ජී.එස්.පී ජයග්‍රහණය | දිනමිණ

ජී.එස්.පී ජයග්‍රහණය

 යුරෝපා සංගමයේ ජී.එස්.පී. ප්ලස් වෙළෙඳ සහනය නැතහොත් බදු සහනය ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා යළි හිමිවී ඇත. යළි හිමිවූ බව කියන්ට සිදුව තිබෙන්නෙ මෙය කලින් අපට හිමිව තිබී අපගේ පාලකයන්ගේ වරදින් අහිමිවූවක් නිසාය. 2005 දී ලැබී තිබූ එම සහනය 2010 දක්වා ක්‍රියාත්මක විය. 2010 දී එය අහෝසි වූයේ එවකට සිටි මහින්ද රාජපක්ෂ පාලනයේ කැරැට්ටුව නිසාය. රටේ මානව හිමිකම් රැකීමට කැප නොවීම නිසාය. අප රට එකඟ වූ ජාත්‍යන්තර ප්‍රඥප්තීන් උල්ලංඝනය කළ නිසාය. ඒවාට එරෙහිව යුරෝපා සංගමය කළ ඉල්ලීම්වලට කන්නොදුන් නිසාය.

දැන් එය නැවත ලැබී තිබෙනවාය කීවාට නිකම්ම ලැබුණා නොවේ. ඒ සඳහා වසර දෙකකට වැඩි කලක් වෙ‍හෙසෙන්නට සිදුවිය. මානව හිමිකම් රැකෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට සිදුවිය. ඒ යුරෝපා සංගමයේ ඉල්ලීම නිසාම නොවේ. 2015 ජනවාරි 8 වෙනස මඟින් ඉදිරිපත් කළ ඉල්ලීම් ක්‍රියාවට නැඟීම සඳහාය. එසේ වූවද ඒ සමඟම ඒවා ක්‍රියාත්මක වන බවට සහතිකයක්ද අවශ්‍ය විය.

අප රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය දෙස බලා සිට ජී.එස්.පී. සහනය දුන්නා නොවේ. ඒ සඳහා යුරෝපා සංගමයේ පිළිගත් ක්‍රමවේදයක් ඇත. අප රටද පිළිගත් ජාත්‍යන්තර සම්මුති 27ක් ක්‍රියාවට නැගිය යුතුව තිබිණි. ඒ අතර 8ක් කම්කරු අයිතිවාසිකම් සම්බන්ධයෙනි. ඉතිරි සම්මුති අතර මානව හිමිකම්, පරිසර ආරක්ෂාව, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ආදියට සම්බන්ධ සම්මුති විය. ජී.එස්.පී. ප්ලස් බදු සහනය ලැබෙන්නේ එම සම්මුති ක්‍රියාත්මක කරන රටවලටය. මෙය ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා යුරෝපා සංගමය ක්‍රියාත්මක කරන ක්‍රමවේදයකි.

යුරෝපා සංගමය මෙලෙස බදු සහන ලබාදෙන්නේ තුන්වන ලෝකයේ රටවලින් එම රටවලට යවන භාණ්ඩ සඳහාය. එහිදී ප්‍රධාන ක්‍රම දෙකක් ක්‍රියාත්මකය. පළමුවැන්න ඉතාම දිළිඳු රටවලට ලබාදෙන සහනයයි. අවි ආයුධ හැර එම රටවලින් එන සියලු භාණ්ඩ සඳහා බදු සහන දීම එම ක්‍රමයයි. ඒබීඒ ලෙස හඳුන්වන එම ක්‍රමයේදී රටේ මානව හිමිකම් තත්ත්වය හෝ ප්‍රජාතන්ත්‍රවාදය ගැන සැලකීමක් නැත. එම ක්‍රමයේ අරමුණ ලෝකයේ දිළිඳුම රටවල් ආර්ථික වශයෙන් නඟාසිටුවීමය. තුන්වන ලෝකයේ රටවල් 49කට එම සහනය ලැබී ඇත.

ජී.එස්.පී, ක්‍රමය පහළ මැද ආදායම් රටවලට ලබාදී තිබෙන සහනයකි. එහිදී බදු සහන හිමිවන්නේ තෝරාගත් භාණ්ඩ සඳහාය. ජී.එස්.පී. ප්ලස් ක්‍රමය එහි තවත් දිගුවකි. එහිදී මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසර සංරක්ෂණය ආදී බොහෝ කරුණු සලකා බලයි. එහි අරමුණ ප්‍රජාතන්ත්‍රවාදී හා පරිසර හිතකාමී සංවර්ධනයක් සඳහා දිරිගැන්වීමයි.

