ඉන්දියා අගමැතිට කඳුරට දී ඉමහත් හරසර | දිනමිණ

ඉන්දියා අගමැතිට කඳුරට දී ඉමහත් හරසර

ජාත්‍යන්තර වෙසක් දින සැමරුම වෙනුවෙන් මෙරටට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ කඳුරට සංචාරය සිදුවූයේ දික්ඔය මූලික රෝහල් පරිශ්‍රය විවෘත කිරීමට සමගාමීවය. 12 වැනිදා උදේ වරුවේ හැටන් ප්‍රදේශයට ළඟා වනවිටම එහි අමුතු සිරියක් දක්නට ලැබුණේ මෝදිගේ පැමිණීමෙන් ප්‍රදේශයම නව ජීවයක් ලද්දක් මෙනි.

බෞද්ධ කොඩිවලින් සරසා තිබූ හැටන් නගරය මෝදි වෙනුවෙන් ද සරසා තිබුණේ වෙසක් සැරසිලිවලට කිසිදු අගතියක් නොවන ලෙසය. නොනවත්වා ඇදෙන බස් රථ පෙළට දෙපස සැදී පැහැදී සිටි ළමා ළපටින් මෙන්ම වැඩිහිටියෝද අත් වනමින් සතුට ප්‍රකාශ කරනු පෙනුණි. ඔවුන් සැරසී සිටියේ ද මංගල උත්සවයකට යන තරම් හැඩයෙනි. මුහුණු කළ එලි වැටිලාය. සැබැවින්ම පෙර දිනෙක නොදකින උද්‍යෝගිමත් බවක් ඔවුන්ගෙන් දක්නට ලැබුණි.

දික්ඔය මූලික රෝහලට කිලෝ මීටරයක් පමණ තිබියදී බස් රථවල වේගය අඩාල වන්නට විය. තවත් විනාඩි කීපයක් ඇතුළත එක රථයක්වත් අඩියක් හෝ ඉදිරියට හෝ පසුපසට ගියේ නැත. වැඩි වේලාවක් ඉවසා සිටිය නොහැකි ජනතාව බස් රථවලින් බැස පයින් ගමන් කරන්නට විය. ඔබ ජන ගඟක් දැක නැත්නම් නිසැකයෙන්ම ජන ගඟ මේ යැයි කියනු ඇත. එන්න එන්නම පිරිස වැඩි වනු මිස අඩුවනු නොපෙනේ. පොලිස් නිලධාරින් ඇතුළු ආරක්ෂක අංශ නිලධාරින්ද මාර්ගය පැහැදිලි කිරීමට දැඩි පරිශ්‍රමයක නිරතවනු දක්නට ලැබිණි.

මාධ්‍ය‍ෙව්දීහු රැගත් බස් රථ දෙකද අඟලක් ‍හෝ සොළවා ගත නොහැකිව බලා සිටී. විවිධ නිලධාරින් සම්බන්ධ කර ගත්තද විකල්පයක් නැත. කැමරා කාචයන් හා සියලු ආම්පන්න කර තබා ගත් අපටද සිදුවූයේ මේ ජන ගඟට එක්වීමටය. එතැන් සිට නෝවුඩ් මහජන ක්‍රීඩාංගනය කිලෝ මීටර් දෙක තුනක් ඇති බව කියනු ඇසිනි. අවසාන මීටර් පන්සියයක් පමණ දුරක් පොලිස් නිලධාරින් මැදිහත්වී මාධ්‍යවේදීන්ව වෑන් රථයකට පටවනු ලැබීය.

ආරක්ෂාව දැඩි ලෙස තර කර තිබූ නිසා තවත් වේලාවක් ඒ කටයුතුවලට වැය කර ක්‍රීඩාංගනයට ඇතුල් වූ අපට දැක ගැනීමට හැකි වූයේ එකම හිස් ගොඩකි. තවමත් මාර්ගය දිගේ ජන ගඟ ගලයි. කිසිදු වෘත්තීය සමිතියක, පක්ෂයක, ජාතියක, ආගමික බෙදීමක් දක්නට නැත. ප්‍රබෝධමත් සිනාවෙන් දෑස් දල්වාගෙන ඔවුන් බලා සිටියේ ‘ලොකු අයියා’ එනතුරුය.

