අලි සුරතල් පිරි ඇත් අතුරු සෙවණ | දිනමිණ

අලි සුරතල් පිරි ඇත් අතුරු සෙවණ

සැඳෑ කළුවර එබී බලන්නට තව ඇත්තේ හෝරා කිහිපයක් පමණකි. රන් පැහැයට හුරු කහ පැහැය වගුරවමින්, හිරු උඩවලවේ ජාතික උද්‍යානයේ උස් තුරු වියන් මත රටා මවමින් ඇත. උඩවලවේ ජලාශය මතින් හමා යන සිහිල් සුළං රැලි, දුහුල් සළුවක් සුළඟ සමඟ පොරබදනා සේ, දිය දහරා කලඹමින් ඇත. දිවා කාලයේ අලි සුරතලුන් බැලීමට උඩවලව ඇත් අතුරු සෙවණට ගොස්, බලාපොරොත්තු සුණු විසුණු කරගෙන නැවත පැමිණි අපි, ලහි ලහියේ නැවතත් එදෙසට යන්නට වූයේ, සවස තුනේ කණිසමට උන් බලන රිසියෙනි.

අලි පැටවුන්ට ආහාර ලබාදෙන වේලාවට පෙර එම ස්ථානයට සමීප වූ අපි, ටිකට් පත් ලබාගෙන ඇත් අතුරු සෙවණට ඇතුළු වූයෙමු. එනමුදු තවමත් උන්ගේ පැමිණීම සිදුව නැත. “තව විනාඩි පහ හයක් තියෙනවා.” දරුවන් කිහිපදෙනකු‍ගේ නොඉවසිලිවන්තකම දෙස බලාසිටි වැඩිහිටියෙක් එසේ පැවසුවේ ය. වැඩිහිටියන්ටත් වඩා දරුවන් නොඉවසිලිවන්තව බලාසිටියේ, පුංචි සිත්වලට මිහිර කැටුව එන අලින්ගේ ආහාර ගැනීම වගේ ම උන්ගේ චර්යා රටා නැරැඹීමේ අපේක්ෂාවෙනි.

ගතවූයේ ක්ෂණයකි. අලි පැටවුන්ට ලබා දෙන කිරිවේල ලබා ගැනීම සඳහා උන් පැමිණෙමින් සිටියහ. මෙහි, වයස අවුරුදු පහක් තරමේ වැඩුණු පැටවුන් ද බොහෝ ය. සමහරුන් පුරුද්දට දිව එන්නේ පිම්මේ ය. කිරි වේල ලබා ගැනීම සඳහා උන්ගේ උනන්දුව කොපමණදැයි වටහා ගැනීම අපහසු නැත. ඉතා ඉක්මනින් කිරි වේල ලබා ගන්නා අලි බබාලා මෙන් ම, අපහසුවෙන් කිරි බොන පුංචි අලි බබාලාගේ ද හැසීරීම් හරි ම අපූරු ය. උන්ගේ දැඟලිලි බලා සතු‍ටු වන පුංචිවුන් ලබන්නේ ද අපූරු ආස්වාදයකි.

හදිසි අනතුරුවලට මුහුණ දී, අකාලයේ මියයන වන අලින්ගේ අසරණ වන කුඩා පැටවුන්ගේ අනාගතය බාර ගැනීම උදෙසා පිහිටවූ ඇත් අතුරු සෙවණ, වනජීවී සංරක්‍ෂණ සංකල්පයට පෙරවදනක් ලෙස සැලකිය හැකි ය. වනපෙත් තුළ ස්‌වභාවික හා මානව ක්‍රියාකාරකම් හේතු කරගෙන, මවු රැකවරණය අහිමිවී, අන්ත අසරණ භාවයට පත් වන, වන අලි පැටවුන්ගේ සංවේදී ජීවිත බාර ගැනීම සඳහා අපමණ මෙහෙවරක යෙදෙන මේ ස්ථානය, එම සතුන් නේවාසිකව රඳවාගෙන, උදේ, දිවා, රාත්‍රී කාලවලදී අඛණ්‌ඩව දියර කිරි ලබා දෙමින්, වනාන්තර ජීවිතයට උන් හුරු කරමින්, රැක බලා ගනියි. එය ඇත් අතුරු සෙවණේ මූලිකම කාර්යභාරය ලෙස හැඳින්විය හැකි ය. අනතුරුව, වන අලි පැටවුන් කිරි වරන සමය සමීප වනවිට, වනාන්තරය කරා ක්‍රමානුකූලව හුරු කරමින්, ස්‌වාභාවික පරිසරයට මුදාහැරීම ද මේ ස්ථානය හරහා සිදුවේ.

