පොත් ලියන්න මට හදිස්සියක් නෑ | දිනමිණ

පොත් ලියන්න මට හදිස්සියක් නෑ

ධම්මික සෙනෙවිරත්න
සෝමවීර සේනානායක

ප්‍රවීණ සාහිත්‍යධර සෝමවීර සේනානායක ශූරීන්ගේ නවතම කෘතිය, “පළිඟු මැණිකේ” ටෙලි නාට්‍යයයේ තිර පිටපත එළිදැක්වීම නිමිතිකොට ගනිමින් සිදුකළ සංවාදයකි.

“පළිඟු මැණිකේ” ටෙලි නාට්‍යයේ සූරසේනගේ චරිතය මඟින් දැක්වෙන්නෙ නිදහස් ආර්ථිකය ගමට ඒම. මෙතැනදි ගම පිළිබිඹු කරන්නේ රට. රටට ඉන් ඇතිවුණු බලපෑම තමයි ගම හරහා පෙන්නුම් කළේ. ප්‍රේම කතා හෝ වෙනත් කතා වෙනුවට සමාජයීයව වැදගත් ප්‍රස්තුත සාමාන්‍ය ජන ජීවිතයට ඇති කළ බලපෑම ගැන කියන්න අපට ඕන කළා.

‘පළිඟු මැණිකේ’ ටෙලි නාට්‍ය රූපවාහිනී ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගත් අරුත්බර නිර්මාණයක්. එහි තිර පිටපත ඔබේ නවතම කෘතිය ලෙස එළිදැක්වුණා. ඒ ගැන හැඳින්වීමක් කළ හැකිද?

‘පළිඟු මැණිකේ’ ටෙලි නාට්‍ය මං ලිව්වෙ 1984 දී විතර. එය ටෙලි නාට්‍යයක් ලෙස නිෂ්පාදනය වෙලා 1985 මාර්තු මාසයේ පටන් ජූලි මාසය දක්වා සෑම සෙනසුරාදාවක රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනියෙන් විකාශනය වුණා. මෙය කොටස් 18ක ටෙලි නාට්‍යයක්.

නාට්‍ය ලියලා අවුරුදු 33කට පසුව තමයි එම තිර පිටපත කෘතියක් ලෙස එළිදැක්කෙ. ඔය අතර කාලයේදී “පළිඟු මැණිකේ” දස වතාවක් පමණ වරින්වර රූපවාහිනියෙන් විකාශය වුණා. ඒ කියන්නෙ පරම්පරා 2ක් මෙය නැරැඹුවා.

‘පළිඟු මැණිකේ’ විකාශනය වනවිට රූපවාහිනිය ආරම්භ වෙලා වැඩි කාලයක් නෑ. දේශීය ටෙලි නාට්‍ය විකාශනයේ ආරම්භය ගැන ඔබ කොහොමද සිහිපත් කරන්නෙ?

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරම්භ වුණේ 1982 දී. එම ආරම්භක අවදියේ ටෙලි නාට්‍ය තිබුණේ නෑ. ‘පළිඟු මැණිකේ’ අධ්‍යක්ෂණය කළ ධම්ම ජාගොඩ මහත්මයගෙ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් උසස් ගණයේ වේදිකා නාට්‍ය කැමරාගත කරලා, කොටස් වශයෙන් විකාශනය කළා. උසස් ගණයේ නිර්මාණ නැරැඹීමට ලැබීමෙන් හොඳ ප්‍රේක්ෂක රසඥතාවක් ඇති වුණා. මේ අතරම බටහිර ටෙලි නාට්‍යයත් විකාශනය වුණා.

දේශීය ටෙලි නාට්‍ය කලාවක් ගොඩනැ‍ඟෙන්නෙ 1984 පමණ සිටයි. එවිට මේ “ටෙලි නාට්‍ය “ කියන්නෙ කුමක්ද කියන එක ගැන යම් කුතුහලයකුත් තිබුණා. ‘ටෙලි නාට්‍ය’ කියන වදන බිහි ක‍ළේත් ධම්ම ජාගොඩ. ඔහු කිව්වෙ, ටෙලි විෂන් එකෙන් පෙන්වන නිසා එසේ යෙදූ බවයි. එසේ නම් ටෙලිවිෂනයෙන් විකාශනය වන බණ ‘ටෙලි බණ’ ද කියලා ඇතැම් අය සමච්චලයට මෙන් ප්‍රශ්න කළා.

