ප්‍රංශ ජනපතිගේ වියපත් බිරිය | දිනමිණ

ප්‍රංශ ජනපතිගේ වියපත් බිරිය

ෆවුස් මොහොමඩ්

අමෙරිකානු ලේඛක රේ බ්‍රැඩ්බරිගේ ‘එක්තරා ආදර කතාවක්‘ කෙටි කතාවේ බොබ් ස්පෝල්ඩින්ට ඔහුගේ ගුරුවරිය ඈන් ටේලර් පෙනුණේ ගිම්හානයේ ඉදුණු පීච් ගෙඩියක් මෙනි. මේ 24 හැවිරිදි සුන්දර ගුරුවරිය ග්‍රීන් ටවුන් පාසලේ බොබ් ඉගෙනුම ලබමින් සිටි පන්තිය භාර ගුරුවරිය ලෙස පත්වී ආ දිනයේ සිටම දොඩම් හෝ රෝසමල් තෑගි කරන්නට හිතෙන තරම් ඇය ලස්සන බව කවුරුත් කියන්නට වූහ. බොබ්ටත් එසේ සිතිණි.

දහවලේ පාසල නිමාවී සිසුන් නිවසට ගියත් තම ගුරුවරිය පොත්පත්වල වැඩ හමාර කොට පාසලෙන් නික්ම යනතුරු බොබ් යන්නෙත් නැත. ඔහු කරන්නේ ඇය වැඩ ඉවර කරන තුරු කළු ලෑල්ල පිරිසුදු කිරිමය.

බොබ් මෙහේ එන්න...‘ එවැනි තවත් දිනෙක ඇය ඔහුට කතා කළාය.

‘ඔයා දන්නවද මං මොනව ගැන ද ඔයා එක්ක කතා කරන්න හදන්නේ කියලා..?‘

‘ඔව් අපි දෙන්නා ගැන නේද?‘ ඔහු එකවරම පිළිතුරු දුන්නේය.

‘ඔයාගේ දැන් වයස කීයද බොබ්...?‘

‘දාහතරට ලැබුවා...‘

‘ඔයා දන්නවද මගේ වයස..? ඇය ඇසුවාය.

‘මං අහලා තියෙනවා විසිහතරයි කියලා.. තව අවුරුදු 10කින් මටත් විසි හතරයි...හැබැයි සමහර වෙලාවට මට හිතෙනවා දැනටමත් මට විසිහතරයි කියලා.‘

‘ඔව් සමහර වෙලාවට ඔයා හැසිරෙන්නෙත් ඒ වගේ තමයි..‘ ඇය කීවාය.

‘ඔය ඇත්තමද‘ බොබ්ට සතුටක් දැනිණි.

‘මෙතැනින් ඉඳගන්න බොබ්...මට ඔයා වගේ ශිෂ්‍යයෙක් කවදාවත් මුණගැහිලා නෑ. ...අපි දෙන්නා හොඳ යාළුවෝ බවත් ඇත්ත..‘

‘ඔහ් ඊට වඩා දෙයක් තියෙනවා..‘ ඔහු ඇයට බාධා කළේය.

‘වෙන්න පුළුවනි. ඒත් ඒවා හරියන්නේ නෑ කියලා අපි දෙන්නම දැනගන්න ඕනා.. එත් අපි දෙන්නගේ වෙනසක් තියෙනවා. මගේ වයසත් එක්ක බැලුවම ඔයා තාම පොඩි ළමයෙක්..‘ගුරුවරිය ඔහුට කීවාය.

‘මගේ වයස තව අවුරුදු 10කින් වැඩි වුණා නම්..මම තව අඟල් 15ක් විතර උස වුණා නම් ඒ වෙනස නෑ නේද..?‘ බොබ් එසේ කීවේ ඉතා කනගාටුවෙන් යුතුවය.

‘බොබ් අපිට මේ ලොකේ වයස ගැනයි උස ගැනයි හිතන්නම වෙනවා..‘ ඇයත් එසේ කීවේ කනගාටුවෙනි. බොබ් ඊට දින කිහිපයකට පසුව පාසලෙන් ඉවත්වූයේ ඔහුගේ පියාට ඈත පළාතක රැකියාවක් ලැබී තිබූ නිසාය. එසේ නොවුණා නම් කොහොමටත් ඈන් ටේලර් ගුරුවරිය සිතා සිටියේ ඈත පළාතකට මාරුවක් ගැනීමටය.

ඈන් ටේලර් මෙනෙවිය කිසිදිනෙක කසාද බැන්ඳේ නැත. බොබ් ඒ පළාත හැර ගොස් වසර දෙකකට වඩා ඇය ජීවත්වූයේ ද නැත. ඔහු ඒ බව දැනගත්තේ ඊට වසර 15කට පසුවය. ඒ වෙද්දී ඔහු 30 හැවිරිදි වියෙහි පසුවූවාය.

