ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල අදයි | දිනමිණ

ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල අදයි

ප්‍රින්ස් ගුණසේකර

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවිධාන වන ඉහළම ක්‍රීඩා සම්මාන උළෙල ලෙස සැලකෙන ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 5ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙයි. ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ මඟ පෙන්වීම මත සංවිධාන වන මේ ක්‍රීඩා උළෙලේදී විවිධ අංශවල දස්කම් දැක්වූ 50කට අධික පිරිසකට ජනාධිපත් සම්මාන ප්‍රදානය කිරීමට නියමිතය.

පසුගිය වසරේදී මෙන්ම මෙවර සම්මාන උළෙලේදී ක්‍රීඩා ජයග්‍රහණ ලබා විශිෂ්ටත්වයට පත්වූ හා ක්‍රීඩාව වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ ආදර්ශවත් ක්‍රීඩාශීලීත්වය වෙනුවෙන් ජීවිතයට එක්වරක් පිරිනැමෙන ජනාධිපති ගෞරවනාම පිරිනැමීමට නියමිත අතර එයට ක්‍රීඩාභිමානී, ක්‍රීඩා දේශෝත්තර, ක්‍රීඩා කීර්ති, ක්‍රීඩා ලංකා ප්‍රදීප, ක්‍රීඩා භූෂණ, ක්‍රීඩා රත්න, ක්‍රීඩා ප්‍රභා යන විශිෂ්ටතා සම්මාන ඇතුළත් වේ.

පසුගිය වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා විවිධ ක්ෂේත්‍රවල දක්ෂයන්ට මේ සම්මාන උළෙලේදී ජනාධිපති සම්මාන පිරිනැමීමට නියමිතය. පසුගිය වසරේ නොතිබූ 16න් පහළ දක්ෂතම යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම, පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සම්මාන ප්‍රදානයද මෙවර සිදු කෙරේ.

දිස්ත්‍රික්ක 25ක වයස අවුරුදු 12ට වැඩි ශිෂ්‍යත්වලාභීන් 25ක් වෙනුවෙන් ‘ක්‍රීඩා දිරිය’ මාපිය කැපකරු ක්‍රමයේ ප්‍රතිලාභ ප්‍රදානය, ජාතික කණ්ඩායම් 48ක අවුරුදු 18ට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රතිලාභ හිමිවන ‘ක්‍රීඩා සුරැකුම’ රක්ෂණ ක්‍රමය හා වයස අවුරුදු 60 ට වැඩි (රජයෙන් විශ්‍රාම වැටුප් නොලඹන) ප්‍රතිලාභීන් දස දෙනකුට ‘ක්‍රීඩා සෙවන’ විශ්‍රාම වැටුප් ප්‍රදානය මේ සම්මාන උළෙලේදී සිදු කෙරේ.

ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේ විශිෂ්ටම සම්මානය ලෙස වසරේ ක්‍රීඩා විශිෂ්ටයා නම් කෙරෙන අතර දේශීය හෝ විදේශීය හොඳම ප්‍රතිඵල ලබාගත් කණ්ඩායමට වසරේ ක්‍රීඩා කණ්ඩායම් සම්මානය, සුවිශේෂී ප්‍රතිඵල අත්කරගත් වසරේ දක්ෂතම ක්‍රීඩිකාව හා වසරේ දක්ෂතම ක්‍රීඩකයා, වසරේ දක්ෂතම පැරා ක්‍රීඩිකාව හා දක්ෂතම පැරා ක්‍රීඩකයා (ආබාධ සහිත) වසරේ කනිෂ්ඨ ක්‍රීඩා කණ්ඩායම, හොඳම කනිෂ්ඨ ක්‍රීඩිකාව හා ක්‍රීඩකයා වෙනුවෙන් සම්මාන ප්‍රදානය කෙරේ.

නව අදහස දක්වන්න