‘පළිඟු මැණිකේ’ අධ්‍යක්ෂණය කළ ධම්ම ජාගොඩ අතින් එහි ආකෘතිය එලෙස ගොඩනැ‍ඟෙද්දි, අන්තර්ගතය කෙසේ විය යුතු ද යන්න ගැන ඔහු සහ මා කතාබහ කළා. මෙහි අන්තර්ගතය ගොඩනැඟුණේ ඒ අනුවයි.

මේ නාට්‍ය ඔස්සේ මූලික වශයෙන් දිගහැරෙන්නේ විවෘත ආර්ථිකය මඟින් ගම විපර්යාසයට ලක්කළ අන්දම. ඔබ පෙර කී එම අන්තර්ගතය ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?

අන්තර්ගතය එලෙස විය යුතු ය කියලා තීරණය වුණේ හේතු සහිතවයි. ඒ වනවිට නිදහස්, නැතිනම් විවෘත ආර්ථිකය මඟින් ප්‍රබල සමාජ ප්‍රශ්න ගණනාවක් ඇති කරමින් තිබුණා. ඊට කලින් තිබුණු සීමිත, සංවෘත ආර්ථික රටාව වෙනුවට 1978 දී හඳුන්වාදුන් විවෘත ආර්ථිකය, රටේත්, සමාජයේත් විශාල වෙනස්කම් සිදු කරමින් තිබුණා. “පළිඟු මැණිකේ” ටෙලි නාට්‍යයේ සූරසේනගේ චරිතය මඟින් දැක්වෙන්නෙ නිදහස් ආර්ථිකය ගමට ඒම. මෙතැනදි ගම පිළිබිඹු කරන්නේ රට. රටට ඉන් ඇතිවුණු බලපෑම තමයි ගම හරහා පෙන්නුම් කළේ. ප්‍රේම කතා හෝ වෙනත් කතා වෙනුවට සමාජයීව වැදගත් ප්‍රස්තුත සාමාන්‍ය ජන ජීවිතයට ඇති කළ බලපෑම ගැන කියන්න අපට ඕන කළා. ඒ සඳහා ආකර්ෂණීය බවකුත් අවශ්‍යයි. එයත් සහිතව තමයි මෙය ගොඩනැඟුණේ.

විවෘත ආර්ථිකය මඟින් ඇතිකළ බලපෑම කියලා කියද්දි, ඒ සමස්තයම නිර්මාණය තුළට ගන්න බෑ. අපි ක්ෂේත්‍ර කිහිපයක් තෝරාගත්තා.ඒ, සාමාන්‍ය අහිංසක මිනිසුන්ගේ පවුල් ජීවිතයට එය ඇති කළ බලපෑම, තරුණ පෙළට, ළමා පරපුරට එය ඇති කළ බලපෑම සහ ගමේ සංස්කෘතියට හා සම්පත්වලට එය ඇති කළ බලපෑම ආදී වශයෙන්.

ටෙලි නාට්‍ය කියන්නෙ නීරස, අරුත්සුන්, කාලය කාදමන දෙයක් හැටියට විවේචනයක් තියෙද්දි, හරවත් යමක් කිරීමට ගත් වෑයම කෙබඳු ද?

රූපවාහිනී මාධ්‍ය ඇරැඹෙන විටත් ඊට විරෝධයක් තිබුණා. රූපවාහිනියට විතරක් නෙවෙයි, ගුවන් විදුලිය ඇරැඹෙද්දිත් එල්ල වූ දෝෂාරෝපණ, විවේචන ගැන ඒ යුගයේ පුවත්පත්වල පාඨක ලිපි කියැවීමෙන් දැනගත හැකියි. අලුත් දෙයක් එද්දි, යමකට විවෘත වෙද්දි එවැනි තත්ත්වයක් තිබෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. මිනි ගවුමටත් එවැනි විරෝධයක් තිබුණා.

