ෂැංග්‍රිලා භූමියේ කැනීම් යළි සිදු කිරිමට අවසර | දිනමිණ

ෂැංග්‍රිලා භූමියේ කැනීම් යළි සිදු කිරිමට අවසර

සුභාෂීණී සේනානායක

ෂැංග්‍රිලා හෝටල් ඉදිකිරීම් භූමියේ කැනීම් සිදු කිරිමේදී හමු වූ මිනිස් අස්ථි කොටස් පිළිබඳ සිද්ධියේ ප්‍රගතිය සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ලබන 22 දා පෙරවරු 07.00ට එම භූමියේ කැනීම් යළි සිදු කිරිමට අද අවසර ලබා දුන්නාය.

මහේස්ත්‍රාත්වරිය මෙලෙස අවසර ලබා දුන්නේ ෂැංග්‍රිලා හෝටල් ඉදිකිරීම් භූමියේ කැනීම් සිදු කිරිමේදී හමු වූ මිනිස් අස්ථි කොටස් පිළිබඳ සිද්ධියේ ප්‍රගතිය අධීකරණයට දැනුම් දෙමින් යළි කැනීම් සිදු කිරිමට සිදු කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවය.

එම භූමියට නිසි ආරක්ෂාවක් සපයා ඇද්දැයි මහේස්ත්‍රාත්වරිය පොලිසියෙන් විමසා සිටි අතර එම ස්ථානයට නිසි ආරක්ෂාවක් ලබා දී ඇතැයි කොටුව පොලිසියේ ස්ථානාධීපති සූරිය කුමාර් මහතා කියා සිටියේය.

එම ස්ථානයේ තිබී හමුවූ මිනිස් අස්ථි කොටස් මුද්‍රා තබා අධිකරණ වෛද්‍ය නිලධාරි කර්යාලයට යොමු කළ බවත් එම කොටස් රස පරීක්ෂකවරයාට යොමු කර ඇති බවත් වෛද්‍ය නිලධාරිවරයා වාර්තා කළ බව පොලිසිය කියා සිටි අතර ඒ සම්බන්ධයෙන් වූ සී සී ටී වී වාර්තාව ලබා දීමට මොරටුව තොරතුරු තාක්ෂණ ආයතනය සතියක කාලයක් ඉල්ලා ඇති බව කියා සිටියේය.

ඉකුත් 11 වනදා මෙම භූමියේ කානුවක් කැපීම සඳහා කැනීම් කටයුතු සිදු කරමින් පවතින අවස්ථාවේ අඩි 08ක් පමණ ඇතුළතින් තිබූ මෙම මිනිස් ඇට සැකිලි බවට සැකකෙරෙන අස්ථි කොටස් හමු වී ඇති අතර මේ සම්බන්ධයෙන් කොටුව පොලිසියට පැමිණිලි කිරමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත්වරිය පැමිණ සිදු කළ නිරීක්ෂණයෙන් අනතුරුව එම ස්ථානයට පූර්ණ ආරක්ෂාව ලබා දෙන ලෙසට නියෝග කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දුන් ආරක්ෂක අමාත්‍යාංශයේ රියදුරකුගේද සාක්ෂි සටහන් කරගෙන ඇති අතර ඔහු වසර 26 ක සිට ආරක්සක අමාත්‍යාංශය යටතේ සේවය කරන බවත් ඈත අතීතයේ එම භූමියේ සොහොන් බිමක් තිබී ඇති බවට අසා ඇති බව ඔහු ප්‍රකාශ කර ඇති බවත් සටහන් කර ඇත.

නව අදහස දක්වන්න