කඩාවැටුණේ අනවසරයෙන් ඉදිකළ ගොඩනැගිල්ලක්

අනුර ප්‍රේමලාල්

වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව අසල චාලිමන්ට් පාරේ දී කඩාවැටුණු ගොඩනැඟිල්ල ඒ අසල තිබෙන ඇල ආරක්ෂිත භූමියද යොදා ගෙන ඉදි කළ අනවසර ඉදි කිරීමක් බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අැමැති පාඨලි චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව සඳහන් කෙළේ ඊයේ(19) මහා නගර හා බස්නාහිර සංවර්ධන අමත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද කීය.

මේ සම්බන්ධයෙන් වැරැදිකරුවන් වන අයට දණ්ඩනීති සංග්‍රහයට අනුව දඬුවම් කරන්නැයි මා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලිඛිතව දැනුම් දුන්නා.

මේ ගොඩනැගිල්ල අයිති පුද්ගලයා වසර 2009දි වෙනත් ඉදිකිරීමක් කරන්න කොළඹ නගර සභාවෙන් සැලසුමක් අනුමත කර ගෙන තියෙනවා. හැබැයි ඒ ගොඩනැගිල්ල පරිහරණය කරන්න අවශ්‍ය අනුකූලතා සහතිකය අරගෙන නැහැ. ඉන්පසුව එම ගොඩනැල්ල හා අසල තිබෙන ඇල මාර්ගයේ ආරක්ෂිතයත් අල්ලාගෙන එම භූමිය ප්‍රයෝජනයට ගෙන සම්පූර්ණ නීති විරෝධි ලෙස සිවුමහල් උත්සව ශාලාවක් ඉදිකර තියෙනවා. මෙහි මුල් ගොඩනැගිල්ල මහල් අටක එකක් වන අතර දෙවැනියට ඉදි කළ උත්සව ශාලා ගොඩනැගිල්ල සත් මහල් එකක් ලෙස ඉදි කරන්න සැලසුම් කර ගෙන සිටියා. මෙයට සැලසුම් හෝ කිසිඳු ඉදිකිරීමේ අවසරයක් එම හිමිකරුවා ලබාගෙන නැහැ. එම ගොඩනැගිල්ල තමයි මෙලෙස කඩා වැටුණේ. මේ සම්බන්ධයෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සිදු කළ සරල පරීක්ෂණයකදි හෙලි වෙලා තියෙනවා මෙය නිසි ප්‍රමිතියකට ඉදිකර නැති බව. එයින් සිදු වු ව්‍යුහාත්මක බිඳවැටීමක් නිසා මේ ගොඩනැගිල්ල කඩා වැටී තිබෙන බව. ඒ වගේම ඉදිරිපිට ගොඩනැගිල්ලේත් යම් බිඳවැටීමක් සිදු වී තියෙනවා.

මින් අනාවරණය වෙනවා මේ රටේ මෙවැනි අනවසර ඉදිකිරීම් වගේම නිසි ප්‍රමිතියකින් තොරව ඉදිවෙන ගොඩනැගිලි තිබෙනවා. මේ සම්බන්ධයෙන් නීති රීති ක්‍රියාත්මක කිරීමේ තිබෙන බාධා පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරිය කලින් බම්බලපිටිය ප්‍රදේශයේ මෙවැනි නීති විරෝධි ඉදිකිරීම් හා පදිංචි කිරීම් ගැන පරීක්ෂණයක් කළා. එහි දි එක්දහස් අටසීයක් එවැනි දේවල් වාර්තා වුණා. ඒ නිසා මේවා මගහැර යන්න බැහැ.

විසිතුන්දෙනකු තුවාළ වුණා. එක් අයකු මිය ගියා. මෙය උත්සව ශාලාවක් නිසා සිය ගණන් මේ ස්ථානයට එක්වෙන්න හැකියාව තිබුණා.එවැනි අවස්ථාවක මෙවැනි අනතුරක් වුණා නම් කුමක්ද තත්ත්වය. ඒ නිසා මේ වෙනුවෙන් වැරැදි කරුවන් වන අයට දැඩි දඬුවම් ලබාදිය යුතුයි. අපේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීම ගැන තිබෙන තත්ත්වය එතරම් හොඳමදි නිසා මෙයට නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි කියා අපි සියලු උපදෙස් ලබාදුන්නා. මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය සිදු කළ මුලික පරීක්ෂණය අද සිදු කළා. මේ ස්ථානයේ සුන්බුන් අතර තවත් පුද්ගලයින් සිටි යැයි හමුදාවේ අය සැක කරන බැවින් අපට අද තමයි අවසරය ලැබුණේ මේ ස්ථානය යෑමට. ඒ නිසා මේ ගොඩනැගිල්ලට පමණක් නොවේ ඒ ඇල මාර්ගය දෙපස තිබෙන සියලු අනවසර ඉදිකිරීම්වලට එරෙහිව පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය තිබෙන සම්පත් සීමිතයි. ඒ නිසා ජන සංඛ්‍යා දෙපාර්තමේන්තුවේ ආධාර ඇතිව මේ නීති විරෝධි ඉදිකිරීම්වලට එරෙහිව පුළුල් වැඩපිළිවෙළක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. කොළඹ නගරය,දෙහිවල ගල්කිස්ස හා කොළොන්නාව යන ප්‍රදේශවල මේ අනවසර ඉදිකිරීම් උවදුර තියෙනවා. මෙහිදි අනවසර දස දහසකට අධික ප්‍රමාණයක් ඇතැයි සැක කරනවා. ඒ අනුව අද සිටම ඇල මාර්ග, වගුරුබිම් ඇතුළු පාරිසරික කරුණුවලට ප්‍රමුඛතාවය දෙමින් මේ අනවසර ඉදිකිරීම් ගැන සොයා කඩා ඉවත් කිරීමටත් දඩ මුදල් අය කොට දඬුවම් දීමටත් කටයුතු කරනවා.

යුද්ධය සමයේ කොළඹට විශාල ලෙස පැමිණි ජනතාව උදෙසා මෙම කුඩා නිවාස සංකීර්ණ කිසිදු ප්‍රමිතියක් තොරව ඉදි වුණා. දැන් මේ සම්බන්ධයෙන් රටේම අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව පොලිස් හා නීතිපති දෙපාර්තමේන්තුවල සහයෝගය ඇතිව මේ කාර්යන් ක්‍රියාත්මක කරනවා. ඉදිරියේදි පරිගණක තාක්ෂණය යොදා ගෙන ඔන්ලයින් ඔස්සේ ගොඩනැගිලි සැලසුම් ලියාපදිංචි කිරීමටත් එම ඉදිකිරීම්වල තත්ත්වයන් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන්න කටයුතු යොදනවා.

මේ අවස්ථාවට නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න,අමත්‍යාංශ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ,නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ හා එහි අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක යන මහත්ම මහත්මීන් එක්වූහ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...