වැල්ලවත්තේ කඩා වැටීම!

 වැල්වත්තේ සැවෝයි සිනමා ශාලාව අබියස කඩා වැටුණු ගොඩනැගිල්ල අපට තවත් පාඩමක් කියා දෙයි. සාමාන්‍ය වශයෙන් ගත් කල අපේ සමාජය තුළ පෙර සූදානම අඩු ය. යම් දෙයක ප්‍රමිතිය පිළිබඳ සැලැකිල්ල ද අඩු ය. අප බොහෝ විට පාඩම් ඉගෙන ගන්නේ ද විනාශයක් සිදුවූවාට පසුව ය. මේ පසුගාමී තත්ත්වය හැදෙන්නේම නැති වරදක් සේ පෙන්වා දිය හැකිය. අප එසේ කියන්නේ රටේ සිදුවීම්වලට අදාළ සත්‍ය අත්දැකීම් පදනම් කරගෙන ය. වැල්ලවත්තේ ගොඩනැගිල්ල කඩා වැටීමේ විපත පසුපස ද නොසලකා හැරීම් ගණනාවක් ඇති බව පෙනී ගොස් තිබේ.

මේ ගොඩනැගිල්ලේ අර්ධයක් ක්‍රියාත්මක ය. එනම්; මේ වනවිටත් මහල් ගණනාවක සේවා සැපයීම සිදු වී ඇත. භූගත මහලක වාහන අංගණයකි. පළමු මහලේ ද වාහන අංගණයකි. ගොඩනැගිල්ල මහල් පහකින් සමන්විත අතර තව මහල් දෙකක් ඉදිවෙමින් පවතී. තව මහල් දෙකක් නොව; හතරක් ම ඉදිවීමට නියමිත බව ද සමහරු කියති. ගොඩනැගිල්ල පළමුව මහල් තුනකට පැවැති බව ද පසුව මහල් දෙකක් ඊට එකතු කර ඇති බවද ඊළඟට ඉතිරි මහල් හතර ඉදිකිරීමට නියමිත බව ද තවත් අය පෙන්වා දෙති.

ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ එක් නිලධාරියකු පෙන්වා දී ඇත්තේ මෙහි අත්තිවාරමට මෙතරම් තට්ටු ප්‍රමාණයක් දරා ගත නො හැකි බව හා ඉදිකිරීම් කටයුතු ද ප්‍රමිතියකින් තොරව සිදු වී ඇති බව ය. තට්ටු තුනක් සඳහා වූ අත්තිවාරමකට තට්ටු පහක් හෝ තට්ටු හතක් හෝ දරාගත නොහැකි බව ඕනෑම කෙනකුට අවබෝධ වනු ඇත. ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ මුහුදට ආසන්න ප්‍රදේශයක බැවින් මෙහි පස, භූමිය, පරිසරය, මුහුදු හුළං ආදිය ගැන සැලකිල්ල යොමු කරමින් ගොඩනැගිල්ල ඉදිකළ යුතුව තිබිණි. ඒ සඳහා අවසර මෙන් ම උපදේශන ලබාගත හැකි ආයතන වෙයි. ඒ කිසි දෙයක් සිදු වී නැති බව ද දැනගන්නට ලැබේ.

මේ ගොඩනැගිල්ල ප්‍රිය සම්භාෂණ හා මංගල උත්සව පවත්වන හෝටලයක් ලෙස පවත්වාගෙන යන අතර ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා ගොඩනැගිල්ලට අලුත් මහල් එකතු කරමින් සිටි බව පැහැදිලි ය. ව්‍යාපාරය සාර්ථක අතර තව - තවත් ලාභ උපයා ගැනීමේ අරමුණෙන් සුපිරි හෝටලයක් කරා යන බව ද පැහැදිලි ය. ව්‍යාපාර පුළුල්වීම හොඳ දෙයකි. ඒ මගින් රැකියා සම්පාදනයකොට ආර්ථිකය පුළුල් කළ හැකි ය. එහෙත් එය සිදුවිය යුත්තේ රටේ නීතිය හා ඉදිකිරීම් තාක්ෂණයට අදාළ ප්‍රමිතිය ද ආරක්ෂා කරමින් ය. කරුණු සොයා බලනවිට පෙනී යන්නේ මෙහි අයිතිකරුවා ලාභය ගැන පමණක් සැලැකිල්ල දක්වා ඇති බව ය.