මෙම බදු සහනය අප රටට ලැබුණා කීවද එය ලැබෙන්නේ අපගේ භාණ්ඩ මිලදී ගන්නා රටවලදීය. ඒ අප රටේ භාණ්ඩ සඳහා අයකරන තීරු බදු අඩුකිරීමයි. එවිට එම රටවල පාරිභෝගිකයින්ට එම භාණ්ඩ සඳහා ගෙවීමට සිදුවන මිල අඩුවෙයි. එවිට අප රටේ භාණ්ඩ සඳහා ඉල්ලුම වැඩිවී මෙරටෙහි කර්මාන්ත වර්ධනයක් සිදුවෙයි. රටට වාසි අත්වන්නේ එහිදීය.

2010 දී මෙම සහනය අපට නොලැබී ගියවිට සිදුවූයේ මෙහි අනෙක් පැත්තය. ඒ වනවිට අප රටේ භාණ්ඩ 7200කට මෙම බදු සහනය හිමිව තිබිණි. එම භාණ්ඩවලට යුරෝපා වෙළෙඳ පොළේ හොඳ ඉල්ලුමක් තිබිණි. අපගේ අපනයනවලින් සියයට 39ක් ගියේ යුරෝපයටය. බදු සහනය අහෝසි වූ විට එම ඉල්ලුම අඩුවිය. ‍ෙම් වනවිට යුරෝපයට කරන අප රටේ අපනයන ප්‍රමාණය සියයට 29 ක් දක්වා පහත වැටී ඇත.

මෙහි පළමු ප්‍රතිඵලය නම් අප රටේ අපනයන කර්මාන්ත බිඳ වැටීමයි. වැඩියෙන්ම බලපෑමට ලක්වූ ඇඟලුම් ක්ෂේත්‍රයේ දක්නට ලැබුණේ දරුණු පසුබැස්මකි. ඇඟලුම් කර්මාන්ත ශාලා 25කට වැඩි සංඛ්‍යාවක් වැසී ගියේය. සෘජු ලෙසම රැකියා අහිමි වූ සංඛ්‍යාව 10,000කට වැඩිය. වක්‍ර ලෙස බලපෑමට ලක්වූ පිරිස එමෙන් කිහිප ගුණයකි. ඇඟලුම් ක්ෂේත්‍රයේ පමණක් සිදුවූ පසුබෑම එබඳුය. වෙනත් ක්ෂේත්‍රවල සිදුවූ විනාශය ගණන් බලා නැත. මෙරටින් යුරෝපයට අපනයනය කරන භාණ්ඩ දහස් ගණනකට මෙම අභාග්‍ය සම්පන්න තත්ත්වයට මුහුණදීමට සිදුවිය.

මෙම කාලය තුළ අපගේ අපනයන ආදායම වැඩි වූයේ ඉතා හෙමිනි. අපගේ වර්ධනය සියයට 90ක් වනවිට බංග්ල‍ාදේශයේ වර්ධනය සියයට 400කි. මෙයින් රටේ ආර්ථිකය පසුබෑමට ලක්වූ බව අමුතුවෙන් කිව යුතු නැත.

ඊයේ පෙරේදා නිකුත් වූ 2016 මහ බැංකු වාර්තාවට අනුව රටේ ආර්ථිකය තවමත් තිබෙන්නේ අර්බුදයකය. අපගේ අපනයන ආදායම ප්‍රමාණවත් තරම් වැඩිවී නැත. ආනයන වියදම ඉහළ ගොසිනි. රජයේ ආදායමත් වැඩි ප්‍රතිශතයක් ණය ගෙවීමට වියදම් කළ යුතුව ඇත. ණය ප්‍රමාණය ඉතා ඉහළය. මේ නිසා රුපියලේ අගය අවප්‍රමාණය වී ඇත. රටේ විදේශ වත්කම් සංචිත පිරිහෙමින් පවතියි. ඒ පසුගිය වර්ෂය ගැන මහබැංකුව කියන කතාවයි.

2016 ගැන කීවද මහ බැංකුව කියන්නේ මෙම අර්බුදය වසර ගණනාවක් තිස්සේ වර්ධනය වූවක් බවය. එය 2012 පමණ සිට වඩා බරපතළ වී ඇත. මේ සියල්ලට ප්‍රධාන හේතුවක් නම් රටේ අපනයන ආදායම ප්‍රමාණවත් නොවීමයි.

