එෆ්. ඒ. කුසලානය දිනන්න යුද-ජාවාලේන් සටන අදයි

ප්‍රින්ස් ගුණසේකර

එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය යුද හමුදාව හා ජාවාලේන් පාපන්දු කණ්ඩායම් අතර අද රාත්‍රී 7ට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝක ධාරා මැද පැවැත්වෙයි. එෆ්. ඒ. කුසලාන පාපන්දු තරග ඉතිහාසයේ පස් වරක් අවසන් මහා තරගයට පිවිස තුන් වතාවක් යුද හමුදා පිල ශූරතාව දිනා ඇති අතර, ජාවාලේන් ක්‍රීඩකයෝ මුල්ම වතාවට එෆ්. ඒ. කුසලාන අවසන් මහා තරගයකට පිවිස සිටීම විශේෂත්වයකි. ජාවාලේන් පිල බිහිවී වසර 49ක ඉතිහාසයේ මෙවැනි උසස් තත්ත්වයකට පැමිණි අවස්ථාව මෙය ලෙස සැලකේ.

පසුගිය වසරේදී එෆ්. ඒ කුසලානය දිනා ගැනීමට සමත්වූ යුද හමුදාව මෙවර තරගාවලියේ කැපී පෙණෙන දස්කම් දක්වමින් ඉදිරියට පැමිණීමට සමත්වූ අතර ජාවාලේන් ක්‍රීඩකයෝ තම සුපුරුදු රටවෙන් බැහැරව ආක්‍රමණශීලී ලෙස අර්ධ අවසන් වටයේදී හා අවසන් පූර්ව තරගයේදී දස්කම් දැක්වූහ.

මේ වසරේ මාර්තු මාසයේදී නිමාවූ ඩයලොග් චැම්පියන් ලීග් පාපන්දු ශූරතාවලියේදී යුද හමුදාව ඉදිරියෙන්ම සිට සුපිරි අටට සුදුසුකම් ලැබූ අතර ජාවාලේන් පිල මූලික වටයේදී අටවැනි ස්ථානයට පත්වී ඉවතට ගියේය. ඒ අනුව මෙයට මාස කිහිපයකට පෙර යුද හමුදාව හා ජාවාලේන් අතර දක්ෂතා සංසන්දනය කරද්දී ඉහළ පහළ සිටියද, ගෙවී ගිය මාස කිහිපයේදී ජාවාලේන් පිල වේගයෙන් ඉදිරියට පැමිණීම පෙරැළිකාරී තත්ත්වයකි.

යුද හමුදාව එෆ්. ඒ. කුසලාන අර්ධ අවසන් වටයේදී කොළඹ පාපන්දු සමාජය ගෝල් 3-2කින් පරදවා අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර අර්ධ අවසන් තරගයේදී සුපර් සන් පිල ගෝල් 12-1ක දැවැන්ත පරතරයකින් පරාජය කළේය. අවසන් 16 දෙනාගේ වටයේදී නාවික හමුදාව ගෝල් 4-1කින් පරාජය කළ යුද හමුදාව, කණ්ඩායම් 32ක් සහභාගී වූ වටයේදී ඊස්වරන් ක්‍රීඩා සමාජය ගෝල් 20-0කින් පරාජයට පත් කළේය.

මුල සිටම අවසන් මහා තරගය ඉලක්ක කොටගත් ජාවාලේන් පිල අවසන් පූර්ව තරගයේදී සෝන්ඩර්ස් පිල දඩුවම් පහර 5-3කින් පරාජයට පත් කළ අතර, අර්ධ අවසන් වටයේදී ප්‍රබල රිනවුන් පිල ගෝල් 3-1කින් පරාජය කිරීම ඔවුන්ගේ ගමන් මගේ හැරවුම් ලක්ෂයක් විය. අවසන් කණ්ඩායම් 16 අතර තරග වටයේදී ක්‍රිස්ටල් පැලස් පිල ගෝල් 2-0කින් හා අවසන් කණ්ඩායම් 32 වටයේදී කිරුළපන යුනයිටඩ් ගෝල් 5-1කින් පරාජය කිරීමට සමත් විය.

යුද හමුදා පිලට කවදත් ශක්තියක්වූ ප්‍රහාරක බළ ඇණියේ පළපුරුදු ක්‍රිඩක මොහොමඩ් ඉසෙදීන් මේ අවසන් තරගයේ කාගේත් අවධානය දිනාගත් ක්‍රීඩකයෙකි. ඉසෙදීන් යුද හමුදා පිලට වාසනාව ගෙන එන ක්‍රීඩකයකු ලෙසද කතා බහට ලක්වේ. යුද හමුදා පිලේ එම්. ටී. චන්ද්‍රෙස්කර ගෝල්ලාභීන් අතර ඉදිරියෙන් සිටී.

ජාවාලේන් පිලේ නවීන් ජූඩ්, ජනක චමින්ද හා රිස්කාන් ෆයිසර් අවසන් සටනට හොඳින් සූදානමින් සිටිති. මේ තිදෙනාම ජාවාලේන් අවසන් මහා තරගය දක්වා පැමිණි ගමන් මගේ කැපී පෙණෙන දායකත්වයක් ලබා දුන්හ.

එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ ජයග්‍රාහකයන්ට කුසලානය සමග රුපියල් ලක්ෂ 7.5ක්ද, අනු ශූරයන්ට රුපියල් ලක්ෂ 5ක් ද ප්‍රධානය කිරීමට නියමිතය. එයට අමතරව විවිධ අංශවලින් දක්ෂතා දැක්වූ කීඩකයන්ට සම්මාන පිරිනැමීමද සිදුවේ.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...