වතුකරයේ බහුතරය ඉන්දීය සම්භවයක් සහිත වූවන්ය. බ්‍රිතාන්‍ය පාලන ස‍මයේ දී තේ වගාව සඳහා ඉන්දිය‍ාවෙන් මෙරටට පැමිණි ඔවුන්ගේ මුතුන් මිත්තන් අද නැත. බ්‍රිතාන්‍ය ජාතිකයන් ආපසු යනවිට අපේ තේ ගෙන ගියා මිස ඉන්දියාවෙන් රැගෙන ආ කම්කරුවන් රැගෙන ගියේ නැත. ඔවුන් විවිධ හැලහැප්පීම් සමඟ කඳුකරයේම ජීවත්විය.

ඔවුන්ට මෙන්ම ශ්‍රී ලංකා රජයටද මෙය ගැටලුවක් වෙද්දි 1964 ඔක්තෝබර් 30 එවකට ලංකාවේ අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය සහ එවකට ඉන්දියාවේ අගමැති වූ ලාල් බහදුර් ශාස්ත්‍රී අතර ඇති වූ සාකච්ඡාවලින් යම් එකඟතාවයකට පැමිණීමට හැකිවිය. ඒ අනුව එම කම්කරුවන්ගෙන් භාගයක් ඉන්දියාවට ගෙන්වා ගැනීමත් භාගයක් ලංකාවේ නවතා ගැනීමත් සිදුවිය. 1981 දී කළ තක්සේරුවට අනුව 280,000 ඉන්දියානුවන් නැවත සිය රට කැඳවා ඇති අතර, 160,000කට ශ්‍රී ලංකාවේ පුරවැසිකම ලබා දී තිබේ. සිරිමා - ශාස්ත්‍රී ගිවිසුමෙන් පසුවද විවිධ ගැටලු මතු වූ අතර සෑම රජයක්ම ඒවා නිරාකරණය කිරීමට ගත් උත්සාහය කැපී පෙනුණි. මේ වනවිට මෙරටට මුලින්ම පැමිණි ඉන්දියානුවකුගේ පරම්පරා කිහිපයක්ම ජීවත්වන අතර ඔවුන් දැන් ශ්‍රී ලාංකිකයන්ය. ශ්‍රී ලාංකික පුරවැසියන්ය.

ඒ කෙසේ වූවත් ‘ලොකු අයියා’ ගේ පැමිණීම ඔවුනට විශේෂය. දිගු කාලයකට පසු ඔවුන් බලන්නට ආ සුවිශේෂම ඥාතියා මෝදිය. මීට වසර 90කට ආසන්න කාලයකට පෙර මහත්මා ගාන්ධිතුමා මෙසේ කඳුරට සංචාරය කර ඇත. එහෙත් ඒ මතකය ඇති අය අද සිටිතැයි විශ්වාස කළ හැකි නොවේ.

මේ ජන රැලිය පුරාම මා දුටු සුවිශේෂ බව වෙනත් කිසිදු රැලියක දැක නැති බව නම් සටහන් කළ යුතුමය. සටන් පාඨ හෝ ඉල්ලීම්, චෝදනා කිසිවක් නැත. තම සහෝදරයා හමුවීමට එකම තැනකට එක්රැස් වූ පිරිසක් පමණක් එතැන විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ ඥාතීන් හමුවට පැමිණෙන්නේ දික්ඔය මූලික රෝහල විවෘත කිරීමෙන් අනතුරුවය. මුලින් කී පරිදි නෝවුඩ් ක්‍රීඩාංගනය වෙත අප පා ගමනින් පැමිණියේ එම රෝහල අසල සිටය. දික්ඔය මූලික රෝහලට මුල්ගල තබන ලද්දේ 2011 වසරේදීය. ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට සෞඛ්‍ය ඇමැති ලෙස කටයුතු කරන කාලයේය. එවකට ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙම රෝහල ඉදිකිරීමට මුල් ගල තබන ලදී. යෝජිත රෝහල සඳහා ඉන්දියාවෙන් රුපියල් මිලියන 1200ක් වෙන් කෙරිණ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙවැනි විශාලතම රෝහල ලෙස ඉදිවුන දික්ඔය මූලික රෝහල සියලු නවීන තාක්ෂණික අංගෝපාංගයන්ගෙන් සමන්විත අතර මහල් තුනකින් යුත් වාට්ටු සංකීර්ණයේ ඇඳන් 150කි.

