ටෙලි නිළි මිෂෙල් ඩිල්හාරා වෙනස්ම භූමි­කා­වක | දිනමිණ

ටෙලි නිළි මිෂෙල් ඩිල්හාරා වෙනස්ම භූමි­කා­වක

බුද්ධ­දාස ගල­ප්පත්ති

ටෙලිබලි ගැන කතා කරලා අවසන් වනවත් සමඟම ටෙලි නිළියක් පිළිබඳ කතා කරන්නට ලබෙන්නෙ ඇගේ රංගනයක් පිළිබඳ නොවීම එක අතකින් විශේෂත්වයක්. මිෂෙල් ඩිල්හාරාගෙ වයස තවම අවුරුදු විසි එකයි. ඈ ටෙලි නිළියක් බවත්, ඇගේ විසිඑක්වන උපන් දිනයට අමුතුම මාදිලියේ උපන් දින සාදයක් පවත්වපු බවත් මා දැනගත්තෙ අන්තර්ජාලයේ සමාජ වෙබ් අඩවියක පළවූ පුවතක් සමඟ පළව තිබුණු ඡායාරූප කිහිපයක් දැකීමෙනුයි. ගොසිප් ලංකා නිවුස් සමාජ වෙබ් අඩවිය ඒ පුවත වාර්තා කොට තිබුණෙ කොළඹ හෝටල් දැකල නෑ කියූ ළමා නිවාසේ දැරියන් උපන් දිනයට සිනමන් ග්‍රෑන්ඩ් කෑමකට එක්කං ආව නවක නිළි මිෂෙල් යනුවෙනුයි.

කෙටි වාර්තාවට අදාළ ඡායාරූප පෙළක්, වාර්තාවට එකතුකොට තිබුණෙ ලක්බිම පුවත්පතේ නිදහස් ඡායාරූප ශිල්පියෙකු වන අසන්ත ගමආරච්චියි. මිෂෙල් ඩිල්හාරා නවක නිළියක් බව සඳහන් වූ නිසා, ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී මගේ මිත්‍රයා නාලන් මෙන්දිස්ගෙනුයි, පළමුවෙන්ම විමසුවෙ මිෂෙල් ටෙලි නිළියක් ද කියලා. ඔහුගෙ පිළිතුර වුණේ ඔව්, මීගමුව පැත්තෙ අලුත් නිළියක්, එයාගෙ සල් සපුනා ටෙලියෙත් ඉන්නව කියලා.

ඡායාරූප ශිල්පී අසන්තත්, මට දුරකතනයෙන් කතා කරල මිෂෙල් ගැන විස්තර කිව්වා. මිෂෙල් ටෙලි රඟපෑමකට වෙනස් වූ වටිනා රඟපෑමක පෙනී හිටියා කියලයි, සමාජ වෙබ් අඩවියෙ සඳහන් වුණේ. ඒත් ඒ ගැන තවදුරටත් විස්තර හොයල බලන්න ඕනවුණු නිසයි නාලන් වගේම අසන්තත් ඇමතුවෙ. ඔවුන්ගෙ පණිවුඩ නිසාදෝ මිෂෙල් මට කතා කළා. මම ඇයට මගේ ඕනකම විස්තර කළාම, ඈ දුරකතනයෙන් බොහෝ දේ කීමෙන් අනතුරුව, විද්‍යුත් තැපෑලෙන් ද ඇගේ වතගොතත්, උපන් දින සාදය පිළිබඳවත් දිග විස්තරයක් එවා තිබුණා. නළු නිළියො, ක්‍රීඩකයො, ගායක ගායිකාවො විතරක් නෙවී දේශපාලකයොත්, නොයෙක් විදියට තමන්ගෙ උපන් දින සමරන බව අපි දකිනව මාධ්‍ය මඟින්. විශාල මුදල් කන්දරාවක් යටකරල ඇතැම් චරිත උපන් දින සාද පවත්වන විදිය. ඒත් මිෂෙල් ළාබාල නිළියක් විදියට තමන්ගෙ උපන් දිනය සමරපු විදියට මම කැමතියි.