මේ ආකාරයට, වන අලි පැටවුන් සියයකට ආසන්න ප්‍රමාණයක්‌ මේ වනවිට ඇත් අතුරු සෙවණ මඟින් වනයට මුදාහැර තිබේ. එය, මෙරට වන අලි ගහනය රැක ගැනීම සඳහා සැබෑ ලෙස ම වන දායක වීමකි. එය, මෙරට අලින්ගේ අභිවෘද්ධිය පිණිසම වන යහපත් ක්‍රියාදාමයකි. මේ ආකාරයට වන අලින් රැක ගැනීම සඳහා මෙරට ස්ථානයක් ස්ථාපිත වී තිබීම ද, සතුටට කාරණයකි.

ඇත් අතුරු සෙවණ ඇරැඹුණේ 1995 වසරෙහිදී ය. මේ සංකල්පය ගොඩනැගී ඇත්තේ, 1950 දශකය අවසන් කාලයේදී ශ්‍රී ලංකාවේ වනාන්තරවල අතරමංව සිට හමු වූ වන අලි පැටවුන් කිහිප දෙනකුට රැකවරණ ලබාදීමට කටයුතු කිරීමේදී ය. එවකට එම රැකවරණ ලැබුණේ, දෙහිවල සත්වෝද්‍යානයේ දී ය. එහෙත්, මෙලෙස අනාථ වන වන අලින්ට අවැසි රැකවරණදිය යුත්තේ, ස්‌වභාවික පරිසර පද්ධතියක්‌ තුළ බව පසුව තීරණය විය. එයට හේතුව, ඒ ආකාරයට කටයුතු කිරීම මඟින් එම සතුන්ට යහපතක්‌ සිදු වනවා යන්න නිගමනය කිරීම ය.

පසුව, මේ දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තිමය තීරණයක්‌ අනුව, 1972 වසරේදී දෙහිවල සත්වෝද්‍යානය භාරයේ සිටි මේ අලි පැටවුන්, විල්පත්තු ජාතික වනෝද්‍යානයට යවා, අවශ්‍ය රැකවරණය ලබා දීමට තීරණය කළේ ය. එහෙත් පසුව විවිධ හේතු මත ඇත් අතුරු සෙවණ 1995 වර්ෂයේ සැප්තැම්බර් මස 15 වැනිදා උඩවලවේ ප්‍රදේශයේදී ආරම්භ කෙරිණි.

ඒ අනුව, විවිධ අනතුරු, ආබාධ නිසා මවු සෙනෙහස, රැකවරණය අහිමිව වනාන්තරයේ අතරමංව සැරිසනා වන අලි පැටවුන් එක්‌ ස්‌ථානයකට රැගෙනැවිත් අවශ්‍ය රැකවරණය සහ නිසි පෝෂණය ලබා දීම අරමුණු කරගෙන ඇරැඹි මේ ස්ථානය, අද වනවිට මහඟු පල නෙළාගෙන ඇත. වනඅලි අම්මලා සමඟ හිඳිමින්, උන්ගේ කිරි බී, රැකවරණය ලැබූ අලි පැටවුන්ට, මිනිසුන්ගේ අතකින් පොවන කිරි බී වැඩීම පහසු කටයුත්තක් වේදැයි මුලදී කුකුසක් පැනනැගී තිබුණ ද, එය එසේ කළ හැකි විය.