ජී.එස්.පී. ප්ලස් නැතිවීමෙන් එකවර පෙනෙන හානිය වූයේ අපනයන කර්මාන්ත කඩා වැටීමය. නොපෙනෙන හා ගණනය කළ නොහැකි හානිය වඩා බරපතළය. එය නම් විදේශ හා දේශීය ආයෝජන පහළ යාමයි. ජී.එස්.පී. ප්ලස් දිගටම ක්‍රියාත්මක වූවා නම් මෙරටට තවත් ආයෝජන ලබාගැනීමට ඉඩ තිබිණි. එම විශාල අවස්ථාවක් අහිමිවී ඇති බව තේරුම්ගත යුතුව ඇත.

අප රටට දැන් ජී.එස්.පී. ලැබුණද එහි වාසි ලබාගැනීමට කාලයක් ගත වන බව කියති. හේතුව නම් ජී.එස්.පී. බදු සහනය මෙම 19දා සිට ක්‍රියාත්මක වූවද මේ වනවිටත් වසරේ ඇණවුම් බොහොමයක් ගිවිසගෙන අවසන්ව තිබීමයි. බදු සහනය ලැබුණු විගස අලුත් ඇණවුම් ලැබෙන්නෙ නැති අතර ලබාගෙන වහාම අපනයනය සඳහා නිෂ්පාදනය කිරීමේ හැකියාවක්ද නැත.

අපනයනකරුවන්ගේ සංගම් කියන්නේ මෙම සහනයේ සැබෑ වාසි ලැබෙන්නේ ලබන වසරේදී පමණ බවයි. ලබන වසරේදී ඇඟලුම් ක්ෂේත්‍රයෙන් පමණක් ලැබෙන ආදායම මේ නිසා ඩොලර් මිලියන 500 කින් වැඩිකරගත හැකි බව කියති. අනෙක් ක්ෂේත්‍රවලින්ද එබඳු වර්ධනයක් ලැබෙනු ඇතැයි සිතිය හැකිය. ඇඟලුම් ක්ෂේත්‍රයේ අලුතින් රැකියා 40,000ක් වත් බිහිවනු ඇතැයිද කියති.

අනෙක් අතට මෙම සහනය නිසා රටට අලුතින් ආයෝජන ලැබීමද සිදුවනු ඇත. පසුගියදා කටුනායක පාපැදි නිෂ්පාදන සමාගමකට ඉන්දියානු ආයෝජකයකු පැමිණියේ ජී.එස්.පී. ප්ලස් ලැබෙන බව තහවුරුවීමත් සමඟය. ඔහු කීවේ යුරෝපා වෙළෙඳපොළට වැඩි වැඩියෙන් නිෂ්පාදන යැවීම තම අරමුණ බවයි. මෙම ප්‍රවණතාව ඉදිරි කාලයේ තව තවත් වර්ධනය වනු ඇතැයි සිතිය හැකිය.

යුරෝපා වෙළෙඳ පොළට මත්ස්‍ය අපනයනයට තිබූ තහනම ඉවත්කර ගැනීමට පසුගිය වසරේ අපට හැකියාව ලැබිණි. එමගින් දැනටමත් විශාල වෙළෙඳපොළක් නැවත ලබාගැනීමට හැකිවී තිබේ. ජී.එස්.පී. ප්ලස් ලැබීමත් සමඟ එහි තවත් විශාල ප්‍රගතියක් ඇතිවෙතැයි අපේක්ෂා කෙරෙයි. මත්ස්‍ය නිෂ්පාදන අලෙවිකරුවන්ගේ සංගමය කියන්නේ මෙය තමන්ට ලැබුණු විශාල සහනයක් බවයි.

රබර් නිෂ්පාදන, යන්ත්‍රෝපකරණ ආදී ක්ෂේත්‍ර ගණනාවකටම මෙබඳුම සහනදායි තත්ත්වයක් හිමිවන බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිතවරයා ප්‍රකාශකොට තිබිණි. ඔහුගේ ගණන් බැලීමට අනුව මෙයින් ශ්‍රී ලංකාවට වාර්ෂිකව ලැබෙන සහනය අඩුම තරමින් යූරෝ මිලියන 300 කි.