මීගමුවෙ නිව්ස්ටඩ් බාලිකාවෙ උසස් පෙළ දක්වා ඉගෙන ගත්, මිෂෙල් ඩිල්හාරා මාධ්‍යයට, පරිගණක තාක්ෂණයට වගේම මනෝ විද්‍යාවට ද ලැදි චරිතයක්. අනෝජා වීරසිංහ, දමයන්ති ෆොන්සේකා, සාරංග මෙන්ඩිස්, රන්දික විමලසූරිය, උජ්වාල් සිංහ වගේ ප්‍රවීණයන් යටතේ රංගනය, නාට්‍ය හා රංග කලාව වැනි විෂයයන් පිළිබඳ ඉගෙනුම, පුහුණුව ලබල තියෙන්නෙ. ධාරා, දේදුන්නයි ආද‍ෙර් හා සල්සපුනා කියන ටෙලිනාට්‍ය තුනක පමණයි ඈ තවම රඟපා ඇත්තෙ. ඈ 2016 සිට මීගමුවෙ සලනි ගැහැනු ළමා නිවාසයෙ ඉංග්‍රීසි භාෂාවත්, ධනාත්මක චින්තනයත් උගන්වනවා නිවාසයෙ ඉන්න වයස 6 - 18 අතරෙ ගැහැනු ළමයි දහසය දෙනෙකුට. සලනි ළමා නිවාසය භාරව ඉන්නෙ ෆ්‍රෑන්ක් පියතුමා.

වැඩිහිටි රැකවරණය නැති, දෙමාපියන් විසින් අත්හැර ගොස් සිටින මේ දියණියන් සමඟ කටයුතු කිරීම ආස්වාදජනක අත්දැකීමක් බවයි මිෂෙල් පවසන්නෙ. ඈ ටෙලිනාට්‍ය රංගනයට එක්වීම පිළිබඳ දැරියන් තුළ සතුටක් වගේම ආඩම්බරයක් ද ඇතිවෙලා. ගුරුතුමී රටේ ජනප්‍රිය නළු නිළියන් සමඟ රඟපෑම ඔවුන්ගෙ ආඩම්බරයට හේතු ‍වෙලා. 2016 සැප්තැම්බර් මාසෙදි විතර ළමා නිවාසෙ දැරියො ගුරුතුමීට කියනවා අනේ ටීචර්, අපි කිසිම දවසක කොළඹ තියෙන ලොකු හෝටලයකට ගිහිල්ල නෑ. ඒ වගේ හෝටලේකින් කෑමක් කාලවත් නෑ කියලා.

හෝ ගානා පොකුණෙ ඈත දුෂ්කර ගමක දරුවන්ගෙ හීනය කවදාවත් මුහුද නොදකපු එක වගේ, මීගමුව වගේ නාගරික පරිසරයක ජීවත්වෙන මේ ගෑනු දරුවන්ගෙ හීනයත් අහිංසකයි. මිෂෙල් තමන්ගෙ ගෝලියන්ගෙ ඉල්ලීම ගැන කල්පනා කළා. ළමයි දහසය දෙනෙක් අගනුවර තරු පංතියෙ හෝටලයකට ගෙන ගොස් ආහාර වේලක් රසවිඳීමේ අවස්ථාවක් ලබාදීමට විශාල මුදලක් ඕන බව ඈ දැන සිටියා.

ඇයට ලැබෙන රුපියල් 35,000 ක් වගේ මාසික වැටුපෙන්, රඟපෑමෙන් ලැබෙන සුළු මුදලකින් මේ දියණියන්ගෙ ඉල්ලීම ඉටුකරන්න අමාරු බවත් මිෂෙල් දැන හිටියා. අයි. සී. සී. කැම්පස් එකේ සේවය කළ කාලෙ ඉතිරි කළ මුදලක් තිබුණු වග ඇයට මතක් වුණා. කොහොම හරි මේ දැරිවියො කොළඹ තරු පන්තියෙ හෝ‍ටලේකට කැන්දන් ගිහින් ඔවුන්ගෙ හීනෙ හැබෑ කරනව කියන අධිෂ්ඨානය මිෂෙල් අතඇරියෙ නෑ. ඊට සුදුසුම දිනය විදියට ඇගේ උපන් දිනය ඈ තෝරා ගත්තා. උපන් දින සාදයට ඇගේ සමීපතම මිතුරු මිතුරියන් කීපදෙනෙකුට ආරාධනා කළේ ඔවුන් මුණගැහීමට, දැකබලා ගැනීමට ඔවුන් සමඟ කතාබහ කිරීමට මේ දියණියෝ ආසා කරන බව දන්නා නිසා. ටෙලිනාට්‍ය හා කලා ක්ෂේත්‍රයෙ ඇගේ ආරාධිත පිරිසට ලකී ඩයස්, ධනංජය සිරිවර්ධන, දිනේෂ් සුබසිංහ, යශෝධා විමලධර්ම, ජනක මල්ලිමාරච්චි, චන්න පෙ‍රේරා, දයා තෙන්නකෝන්, ග්‍රේස් ආරියවිමල්, ජනිත් වික්‍රමගේ, තීක්ෂණ අනුරාධ, හරීන්ද්‍ර මාධව, සංගීත් ප්‍රභූ, ඉමෙෂාන් නෙල්ලිගහවත්ත, උදය ශ්‍රී වගේම බුද්ධික රඹුක්වැල්ලත් අයත් වුණා.

