ස්වාධීන කොමිෂන් සභාවල ප්‍රගතිය සමාලෝචනයට | දිනමිණ

ස්වාධීන කොමිෂන් සභාවල ප්‍රගතිය සමාලෝචනයට

 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටුවනු ලැබූ ස්වාධීන කොමිෂන් සභාවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ‍ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව, මැතිවරණ කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම්  කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාවේ සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපතිවරුන්, ලේකම්වරුන් ඇතුළු නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී එම කොමිෂන් සභාවලට අදාළ නව යෝජනා හා අදහස් රැසක් ඉදිරිපත් කෙරිණි.

එමෙන්ම කොමිෂන් සභාවල කටයුතු ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරුණු අතර මෙම සියලු කොමිෂන් සභාවල කටයුතු විධිමත් කිරීමේ වැඩපිළිවෙළ ප්‍රමාදයකින් තොරව ඉටුකළ යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේය.

විගණන පනත ඇතුළු පනත් සම්මත කර ගැනීම, කාර්ය මණ්ඩල සපුරා ගැනීම ඇතුළු අඩුපාඩු කඩිනමින් සම්පූර්ණ කරගැනීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉදිරිපත් කෙරුණු ගැටලු පිළිබඳ අදාළ අංශ සමග ඉදිරියේදී සාකච්ඡා කරන බව ද සඳහන් කළේය.

ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතා ඇතුළු නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න