මේ සිද්ධියට සම්බන්ධ පුදුම සහගත දෙයක් ද වාර්තා වී ඇත. එනම්; ගොඩනැගිල්ල කඩා වැටී බරපතළ විනාශයක් සිදු වී ඇති නමුදු එහි අයිතිකරුවා ඉදිරිපත් වී නොසිටීම ය. නියම අයිතිකරුවා කවුරුන්දැ’යි සේවකයන් පවා නොදන්නා බවක් ද වාර්තා වී ඇත. අයිතිකරුවා ඉදිරිපත් නොවීමෙන් පෙනී යන්නේ ඔහු නීතියට පිටින් වැඩකර ඇති බව යැයි කියන්නට පුළුවන. කොළඹ මෙබඳු ප්‍රසිද්ධ ස්ථානයක හොර රහසේ විශාල ගොඩනැඟිලි ඉදිකළ නො හැකිය. රාජ්‍ය ආයතන කිහිපයක් ඒ සම්බන්ධයෙන් වගකීම භාරගත යුතුය. ඒ අනුව පෙනී යන්නේ නිලධාරීන් ද මේ කඩා වැටීමට යම් පමණකින් වගකිව යුතු බව ය. නිලධාරීන් ද නොයෙක් හේතු දක්වා මෙයින් මගහැර යන්නට පුළුවන.

සිද්ධිය වූ අවස්ථාවේ හෝටලය තුළ කිසිදු උත්සවයක් නොතිබුණු බව වාර්තා වේ. එය වාසනාවකි. උත්සව පැවැතියේ නම්; විශාල ජීවිත හානියක් සිදුවීමට ඉඩ තිබිණි. එහෙත් වාහන අංගණවල තිබූ රථවාහන යට වී ඇත. තුවාලකරුවෝ විසිතුනක් සිටිති. මරණයක් වාර්තා වී ඇත. රෝගීන් දෙදෙනකුට බරපතළ බවද කියති. මේ හැරෙන්නට අතුරුදන් වූ පිරිසක් ද සිටිති. අදාළ පරිශ්‍රය තුළ කී දෙනකු සිටියේ දැයි කිසිවකු නොදනී. සිදු වී ඇති අවුල එයින් ම පැහැදිලි වේ. රට දියුණු වන විට මෙබඳු අවුල් අඩු විය යුතුය. එහෙත් අපේ රටේ සිදුවන්නේ එහි අනෙක් පැත්ත බව බලධාරීන්ට මතක් කර දිය යුතුව තිබේ.

මේ ගොඩනැගිල්ලේ අවදානම් සහගත ඉදිකිරීම් ගැන සැවෝයි සිනමා ශාලාවේ සේවකයන් මීට පෙර දැනුම් දී ඇති බව හෙළිදරව් වී තිබේ. ගොඩනැගිල්ලේ සිමෙන්ති කොටස් වරින් වර සිනමා ශාලාවේ රථ ගාලට වැටී ඇත. රථගාලේ වාහනවලටද ඉන් අලාභ හානි සිදු වී ඇත. අයිතිකරුවා එම සිද්ධි සම්බන්ධයෙන් තාවකාලික විසැඳුම් ලබා දී ඉදිකිරීම් කටයුතු දිගට ම කරගෙන ගොස් තිබේ. මේ සිද්ධිවලින් පෙනී යන්නේ තම ගොඩනැගිල්ල ප්‍රමිතියකින් තොරව ඉදිවන බවට අවබෝධයක් අයිතිකරුවාට තිබුණු බව ය. ඔහු එක අතෙකින් මිනිස් ජීවිත නොසලකා හැර ඇත. තව අතෙකින් තම ව්‍යාපාරයට වංචාවක් සිදු කර ඇත. මේ දෙක ම බරපතළ වැරැදි බව පෙන්වා දිය යුතුය.

රටේ ඉදිකිරීම් තාක්ෂණය ඉතා දියුණු මට්ටමක පවතින බව සැබෑ වුව එය සෑම අවස්ථාවකටම හා සෑම ස්ථානයකට ම පොදු නැති බව පෙනී යයි. රජය මැදිහත් වී කරන ඉදිකිරීම් කටයුතුවල ප්‍රමිතියක් ඇති බව පෙනී ගිය ද,පෞද්ගලික අංශයේ ඉදිකිරීම් තුළ එය දකින්නට නැත. ඇතැම් කොන්ත්‍රාත්කරුවන් ළඟ ඇත්තේ බාස්ලා පමණි. එම බාස්ලා ද ඊට ‍වසර කිහිපයකට පෙර අත්වැඩකාරයන් ලෙස කටයුතු කළ අය වන්නට පුළුවන. මූලික සුදුසුකම් පවා නැති විශාල පිරිසක් මේ ක්ෂේත්‍රයෙහි කටයුතු කරති. එබඳු අයගෙන් ප්‍රමිතියක් අපේක්ෂා කළ නොහැකි ය. වැල්ලවත්තේ කඩාවැටීම අපට පෙන්වා දෙන වැදගත් ම පාඩම වන්නේ ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධයෙන් පිළිගත් ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක විය යුතු බව ය.

ඈත අතීතය දෙස බලන විට පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ අපට ‍ලෝකය විස්මිත කරවන ඉදිකිරීම් තාක්ෂණයක් හා වාරි තාක්ෂණයක් තිබූ බවය. ඒ ගැන සලකා හෝ බාල ඉදිකිරීම් නොකළ යුතු ය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...