චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම මේ වසරේ | දිනමිණ

චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම මේ වසරේ

ශ්‍රී ලංකාව සහ චීනය අතර නිදහස් වෙළඳ ගිවිසුම මේ වසර තුළ අත්සන් තැබීමට අපේක්ෂා කරන බවට චීන අගමැති ලී කෙගියාන් (Li Keqiang) මහතා සහ ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවන්හි දී අනාවරණය විය.

16 වන දා සන්ධ්‍යාවේ බෙයිජිං නුවර චීන මහජන මහා ශාලාවේ දී පැවැති මෙම සාකච්ඡාවේ දී චීන අගමැතිවරයා පැවසූවේ ප්‍රවාහන, මුල්‍ය, වාණිජ ආදී අංශයන් මූලික කොට ගනිමින්, ආසියාවේ ආර්ථිකය හා තරගකාරී තත්ත්වයකට පත්වීමටත්, ඒ ඔස්සේ ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රවර්ධනය වීමටත් අවශ්‍ය සහයෝගය සහ උපකාරය ශ්‍රී ලංකාව වෙත ලබා දීමට චීනය සූදානම් බවය.

ඒ සඳහා අවශ්‍ය ආයෝජන පරිසරය ශ්‍රී ලංකාවේ සකස් කළ යුතු බව අවධාරණය කළ චීන අගමැතිවරයා පැවසූයේ තිරසර ස්ථාවරත්වයක් සහ ශක්තිමත් නෛතික රාමුවක් නිර්මාණය වන්නේ නම්, ලෝකයේ බොහෝ ආයෝජකයන් ශ්‍රී ලංකාවේ අයෝජන සඳහා එක්වනු ඇති බවය. ශ්‍රී ලංකාවේ ව්‍යවසාය ආරම්භ කිරීම හා ආයෝජනය කිරීම සඳහා චීන ආයතන සහ සමාගම් දිරිමත් කරලීමට තමන් ක්‍රියා කරන බව ද ලී කෙගියාන් මහතා පැවැසීය.

ඉපැරණි මිත්‍රත්වය පදනම් කර ගනිමින් චීනය ශ්‍රී ලංකාව වෙත ලබාදෙන සහය පිළිබඳ ස්තුතිය පළ කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, හම්බන්තොට කර්මාන්ත පුරය සහ කොළඹ මුල්‍ය නගරය ඔස්සේ ලබා ගැනීමට බලාපොරොත්තු වන ආර්ථික සංවර්ධනය හා එමඟින් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ ද කරුණු ගෙනහැර දැක්වීය.

විශේෂ කාර්ය භාර ඇමැති ආචාර්ය සරත් අමුණුගම, නගර සැලසුම් සහ ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම්, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම, අගමැති ලේකම් සමන් ඒකනායක, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, අගමැති අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියානු සහ ශාන්තිකර කලාපීය අධ්‍යක්ෂිකා සාවිත්‍රී පානබොක්කේ, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂිකා මදාරා ද සිල්වා, අගමැති විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී ශානි කරුණාරත්න, අමාත්‍ය උපදේශක (ආරක්ෂක) බ්‍රිගේඩියර් තිලක් වීරකෝන්, උපදේශක (වාණිජ) රුවන්ති ආරියරත්න මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක් වූහ. 

නව අදහස දක්වන්න