ඈන් ටේලර් ගුරුවරිය ඇගේ සිසුවකු සමග ඇතිකරගත් අසම්මත ආදර කතාව සිහිපත් වූයේ ඊයේ පෙරේදා ප්‍රංශයේ ජනපති පදවියට පත් එමානුවෙල් මැක්‍රොන්ගේ ආදර කතාව කියවන්නට ලැබීම නිසාය. ඔහුගේ ආදර කතාව ද රේ බ්‍රැඩ්බරිගේ කතාවට බෙහෙවින් සමානය.

නැපෝලියන් අධිරාජයාගෙන් පසුව ප්‍රංශයේ පාලනය අතට ගත් ලාබාලතම නායකයා වන එමානුවෙල් ඉගෙනුම ලැබූවේ ප්‍රංශයේ කුඩා ටවුමක් වන අමියෙන්ස් හී උසස් පාසලේය. රංගනය පිළිබ‍්ඳ ගුරුවරියක වූ බ්‍රිජිට් මාරි ක්ලෝඩි ඔහුගේ පාසලට පැමිණියේ පාසල් කාලයෙන් පසුව ඔවුන්ට නාට්‍ය පුරුදු කරන්නටය. ඇගේ වයස එවකට අවුරුදු 39කි. ඔහු 15 හැවිරිදි වියේ පසුවිය.

රංගනය ගැන ඔහුට තිබූ හැකියාව ඇගේ සිත් ගත්තේය. එතැන් පටන් දෙදෙනා සමීපව ඇසුරු කරන්නට වූහ. රේ බ්‍රැඩ්බරි ලියු ආදර කතාවේ බොබ්ට ඈන් ටේලර් ගුරුවරිය පෙනුණාක් මෙන් එමානුවෙල්ටත් එකල මේ බ්‍රිජිට් ගුරුවරිය ඉදුණු පීච් ගෙඩියක් මෙන් පෙනුණාට කිසිදු සැකයක් නැත.

සැබැවින්ම ඒ වනවිටඇය දරුවන් තිදෙනකුගේ මවකි. ඇගේ වැඩිමල් පුත්‍රයා එමානුවෙල්ටත් වඩා අවුරුදු දෙකකින් වැඩිමල්ය. එසේ වුවත් කිසිවකුට රහසින් මේ ගුරු ගෝල පෙම ලියලා වැඩුණේය. එය වසර දෙකක් පමණ නිදහසේ ගලා ගියේය. මෙය දැනගත් ඔහුගේ මවුපියන් කළබළයට පත්වූහ. තම දරුවාගෙන් ඈත් වන ලෙස ඔවුන් ඇගෙන් ඉල්ලා සිටියහ. අඩු තරමින් ඔහුට අවුරුදු 18ට වනතුරුවත් එසේ කරන ලෙස ඔවුහු ඇගෙන් ඉල්ලා සිටියහ. ඉන් නොනැවතී ඔවුන් සිය පුත්‍රයා පැරිසීයේ පාසලකට මාරු කළහ. එහෙත් එය බොබ්ගේ සහ ඈන්ගේ පෙම් කතාව මෙන් කඳුළින් නිමාවූයේ නැත. ඒ වෙනුවට සිදුවූයේ අනිකකි.

‘කවදාහරි දවසක මං ඔයාව විවාහ කරගන්නවා. ‘ ඔහු පැරිසියට යාමට පෙර බ්‍රිජිට්ට එසේ පොරොන්දු විය. පොරොන්දු වූවාක් මෙන් ඊට වසර 13කට පසුව ඔහු ඇය විවාහ කරගන්නා විට හෙතෙම අවුරුදු 30ක කදිම තරුණයෙකි. ඒ වනවිට 54 හැවිරිදි වියෙහි පසුවූ ඇය සිය පළමු විවාහයෙන් දික්කසාද වී සිටියාය.

පසුකලෙක ඔහුගේ මාපියන්ගේ ආශිර්වාදයක් ඔවුන්ට ලැබිණි. එපමණක් නොව බ්‍රිජිට්ගේ පළමු විවාහයේ දරුවන් තිදෙනාත් එමානුවෙල්ට බෙහෙවින් ඇළුම් කළහ. ඇගේ දියණිය 33 හැවිරිදි ටිෆානි ඔහුගේ ජනපති ඡන්ද සටනේ වැඩි බරක් දැරුවාය. මේ දරුවන් දැන් විවාහකය. බ්‍රිජ්ට් දැන් දරුවන් 7කටම මිත්තණියකි. මේ මුනුපුරු මිනිපිරියන් එමානුවෙල් ආමන්ත්‍රණය කරන්නේ ‘තාත්තා‘ කියාය.