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙ ටැප්‍රොබේන් ආපනශාලාවෙ රාත්‍රී භෝජනය, මීගමුවෙ සලනි ළමා නිවාසෙ දියණියන් දහසය දෙනෙකුට. මීගමුවෙ ඉඳලා කොළඹට එන්නත්, ආපසු යන්නත්, රාත්‍රී භෝජන සංග්‍රහයෙ සම්පූර්ණ වියදමෙත් බරපැන මිෂෙල් තනිවම දැරුවේ එකතු කරගත් මුදල්වලින්. අඩුපාඩුවට එතෙර රැකියාව කරන ඇගේ අම්මාගෙන්, තාත්තාගෙන් (ගණකාධිකාරීන්) ඉල්ලා ගත් මුදලින්. මිෂෙල්ගෙ වෙනස්ම තාලෙ උපන් දින සාදයට රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණ විය පැහැදම් වුණත්, ඈ ඉන් ලැබූ සතුට මුදලින් මිල කරන්න බැහැ කියල ඈ පවසනවා.

මේ දැරියො ටික තමන්ගෙ ලෝකයෙ වීරයො, වීරවරියො විදියට සලකන, ජනප්‍රිය තාරකා සමඟ ගතකළ මොහොත උදාකර දුන්න, කොළඹ ලොකු හෝටලයක ආහාර වේලක් ගැනීම සිහිනයක්ව තිබූ අහිංසක දරුවන් දහසයදෙනෙකුට ඒ සිහිනය සැබෑ කර දුන් ඔවුන්ගෙ ළාබාල ගුරුතුමීට වාසනාවන්ත උපන් දිනයකට ආසිරි ගීත ගායනා කළේ හද පත්ලෙන්ම නැඟුණු ආදර භක්තියෙන්. වයසින් ළාබාල වුණත් මිෂෙල් මේ දරුවන් ගැන හිතන විදිය ගැඹුරුයි. දූරදර්ශීයි. ඔවුන්ගෙ එක් ආසාවක් ඉටුකරන්නට හැකි වූ පමණින්, ඔවුන්ගෙ ජීවි‍තයෙ අපේක්ෂා ඉටු නොවන බවයි මිෂෙල්ගෙ හැඟීම. ඈ පවසන්නෙ රජයත්, මේ වගේ අනාථ දරුවන් ඉන්න ළමා නිවාස පාලකයනුත්, මේ දරුවන්ගෙ වයස දහඅට වන තෙක් රැකබලා ගත යුතුයි.

ඔවුන්ට නිසි රැකවරණය සැලසිය යුතුයි කියලයි. අවුරුදු දහඅට සම්පූර්ණ වුණාට පස්සෙ මේ තරුණියන්ට සිද්ධ වෙන්නෙ තනිව නැඟී සිට සමාජයේ ජීවත්වීමට. වයස දහඅට පිරුණු වරප්‍රසාද ලත් පන්තියෙ ගැහැනු ළමයින්ට පවා අනාගත ජීවිතය අභියෝගයක්ව පවතින කාලයක මෙවැනි යෞවනියන්ට ජීවත්වීමේ අරගලයට, අභියෝගයන්ට මුහුණදීමට සිදුවීම නොවැළැක්විය හැක්කක්. එහිදී ඔවුන් පහසුම මඟක් ලෙස තෝරා ගන්නෙ නිදහස් වෙළඳ කලාපයෙ, කම්හලක රැකියාව. මෙවැනි දැරියන්ට වෘත්තීය පුහුණුවක් ලබාදෙන්නට හැකි නම් අඩුම තරමින් ඔවුන්ට රුපියල් 30,000/- ක හෝ වැටුපක් ලබාගැනීමට හැකිවේ යැයි මිෂෙල් පවසනවා.