වෛද්‍ය උපකරණ අංශය, බාහි‍ර රෝගී අංශය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ වෛද්‍ය සායන, හදිසි ප්‍රතිකාර ඒකකය, මාතෘ හා ළදරු ඒකකය, සූතිකාගාරය හා ඊට අදාළ උපකරණ සේවා අංශය, ශල්‍යාගාර තුනක්, එක්ස් කිරණ ඒකකය, ලේ බැංකුව, ගිනි නිවන උපකරණ පද්ධතිය සේම නිල නිවාස සංකීර්ණ දෙකක්ද විවෘත කරන ලද රෝහලට අයත්ය.

මෙවන් සුපිරි රෝහලක් ලැබීමට අප වාසනාවන්ත වූවා සේම එය ඔවුන්ට ලැබිය යුතුම සේවාවකි. කෙසේ වූවත් මෙහි තත්ත්වය නිසිලෙස නඩත්තු කිරීමටද ඔවුන්ගේ දායකත්වය ලැබිය යුතුමය. රෝහලට අමතරව තවත් තෑගි ලබාදෙමින් ‍ ‘ලොකු අයියා’ ඥාතීන් හමුවේ කළ කතාවට ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයකි. සමහරවිට එය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තු වූවාටත් වඩා විය හැකිය.

ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ හා ඉන්දීය අගමැතිවරයාගේ කතාවට අමතරව පිළිගැනීමේ කතාව පමණක් සිදුකළ අතර එය මනෝ ගනේෂන් මහතා විසින් සිදුකළේය. වේදිකාවෙන් බැස ගිය සහෝදරයා ආපසු යන අයුරු දකින්නට ක්‍රීඩාංගනයේ කෙළවර පිරිස් පොරකනු පෙනුණි.

ඒ අතර ක්‍රීඩාංගනයෙන් පිටතට පැමිණීමට ද ටික වේලාවක් ගත වූයේ ආරක්ෂක හේතූන් මතය. ඒ ලැබුණ ඉඩ අතරතුර සිංහල භාෂාව හසුරුවන කී‍පදෙනකු සමඟ කතා කිරීමට මම අවස්ථාව උදාකර ගතිමි.

බගවන්තලාවේ ජෙයකුමාර - උදෙන්ම ඇවිල්ලා ඉස්සරහම ෂීට් එකක් අල්ලා ගත්තා. අපිට හරිම සතුටුයි. ඇහු‍ණනේ කියනවා ඒ අපේ සහෝදරයා. කවුද එහෙම ඇවිත් අපිව බලලා යන්නේ?

දිගන සෙල්වරාජ් - අපි අපේ පවුලම ආවා. ආච්චිත් ආවා. මගේ පුතාලා දෙන්නා තමයි මෝදි මෝදි කියලා කෑ ගැහුවේ. අගමැතිට ඒක ඇහුණා. අපි දිහා බැලුවා.

(ලිඳුල) උදයකුමාර් - අර රටේ නායකයා මේ රටේ නායකයා එනව කියනවා මෙහෙට නම් කවුරුත් එන්නෙ නෑ. ආව එකම කෙනා තමයි මේ. ඒ ආවෙ අපේ කෙනෙක් නිසා. මේ තියෙන රූපෙ මම පහන ළඟින් අලවනවා.

