව ජාත්‍යන්තර වෙසක් සැමරුම් උළෙලට සමගාමීව නෙළුම් පොකුණ රඟහලේ දී පැවැති විශේෂ සංස්කෘතික ප්‍රසංගය නැරැඹීමට එක් වූ අතර, ඒ අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක්විය. මෙහි දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් නේපාල ජනාධිපතිනිය සුහඳව පිළිගනු ලැබීය.

ශ්‍රී ලාංකීය නර්තන සංදර්ශන මෙන්ම චීනය, වියට්නාම් සහ ඉන්දීය නර්තන අංග රැසකින් විචිත්‍රවත් වූ මේ සංස්කෘතික සංදර්ශනය නැරැඹීම සඳහා කතානායක කරු ජයසූරිය, ඇමැතිවරුන් වන ආචාර්ය විජයදාස රාජපක්ෂ, එස්. බී නාවින්න, වජිර අබේවර්ධන මහත්වරු ඇතුළු දෙස් විදෙස් අමුත්තන් විශාල පිරිසක් එක්ව සිටියහ.

මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ දී පැවැති ජාත්‍යන්තර වෙසක් දින සැමරුමේ සමාප්ති උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් නේපාල ජනාධිපතිනී බිද්යා දේවි භණ්ඩාරි මහත්මිය සහභාගි වූ අතර, ඊට පෙර පේරාදෙණිය උද්භිත උද්‍යානයේ සංචාරය කළ ඒ මහත්මිය සිය සංචාරය සිහිවීම පිණිස පැළයක් රෝපණය කිරීමේ අවස්ථාවට ද එක්වූවාය.

පසුගිය 2015 වසරේ ඔක්තෝබර් මාසයේ දී නේපාල ජනාධිපතිවරිය බවට පත්වීමෙන් අනතුරුව ඒ මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරය කරන දෙවැනි අවස්ථාව මෙය වන අතර, මෙරට රැදී සිටින කාලයේ දී රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතව තිබේ.

 

ඡායාරූප- සුදත් මලවීර, ජනාධිපති මාධ්‍ය අංශය
සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

නව අදහස දක්වන්න