උපන්දින සාදයක් මෙවැනි වෙනස් විදියකට පැවැත්විය යුතු යැයි ඇයට සිතුණේ මන්දැයි ඇගෙන් විමසූ කල ඈ දුන් පිළිතුර, ඇගේ වයසටත් වඩා මුහුකුරා ගිය එකක්. “ළමා නිවාසයේදී මේ දියණියන්ට ඕනෑ සෑම දෙයක්ම තියෙනවා. ඒත් ඔවුන්ගෙන් බොහෝ දෙනා විෂාදයකින්, දොම්නසකින් පෙළෙන, රොබෝවරුන් සේ හැසිරෙන පිරිසක්. ඔවුන්ට මසින් සැදුණු සිරුරු වුවත්, ඔවුන් සතු ආත්මයක් නෑ. දිනපතා ඔවුන් උදෙන් නැගිටිනවා. පාසලට යනවා. පාසලෙන් යළි පැමිණ ඉගෙන ගැනීමේ කටයුතුවල නිරත වෙනවා. රාත්‍රිය නින්දට යනවා. ඔවුන් කෙතරම් අවපීඩනයකින්, අසරණ භාවයකින් පෙළෙන්නේද කිවහොත් අනාගතය පිළිබඳ අපේක්ෂා කිසිවක් ඔවුන් සතුව නෑ. මා ඔවුන්ට පවසන්නේ හොඳට අධ්‍යයන කටයුතු කළොත් ඔවුන්ට ලෝකයක් ඇති බවයි. ඔවුන්ට සතුටින් ජීවත්වීමට හැකි බවයි. මා ඒ බලාපොරොත්තුව ඔවුන් තුළ ඇතිකරල තියෙනවා. මම ඒ ගැන සතුටු වෙනවා.”

මිෂෙල් ඩිල්හාරා ගේ මේ සද්කාර්යය පවසන්නේ කුමක්ද? ඈ ඉන් තම ජනප්‍රියභාවයට ලකුණු එක්කර ගැනීමට කළ තවත් සෝබන උපක්‍රමයක් ද? මා ඇගේ වෙනස් භූමිකාව දකින්නේ අපගේ සමාජයෙහි ජීවත්වන බොහෝ ජනප්‍රිය චරිත විසින් ආදර්ශයට ගත යුතු යහපත් කටයුත්තක් ලෙසයි. ඈ අනෙක් බොහෝ නළු නිළි චරිත මෙන්, ඇගේ උපන්දින සාදය පිළිබඳ මාධ්‍යයට ආරාධනා කොට ඉන් ප්‍රසිද්ධියක් ලබාගැනීමට උත්සාහ නොගත්තියකැයි මට සිතේ. උත්සවයේ සිදුවීම් මතකයේ රඳවා තබාගැනීමට ඡායාරූප ශිල්පියකුට ඇරැයුම් කොට තිබුණේ ඒවා ඇගේ මතක පොතට එක්කර ගැනීමේ අරමුණින් වුවත්, ඔහු ඉන් ඔබ්බට ගිය සිතුවිල්ලකින් යුතුව, ප්‍රවෘත්තිය සමග ඡායාරූප වෙබ් අඩවියක පළකර තිබුණේ මිෂෙල්ගේ සාදය තවත් කෙනෙකුට ආදර්ශයක් වේය යන හැඟීමෙන් පමණි.

අන්තර්ජාලයේ මුහුණු පොත, ‍සමාජ වෙබ් ජාලා මඟින් කළ හැකි යහපත් දේ අපමණයි. කොළඹ හෝටලයක කෑම වේලක් පිළිබඳ සිහින මවන දරුවන්ට හාත්පසින්ම වෙනස් වූ සිහින ලෝකවල ජීවත්වන දරුවෝ ඈත දුරු ගම් රටවල සිටිති. ඔවුන් ඇතැමෙකුගේ සිහිනය වන්නේ පාසලට එන්නට පෙර උදේ ආහාරයක් පිළිබඳවයි. තවත් කෙනෙකුගේ සිහිනය වන්නේ රළු බොරලු මඟ ඇවිදින්නට හැකි පාවහන් යුවළක්ය. පොතක්, පැන්සලක්, පාසල් බෑගයක්, වතුර බෝතලයක් පිළිබඳ සිහින මවන දූ පුතුන් දහස් ගණනින් අප ජීවත්වන පින්බිමෙහි වෙත්. මිෂෙල් ඩිල්හාරාගේ සද්ක්‍රියාව පෙරදා ලෙහෙනෙකු තම වලිග තුඩින් මුහුද හිස් කරන්නට ගත් වෑයම වැන්න.

එසේ වුවත් ඒ වෑයමෙහි අමිල වටිනාකමක් මම දකිමි. අපගේ කලා ලොවෙහි තව තවත් මිෂෙල්ලා දකින්නට ප්‍රාර්ථනා කරමු.

නව අදහස දක්වන්න