(නාවලපිටිය) ප්‍රීති සුදර්ශනී - අපි ඉන්දියාවේ අගමැතිතුමා දැකලා තියෙන්නේ ටී.වී. එකෙන් විතරයි. මෙච්චර ළඟට ඇවිල්ලත් එතුමා දැක්කෙ නැත්නම් ඇති වැඩේ මොකක්ද? අපි බස් එකක් අරන් ආවේ.

(හැටන්) විෂ්නුදේවි - කකුල් අමාරුව තිබිලත් ආවා. මගේ දුව වත්තේ දලු කඩනවා. බෑනා කංකානි. මුණුපුරු මිණිපිරියෝ තුන්දෙනයි. ඒගොල්ලෝ ඉස්කෝලෙ යනවා. බෑනා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. මෝදි මහත්තයා හැදුව ඉස්කෝලෙ. වැඳලා යන්න ආවේ.

උත්ත්‍රියා‍මෙරි (හැටන්) - අපි ඉස්කෝලෙ යනවා. අයියා A/L මම අටේ. අපේ ඉස්කෝලෙ ලැබ් එක හදලා දුන්න වෙලාවෙ මම හිතුවා අනේ මට එතුමාව දකින්න ඇත්නම් කියලා. මම මෝදි අගමැතිතුමා ගැන රචනයක් ලියලා පත්තරේට දානවා.

අප සමඟ කතාබහ කිරීමට බොහෝ දෙනා ඉදිරිපත් වෙද්දි අපට එතැනින් පිටතට යාමට අවස්ථාව ලැබුණි. ක්‍රීඩාංගනයෙන් පිටතට පැමිණි අපට දක්නට ලැබුණේ ආපසු ගලන ජන ගඟයි. නලියන හිස් ගොඩක් සහ පොලිස් නිලධාරින්ගේ සංඥා හඬ මිස වෙනත් කිසිවක් නැත.

උදෑසන පරිදිම කැමරා ආම්පන්න කර තබාගත් මාධ්‍ය සගයින් සමඟ ආපසු ගලන ජන ගඟට එක්වීමට අපටද සිදුවූයේ අප පැමිණි බස් රථ පේන තෙක් මානයකවත් නොවූ නිසාය. බොහෝ පිරිස් මග දෙපස රැඳී ගීත ගයන අයුරුද, කෑම කන අයුරුද පෙනේ. කොතරම් ඇවිද ගියත් අප එක තැන මෙන් දැනේ. යාන්තම් කිලෝමීටර් හයක් ගිය තැන අප පැමිණි එක් බස් රථයක් මුණ ගැසිනි. සියලුදෙනාම ඊට ගොඩවී අනෙක් බස් රථය හමුවන තුරු ගමන් කළෙමු.

අප හැටන් නගරයට සේන්දු වූයේ පස්වරු පහට පමණ. හැටන් නගරයේ මෙතෙක් දුටු දැඩි වාහන තදබදය මෙය බව පොලිස් නිලධාරින් පැවැසීය. අවසානයේ පහයි හතළිහ පමණ වනවිට දිවා ආහාරය සූදානම් කළ ස්ථානය වෙත ළඟාවීමට හැකිවිය. එය හැටන් නගර මධ්‍යයේම පිහිටි ස්ථානයකි. එහි වැඩි වේලාවක් ගතකිරීමට අපට අවශ්‍ය වූයේ නැත. එහෙත් අපට හැටන් නගර සීමාවෙන් පිටවීමට සිදුවූයේ හය හමාරත් ගෙවී ගිය පසුය.

ඒ වනවිට ආපසු යමින් සිටි ජන සේනාව රැගත් බස් රථ පෙරහරට අපගේ බස් රථ දෙකද එක් වුණි. ඔවුන් සිංදු කියමින් නටමින් විනෝද වෙමින් යද්දී අපි රෙකෝඩර් අසමින් බසයේ තාලයට ගැස්සෙමින් ලියමින් ලැප්ටොප් වෙත ඔළුව ඔබා ගනිමින් සිටියෙමු.

 

ක්‍රිසන්ති විතාරණ

නෝවුඩ් සංචාරයකින් පසුව 

නව අදහස දක්වන්න