කුඩා වියේ සිටම මිනිස්‌ ඇසුරේ හැදී වැඩෙන අලි පැටවුන්, ඉනික්‌බිතිව වනාන්තර වෙත නිදහස්‌ කිරීම සාර්ථක ක්‍රියාමාර්ගයක්‌ නොවේයැයි එදා පරිසරවේදීහු හඬ නැගූහ. එනමුදු අද වනවිට එම ක්‍රියාකලාපය සාර්ථකත්වයට පත්ව ඇත. සීමිත සම්පත් මඟින් අලි පැටවුන් රැක බලා ගැනීම සඳහා මුළු දවස පුරා ම වෙහෙසෙන ලොව සාර්ථකම සංරක්‍ෂණ ස්ථානය ලෙසට අද වනවිට උඩවලව ඇත්අතුරු සෙවණ පත්ව ඇති බව සිතිය හැකි ය.

මේ ස්ථානය අරඹා ඇත්තේ, අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ, මීගලෑව වනගත පෙදෙසේ මවු රැකවරණය අහිමිවී, අතරමංව සිටි අලි පැටවකුට රැකවරණ සදමිනි. කොමලී ලෙස නම් ලද ඇය, වනාන්තර ජීවිතයට හුරු වූ පසු, වනාන්තරයට නිදහස්‌ කර ඇත. 2000 වසරේදී වනයට මුදාහල සඳමාලි, උඩවලව වනාන්තරයේ සිටි හස්‌තිරාජයකුට දාව බිහි වූවෙකි.

මෙහි හැදී වැඩී, වන දිවියට හුරුවී ජීවිතය ගත කරන අලි ඇතුන්ගේ ගෙල බැඳ ඇති රේඩියෝ සංඥා නිකුත් කරන කර පටිය මඟින් ඔවුන් ගැවසෙන ප්‍රදේශ පිළිබඳ සොයා බැලීමට උඩවලව ඇත් අතුරු සෙවණ කාර්ය මණ්‌ඩලය කටයුතු කරයි. එය නිරතුරු එම ස්ථානයෙන් සිදුවන සේවයක් ලෙස ද සඳහන් කළ හැකි ය. එසේ නම්, ඇත් අතුරු සෙවණ යනු, රැකවරණය අහිමි වූ මෙරට අලි පැටවුන්ගේ අම්මා ලෙස සඳහන් කළ හැකි ය. ඔවුන්ගේ මවුපිය දෙනො හා සමාන යැයි පැවසුවාට ද කම් නැත.

මෙරට අලි පැටවුන්ට නිරතුරු රැකවරණ සදන, ඔවුන්ගේ කුසගිනි නිවමින්, ජීවත්වීමේ අයිතිය තහවුරු කරන මාහැඟි මෙහෙවරට ඔබට ද යම් කිසි අයුරකින් දායක වීමට අපේක්ෂා කරන්නේ නම්, ඒ සඳහා ද අවකාශ ඇත. එහි යන ඔබට, උන්ගේ පෝෂණය උදෙසා , උඩවලව ඇත් අතුරු සෙවණ තුළ ක්‍රියාත්මක කර ඇති මාපිය කැපකරු ක්‍රමය ඔස්‌සේ ඒ සඳහා දායක වීමට අවස්ථාව ඇත. දිනකට කිරි පිටි සඳහා මහත් වියදමක් දරමින් කරනා මේ මහඟු ජාතික කර්තව්‍යයට ඔබේ දායකත්වය ශක්තියකි. උන්ගේ සුරතල් දඟකාරකම් බලන්නට යනවා සේ ම , අහරට කිරි බිඳුවක් දෙන්නට මේ වෙසඟෙ ඔබේ සිත පෙලඹේවා යන්න අපේ පැතුම ය.

ඉරෝෂිණී දීපිකා
ඡායාරූප - අන්තර්ජාලයෙනි

නව අදහස දක්වන්න