ලක්ෂ 30 කප්පම් සිද්ධියේ මහ මොළකරු සැකකාර මාමාගේ අයියා | දිනමිණ

ලක්ෂ 30 කප්පම් සිද්ධියේ මහ මොළකරු සැකකාර මාමාගේ අයියා

රුපියල් ලක්ෂ 30ක කප්පම් මුදලක් ඉල්ලා දරුවකු පැහැර ගැනීමේ සිද්ධියේ සැඟවී සිටි තවත් ප්‍රධාන සැකකරුවකු ඊයේ (16) අලුයම ගම්පොල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙහි ප්‍රධාන මොළකරුවා වන පැහැරගත් දරුවාගේ තවත් මාමා‍ කෙනෙකි.

පසුගිය තුන් වැනි දා ගම්පොලින් පැහැරගත් දරුවා කල්මුණේ කරදියනාරු ප්‍රදේශයේ නිවෙසක සඟවා තබා මේ කප්පම් මුදල ගැනීමට උත්සහා ගත් අතර ගම්පොලින් ගිය පොලිස් කණ්ඩායමක් කප්පම්කරුවන්ගේ සියලු සැලසුම් පරදා දරුවා මුදාගෙන කප්පම් මුදල ද බේරාගෙන ති‍බිණි.

මේ කප්පම් කල්ලියට අයත් හත්දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබූ අතර, මේ සැකකරුවා සැඟවී සිටියේය.

බදුල්ල ප‍්‍රදේශයේ පදිංචි මේ සැකකරු ඔහුගේ මවට වරින්වර දුරකථන ඇමතුම් ලබාදෙන බව සොයා ගත් පොලිසිය එමඟින් උපක්‍රමශීලීව මොහු ගම්පොලට ගෙන්වාගෙන මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මේ සිද්ධියට අදාළ සැකකරුවන් අට දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, ගම්පොල සිට කල්මුණේ දක්වා දරුවා පැහැරගෙන ‍ගිය වෑන් රථය ද සොයා ගෙන තිබේ.

මේ සැකකරුවන්ගෙන් දෙදෙනකු නැ‍ඟෙනහිර පළාතේ ක්‍රියාත්මක කල්ලියක සාමාජිකයන් බව ද පරීක්ෂණ කණ්ඩායම අනාවරණය කර ගෙන තිබේ.

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින මෙහි ප්‍රධාන සැකකරු වන 26 හැවිරිදි අබ්දුල් රහීම් මොහොමඩ් අසාම්ගේ වැඩිමහල් සොහොයුරා වන 32 හැවිරිදි අබ්දුල් රහීම් මොහොමඩ් අසාඩ් නැමති මේ සැකකරු ඊයේ (16) දින ගම්පොල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ගම්පොල කොට්ඨාස භාර ‍පොලිස් අධිකාරී නුවන් මෙන්ඩිස්, සහකාර පොලිස් අධිකාරීවරුන් වන ජගත් ඥානසේන, චන්ද්‍රසේන බණ්ඩාර, ගම්පොල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍ර. පො. ප. උපාලි සෙනරත් යාපා යන මහත්වරුන්ගේ උපදෙස් මත ප්‍ර. කො. ප. එස්. ක්‍රිශාන්තන්, පො. ප. දුෂාන්ත කාංගර උ. පො. ප. අක්බර්, උ. පො. ප. ජයන්ත, උ. පො. ප. සමීර රංගන, පො. සැ. 29224 රූපසිංහ, පො. කො. 6974 පද්මකුමාර පො. කො. 10206 නිශ්ශංක පො. කො. 53236 සුමින්ද යන නිලධාරීහු වැඩිදුරටත් පරීක්ෂණ පවත්වති. 

ගම්පොල සමූහ

නව අදහස දක්වන්න