මෙයින් පෙනී යන්නේ කලක් තිස්සේ අප මුහුණදුන් අර්බුදකාරි ආර්ථික තත්ත්වයෙන් රට ගොඩයන මගට අවතීර්ණ වී ඇති බවයි. අපගේ අපනයන ඉහළ නැංවීමත් සමඟ රුපියල ශක්තිමත් වීමත්, විදේශ සංචිත ප්‍රමාණය ඉහළ යාමත් සිදුවනු ඇත. රටේ අලුත් ආයෝජන ඇතිවන අතර රැකියා අවස්ථා වැඩිවෙයි. දැනට පවතින සමාගම්වලටද පුළුල්වීමේ ඉඩකඩ විවෘත වෙයි. රුපියල ශක්තිමත් වීමත් සමඟ උද්ධමනයේ පහළයාමක්ද අපේක්ෂා කළ හැකිය. එයින් පෙනෙන්නේ ජී.එස්.පී. ප්ලස් නැවත ලැබීම ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් වන බවයි.

කෙසේ වෙතත් අප අමතක නොකළ යුතු කාරණයක් ඇත. එනම් දැන් අප අමාරුවෙන් ගොඩ යන්නට හදන්නේ විහින් වැටුණු වළකින් බවයි. ඇත්තටම ‍නම් මෙය විශාල අගාධයකි. රට එම අගාධයට ඇදදැම්මේ මෙරට සිටි පාලකයන් විසිනි. ඒ භීෂණය පතුරා රට පාලනය කරන්නට ඔවුන්ට තිබූ අවශ්‍යතාව නිසාය. දිවි ඇතිතෙක් රජ කරන්නට තිබුණු කෑදරකම නිසාය. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහ අටවන සංශෝධනයෙන් ඒකාධිපති බලතල ලබාගත් අතර, ඒ වනවිට මේ රටේ මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම් පාගා විනාශකොට තිබිණි.

යුරෝපයෙන් අප රටට ජී.එස්.පී. සහනය අහෝසි කිරීමත් මත්ස්‍ය අපනයනය තහනම් කිරීමත් යුද්ධය හා සම්බන්ධ කිරීමට ගත් උත්සාහයද අමුම බොරුවක් බව දැන් පැහැදිලිව ඔප්පුවී ඇත. මෙම සහන අපට ලැබුණේ යුද්ධය පවතිද්දීය. ජී.එස්.පී. ප්ලස් ලැබුණේ 2005 දී ය. එය නැතිවූයේ 2009 යුද්ධය අවසන් වී වසරක් ගතවී තිබියදී 2010 දීය. ඒ යුද්ධය අවසන් වූවත් භිෂණයෙන් රට පාලනය කිරීමට පාලකයන්ට අවශ්‍ය වීම නිසාය. මත්ස්‍ය අපනයන තහනම ඉවත් කළේ නිසි ප්‍රමිතියකට හා ජාත්‍යන්තර නීතියට යටත්ව ධීවර කර්මාන්තය කිරීමේ කොන්දේසි සම්පූර්ණ කිරීමෙනි. ජී.එස්.පී. ප්ලස් ලැබුණේ එයට අවශ්‍ය ජාත්‍යන්තර සම්මුති ක්‍රියාවට නැගීමෙන් පසුවය. එයට වසර දෙකක් ගතවිය. එයින් මෙරටට මෙම සහන අහිමි වූ ඇත්ත ප්‍රශ්න හෙළිවී අවසන්ය.

හිටපු පාලකයන්ගේ මුරණ්ඩු ඒකාධිපති හැසිරීම නිසා සිදුව තිබුණේ රට ආර්ථික අගාධයකට ගමන් කිරීමයි. වෙනත් විදිහකට කිවහොත් පාලකයන් තම දේශපාලන අවශ්‍යතා සඳහා රට අගාධයට ඇද දැම්මෝය. මෙය ආර්ථික අපරාධයකි. හිටපු පාලකයන්ගේ අපරාධ අතරට මෙයද එකතු කළ යුතුය. මෙම ආර්ථික අපරාධයෙන් රටත් ජනතාවත් විශාල පීඩාවකට ලක්වූ බව පැහැදිලිය. එහි වගකීම එම පාලකයන්ට හිමිවිය යුතු බව කවුරුත් මතක තබාගත යුතුව ඇත.

රජයටද කීමට යමක් ඇත. ජී.එස්.පී. ප්ලස් ලැබුණු පමණින් සියල්ල ඉබේ සිදුවන්නේ නැත. මෙම සහනයේ ප්‍රතිඵල ලබාගෙන කර්මාන්ත සංවර්ධනය කිරීම සඳහාද විශේෂ අවධානයෙන් වැඩ කළ යුතුව ඇත. එමඟින් රටට ඉක්මන් හා ඉහළ ප්‍රතිලාභ ලබාදීම රජයේ වගකීමකි.

සී. ජේ. අමරතුංග

නව අදහස දක්වන්න