ආගම, ධර්මය, සංස්කෘතිය, අපේකම මේවාට ඇතුළු වනවා නම්, එහෙම තත්ත්වයක් ඇතිවෙන්නේ නෑ. අපි ඒක තේරුම් ගත්තා. ‘පළිඟු මැණිකේ’ ටෙලි නාට්‍යයේ ගමේ පන්සලේ හාමුදුරුවෝ, වෙද මහත්තයා, ගොවි මහත්තයා, ඉස්කො‍්ල මහත්තයා, ගුරුන්නාන්සේ ඉන්නේ ඒ නිසයි. ඔවුන් තමයි ගමක ප්‍රජා නියමුවො. මේ චරිත කතාව ඉන්නකොට ඒ අපේ කතාව කියලා මිනිස්සුන්ට දැනෙන්න ගත්තා. විරෝධය පෑම වෙනුවට ඔවුන් එය වැළඳගත්තා.

බටහිර ඉහළ මධ්‍යම පාංතික සංස්කෘතිය ගැන නෙවෙයි මේ නාට්‍යයෙන් කතා කළේ. ඉහළ නාගරික පංතියේ පෙම් සුවඳ වෙනුවට, ගමේ සාමාන්‍ය මිනිසුන්ගේ දහදිය සුවඳ දැනෙන නිර්මාණයක් අපි කළේ.

ප්‍රධාන චරිත හැරුණාම, අනෙක් චරිත පවා කොළඹින් ගිය, පුහුණු කළ චරිත නෙමෙයි. ඒ අතුරු චරිත ගමේම අය. ධම්ම ජාගොඩ ඔවුන්ට අවශ්‍ය දැනුම දී හොඳින් මෙහෙයවූවා. මේ වගේ පසුබිමක ‘පළිඟු මැණිකේ’ ට නම් එවැනි විරෝධයක්, විවේචනයක් එල්ල වූණේ නෑ.

ඔබේ ඇතැම් ටෙලි නාට්‍ය දීර්ඝ ඒවා. කොටස් දෙකක් වශයෙන් ඉදිරිපත් වූ ඒවාත් තිබෙනවා?

සමහර ඒවා තරමක් දීර්ඝයි. හැබැයි “පළිඟු මැණිකේ”ටත් වඩා කෙටි නාට්‍ය තිබෙනවා. ‘ගිරය’ කොටස් 14යි. ‘අසල්වැසියෝ’ නාට්‍ය එහි අවස්ථා හා චරිත අනුව තව දුරටත් විකාශනය කළ හැකි වූ නිසා, එහි දෙවැන කොටස ‘කන්දෙ ගෙදර’ යනුවෙන් ඉදිරිපත් කළා. නාට්‍ය දීර්ඝ වූවා නම් ඒ, ඉදිරියට යා යුතු තැන්වලදී පමණයි.

ඔබ ළමයින් සඳහාත් ටෙලි නාට්‍ය වගේම, පොත පතත් රචනා කළා. ළමයින් සඳහා ලිවීම මෙන් ම, නිර්මාණ කිරීම පහසු දෙයක් නෙමෙයි. ඒ වගේම, එය අගය කළ යුතු කාරණයක්. කුමක්ද ඔබ ඒ ගැන කියන්නේ?

ළමයින් සඳහා ටෙලි නාට්‍ය දෙකක් කළා. ඒකක්, ‘එක ඉත්තක මල්’ මේ ටෙලි නාට්‍ය ළමා පරපුරේ අවධානයට , ආකර්ෂණයට ලක් වුණා. ඒ නිසා ඒවා තවමත් වරින්වර විකාශය වෙනවා. ළමයින් සඳහාම එවැනි නිර්මාණ කිරීම පහසු කාර්යයක් නෙමෙයි.