ප්‍රංශ ජනපති සටන සමයේ කවුරු කවුරුත් එමානුවෙල්ගේ වියපත් බිරිය ගැන කතා කරන්නට පටන් ගත්තේය. එහෙත් ඒවා ඔවුන් උපේක්ෂාවෙන් යුතුව විඳ දරා ගත්හ. අවසානයේදී ඡන්දය දිනාගැනීමෙන් පසුව පැවැති ජයග්‍රාහී කතාවේදී ඔහු මෙසේ කීවේය.

‘ඇය නැතිනම් අද මම මෙතැන නෑ‘

එමානුවෙල්ගේ සහ බ්‍රිජිට්ගේ ආදර කතාව ඇරැඹුණේ කෙලෙසදැයි කිසිවකු දන්නේ නැත. එය දන්නේ ඔවුන් දෙදෙනා පමණි. සැබැවින්ම එමානුවෙල්ගේ මාපියන් පවා මුලදී සිතුවේ ඔහු පෙම් කරන්නේ මේ වියපත් ගුරුවරියගේ දියණියට බවය. ‘අපි දෙන්නා කාලයක් හොඳ යාළුවෝ වගේ හිටියේ. ඒත් ඒක ආදරයට හැරුණේ කොහොමද කියලා කවුරුත් කවදාවත් දැනගන්න එකක් නෑ. ඒක අපි දෙන්නා විතරයි දන්නේ. හැබැයි ඒක රහසක්.‘ බ්‍රිජ්ට් එසේ කී බව එමානුවෙල් ගැන ලියැවුණු පොතක ස‍්ඳහන් වෙයි.

ඒ පොතේ සඳහන් වන අන්දමට දෙදෙනාගේ ප්‍රේමය නතර කරන්නට ඔහුගේ මාපියන් නොකළ දෙයක් නැති තරම්ය. බැරිම තැන එමානුවෙල්ගේ මව ගුරුවරිය මුණගැසීමට ආවාය.

‘මේ බලන්න...ඔයාට තේරෙන්නෙ නැද්ද..? එමානුවෙල් නිසා ඔයාට ජීවිතයක් ලැබෙන්න ඇති. ඒත් මගේ පුතාට නම් කවදාවත් තාත්තා කෙනෙක් වෙන්න බැරි වේවි.‘

‘අපෝ මට නම් මේක නවත්තනවා කියලා පොරොන්දු වෙන්න බෑ..‘ බ්‍රිජ්ට් තම ලාබාල පෙම්වතාගේ මවට එසේ කීවාය.

කෙසේ වුවත් තම පුතුට සිදුවිය හැකි ලජ්ජාව ගැන සිතා බාලවයස්කාර දරුවකු වරදට පොළඹවා ගැනීම ගැන එමානුවෙල්ගේ මාපියන් ඇයට එරෙහිව පොලීසියට පැමිණිලි කිරීමෙන් වැලකී සිටියහ.

දැන් ඒ සියල්ල අතීතයට එක්වී හමාරය. මේ යුවළ තවමත් පසුකොට ඇත්තේ වසර දහයකට විවාහ ජීවිතයක් පමණි. ප්‍රංශයේ නව ජනපති ආර්යාව ලෙසින් පමණක් නොව සෙනෙහෙවන්ත බිරියක ලෙස ඇය එල්සී මාලිගාවේ පදිංචි වන්නේ තව දුරටත් ඔහුගේ ජිවිතයේ දුක සැප දෙක බෙදා හදා ගැනීමටය.

තම වියපත් බිරිය ගැන ලෝකයා කොතෙකුත් කතා කළත්, විවේචනය කළත් එමානුවෙල් ඒවා ගණන් ගන්නේ නැත. ඇයට සිය කැබිනෙට්ටුවේ තනතුරක් ලබාදෙන බවටත් ඔහු දැනටමත් ඇයට සහතික කොට තිබේ. එම තනතුරට වැටුපක් නොගෙවන බවත් ඔහු ඇයට කීවේය.

ජනපතිවරණයට ඔහු නාමයෝජනා බාරදීමෙන් පසුව එක්තරා වාර්තාකරුවකු බ්‍රිජිට්ගෙන් ඇසූ ප්‍රශ්නයකට ඇය හිනැහෙමින් දුන් පිළිතුරු මෙය විය.

‘එයාට 2017 ඡන්දෙට ඉල්ලන්නම ඕන වුණා. මොකද 2022 වෙද්දී මගේ මුහුණ එයාට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තිබ්බා. ‘ වසර 2022 වනවිට ඇගේ වයස අවුරුදු 69ක් වනු ඇත.

 

අදහස් 4ක් ඇත

What is the big problem? So many old men get married to young girls who are half their age or more. No one bats an eye over those !!

adaraya yatin boho rahas athhaya!

meya me ratata ema thram wismayak noweya! bahira sampath mema wisaya thadin daha ganiya!

her active is , and it was too, very young progressing,substantialy , thats meaning of age!

නව අදහස දක්වන්න