‘වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා’ සම්මානලාභීන් 3ක් චැම්පියන්ස් කුසලාන සංචිතයේ | දිනමිණ

‘වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා’ සම්මානලාභීන් 3ක් චැම්පියන්ස් කුසලාන සංචිතයේ

 ‘ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා’ පළමු‍ කොටසේ තරගයේදී සාන්ත පීතර විදුහලේ ලක්ෂින රොඩ්රිගෝ හා සන්තුෂ් ගුණතිලක උරෙන් උර ගැටෙන පොරයකට පිවිස සිටිති.

රොඩ්රිගෝ තවදුරටත් කුඩා පරතරයකින් ඉදිරියෙන් සිටීමට සමත්ව සිටියද ඉදිරි සති කිහිපයේදී ඕනෑම දෙයක් සිදුවීමට ඉඩ තිබේ. රොඩ්රිගෝ තවමත් පෙරමුණේ සිටියද තරගය දැන් ඉතාමත් විවෘත එකක් බවට පත්ව තිබේ. සිය කණ්ඩායම් සගයා වන ගුණතිලකට වඩා ඡන්ද 239කින් පසුගිය සතියේදී රොඩ්රිගෝ ඉදිරියෙන් සිටියද 12 වැනි සතියේ ඡන්ද ගණනයේදී එම පරතරය 25 දක්වා අඩුවී තිබේ.

රොඩ්රිගෝ ඡන්ද 11,380ක් ලබා ගෙන තම පෙරමුණ රැක ගනිමින් සිටියද ගුණතිලක ඡන්ද 11,355ක් රැස්කර ගෙන කිට්ටුවෙන්ම තරග වදිමින් සිටී. එහෙත් මේ දෙදෙනාට ඉසිපතනයේ සන්ජුල අබේවික්‍රමගෙන් තියුණු තරගයක් අපේක්ෂා කළ හැක. පළමු කොටසේ තරගයේ තෙවැනි ස්ථානයේ පසුවන අබේවික්‍රම ඡන්ද 9,923ක් රැස්කර ගෙන සිටී.

කුරුණෑගල සාන්ත ආනා විදුහලේ පියුමාල් සිංහවංස හා චරිත බස්නායක පිළිවෙලින් ‘ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා’ දෙවැනි හා තෙවැනි කොටස්වල ඔවුන්ගේ පෙරමුණ තවදුරටත් රැක ගෙන සිටීමට සමත්ව සිටිති.

මේ අතර ‘ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා’ තරගයේ ප්‍රධානතම සම්මානය දිනා ගත් තවත් තිදෙනෙක් එළැඹෙන ජූනි 1 වැනි දින එංගලන්තයේ ඇරැඹෙන ‘අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන’ තරගාවලිය සඳහා වන පහළොස් දෙනාගේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටිති. හිටපු ශ්‍රී ලංකා විස්සයි20 නායක දිනේෂ් චන්දිමාල්, කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල හා කුසල් මෙන්ඩිස් එම ක්‍රීඩකයෝ වෙති.

මේ තිදෙනාගෙන් වඩාත්ම පළපුරුදු ක්‍රීඩකයා වන චන්දිමාල් කොළඹ ආනන්දු විදුහල නියෝජනය කළ 2009 වසරේදී ‘ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා’ කිරුළ දිනා ගත් අතර මහනුවර ත්‍රිත්ව විදුහලේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන නිරෝෂන් දික්වැල්ල 2012 වසරේදීත්, මොරටුව වේල්ස් කුමර විදුහලේ හිටපු නායකයෙකු වන කුසල් මෙන්ඩිස් 2013 වසරේදීත් මේ වටිනා සම්මාන හිමිකර ගත්හ. එම වසරේදීම, බංග්ලාදේශයේ සංචාරය කළ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වය සඳහාද මෙන්ඩිස් තෝරා ගනු ලැබිණි. 

 

නව අදහස දක්වන්න