මම තිර පිටපතක් ලියන්නෙ ලියලා පැත්තකින් තියන්න නෙමෙයි. නිෂ්පාදනය වගේම, ඒ අවශ්‍ය සැලැසුම් සහිතව තමයි ඒක කරන්නෙ. එහෙම සැලැස්මක් නැත්නම් ඒක පිටපතක් විතරක් වෙනවා. මෙතැනදි තියෙන ප්‍රශ්නය තමයි පෞද්ගලික අංශය පැත්තෙන් ගත්තහම, ළමයින් සඳහාම කරන නිර්මාණ නිෂ්පාදනය කිරීමට ඇති සීමාකම.

එවිට මේවා පිටපත් විතරක් වෙනවා. ඒ නිසා මං කල්පනා කළා, ළමයින් සඳහා පොත් ලිවීමට. ළමා සාහිත්‍ය වෙනුවෙන් මං පොත් ගණනාවක්ම ලියා තිබෙනවා.

ළමා සහ තරුණ පරපුර අතර කියැවීමේ අඩුවක් තියෙනවාය කියලා ඔබට දැනෙනවාද?

ඒක එහෙමම කියන්න හරිම අමාරුයි. එහෙම කියන්න හොඳ සමීක්ෂණ අවශ්‍යයි. බොහෝ සෙයින්ම කියැවීම අඩුවෙලා ය කියලා මම සිතන්නේ නෑ. හැබැයි තරුණ පරපුර අතර නම් කියැවීමේ අඩු වීමක් පෙනෙනවා.

සෑම නවකතාවක්ම උසස් සාහිත්‍ය කෘතියක්වත්, නවකතාවක්වත් නෙමෙයි. ඇතැම් කෘති නවකතා කිව්වට ඒවා කතා. දුම්රිය ගමනකදි කියවලා දුම්රියේම තියලා බැහැලා යන වර්ගයේ සරල කතා. සාහිත්‍ය කෘතියකින් ජීවිතාව‍බෝධයක් ඇතිවිය යුතුයි. පෙර තරම්ම නොවුණත්, හොඳ පොත්වලට යම් සීමිත හෝ පාඨක පිරිසක් ඉන්නවා. මගේ නම් සියලු පොත් නිරන්තරව යළිත් මුද්‍රණය වෙනවා. 15 – 20 වැනි වරටත් මුද්‍රණය වූ පොත් තිබෙනවා. ඒකෙන් පෙනෙන්නෙ කියවන වගේ ම, අනෙක් අයට පොත් අරන් දෙන පිරිසක් සිටින බවයි.

ඔබ මේ දිනවල කිසියම් නිර්මාණ කාර්යයක නිරතව සිටිනවා ද?

මං ඊළඟ නවකතාව ලියන්න සූදානම් වෙනවා. ‘පළිඟු මැණිකේ’ තිර රචනය එළි දැක්වීමට මාස ගණනාවක වෙහෙසක් දරන්න වුණා. පිටපත නැවත ලිව්වා. මුලින් පිටපත ලියලා රූගත කරද්දිත්, මුලින් කොටසක් රූගත කරලා වැඩ නතර කරලා, යළිත් තිර රචනය ලිව්වා.

ඒකට හේතුව, අඩු පාඩු අවම කරගෙන, අංගසම්පූර්ණව මෙය කරන්න අපට ඕන කළ නිසයි. ඒ කාලේ කොම්පියුටර්, ෆොටෝ කොපි තිබුණේ නෑ. පිටපත ලියලා ඒකෙන් තව පිටපත් සකස් කර ගත්තේ අතින් ලියලයි.

කිහිපදෙනෙක් එකතුවෙලා ඒ වැඩේ කළා. මුල් තිර රචනයේ දර්ශන හා ගළපමින්, එක් පිටපතක් සකස් කළා. එයසම්පූර්ණ කරන්න කාලයක් ගතවුණා. කොහොමටත් මම අවුරුද්දට පොතක් දෙකක් වගේ තමයි ලියන්නෙ. මට ඒ සඳහා හදිස්සියක් නෑ.

නව අදහස දක්වන්න