කේට්ගේ නංගිට මංගල සීනු

 බ්‍රිතාන්‍යයේ කේට් කුමරියගේ එකම සොයුරිය - පිපා මිඩිල්ටන්ට අද මංගල සීනු හැඬවේ. ඇගේ අත ගන්නේ ධනවතෙකු වන ජේම්ස් මැතිව්ස්ය. පිපා - ජේම්ස් මංගල්‍යයේ ආගමික වතාවත් සිදු කෙරෙන්නේ බර්ක්ෂියර්හි ශාන්ත මාර්ක් දේවස්ථානයේදී බව වාර්තා වේ. ආරාධිතයෝ සියයකට ආසන්න පිරිසක් දේව මෙහෙයට සහභාගී වෙති. විවාහය වෙනුවෙන් ශාන්ත මාර්ක් දේවස්ථානය පසුගිය සති කිහිපය පුරාම ප්‍රතිසංස්කරණය කෙරුණු බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. දේව මෙහෙය නිම වීමෙන් පසු පිපා - ජේම්ස් යුවළ බකල්බෙරිහි පිහිටි පිපාගේ දෙමවුපියන්ට අයත් මන්දිරය ඉඳිකර තිබෙන වත්ත වෙත නික්ම යන්නට නියමිතය. අමුත්තන් සඳහා සුඛෝපභෝගීවූත් අති විශේෂවූත් සංග්‍රහයක් එහි පැවත්වෙනු ඇත. සාදය සඳහා තුන් සියයකට අධික පිරිසක් ආරාධනා ලැබ සිටිති. සාදය සඳහා මිඩිල්ටන්ලාගේ මන්දිරය අයත් වත්ත පසුගිය සති කිහිපය පුරාම විශේෂයෙන්ම සකස් කෙරිණ.

පිපාගේ විවාහ මංගලෝත්සවයට රාජකීයයන් රැසක් සහභාගී වීමට නියමිත ය. ඒ අතර දෙවන එළිසබෙත් රැජිණ, හැරී කුමරු සහ විලියම් කුමරුද සිටිති. පිපාගේ වැඩිමහල් සොයුරිය - කේට් කුමරිය මේ මංගල උත්සවයේදී කාගේත් අවධානයට ලක්වනවාට සැකයක් නැත. කේට් - විලියම් යුවළගේ දරුවන් වන ජෝර්ජ් කුමරු සහ චාර්ලට් කුමරිය මල් කුමාර කුමරියෝ හැටියට පෙනී සිටිති. හැරී කුමරුගේ පෙම්වතිය මෙගන් මර්කල්ද පිපාගේ විවාහ මංගල්‍යයට සහභාගී වන අමුත්තන් අතර සිටින්නීය. ඇය කල් ඇතිවම බ්‍රිතාන්‍යයට පැමිණ ඇති බව දැක්වේ.

බ්‍රිතාන්‍ය මාධ්‍ය වර්තාවල සඳහන් වන අන්දමට වීදුරුවලින් නිම කළ මඩුවක් සාදය සඳහා මිඩිල්ටන් මන්දිරය පිහිටා ඇති වත්තේ ස්ථාපනය කර ඇත. මඩුවට අවශ්‍ය වීදුරු ගෙන්වාගෙන තිබෙන්නේ බෙල්ජියමෙනි. මඩුව සැකසීමේ කටයුතු සඳහා වැය වී ඇති මුදල බ්‍රිතාන්‍ය පවුම් 100,000කට අධිකය. මේ මඟුල් මඩුව තුළ දකින්නට ලැබෙන්නේ ඕක් ලීයෙන් කළ මේස, පුටු සහ භාණ්ඩය. සංග්‍රහයට තෝරාගෙන තිබෙන්නේ ඉහළම වර්ගයේ පෝසිලේන්වලින් නිමවන ලද පිඟන් කෝප්ප බව දැක්වේ. විශාල කැඩපත් අල්ලා අලංකාර කර ඇති මේ මඩුව ආලෝකකරණය පිණිස විචිත්‍රවත් විදුලි බුබුළු පද්ධතියක් යොදාගෙන තිබේ. තුන් සියයකට ආසන්න වූ ආරාධිත අමුත්තන් වෙනුවෙන් වැසිකිළි පහසුකම්ද මඩුව ආශ්‍රිතව ඉඳිකර ඇත. මේ වැසිකිළි, ගුවන් යානා තුළ දකින්නට ලැබෙන වැසිකිළිවල අඩංගු තාක්ෂණයට සමාන බව වාර්තාවල දැක්වේ. ඇතැම් මාධ්‍ය සේවා පෙන්වා දෙන අන්දමට මේ වැසිකිළි පද්ධතිය පුදුමාකාරය; එමෙන්ම සුඛෝපභෝගීය.

පසුගිය දින කිහිපය පුරා මිඩිල්ටන් මන්දිරය අසල රැකවල් ලා ගෙන සිටි මාධ්‍යවේදීන් සහ ඡායාරූප ශිල්පීන් පවසන්නේ ඉතා වටිනා කියන ඇඳුම් ආයිත්තම් රැගත් පිරිස් මන්දිරය තුළට පැමිණෙනු තමන් දුටු බවය. එසේ රැගෙන ආ ඇඳුම් පැළඳුම් අතර මනාලියගේ මංගල ඇඳුමත් තිබෙන්නට ඇති බව ඔවුහු අනුමත කරති. මනාලියගේ මංගල ඇඳුම ඉතාමත් සරල සහ චාම් එකක් වනවාට කිසිදු සැකයක් නැති බව මේ මංගල්‍යයේ කටයුතු සංවිධානය කෙරෙන ආකාරය ගැන දන්නා කියන අය පවසති.

පිපා අද පෙරවරුවේදී එක මංගල ඇඳුමකිනුත් සවස් භාගයේදී තවත් මංගල ඇඳුමකිනුත් සැරසෙනු ඇතැයි මත පළවේ. මංගල්‍ය දා මනාලයා අඳින්නේ බ්‍රිතාන්‍යය පවුම් 6000කට වඩා වැඩි වටිනාකමකින් යුත් ඇඳුමකි. මේ ඇඳුම මසා නිම කරන්නට භාර දී තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ ඉතා ප්‍රකට ඇඳුම් මසන්නෙකුටය. බ්‍රිතාන්‍ය පවුම් 400කට වඩා වැඩි කුලියක් ඇඳුම මැසීම සඳහා ගෙවා තිබේ.

මේ අතර කේට් කුමරියගේ පෞද්ගලික කේශ සැකසුම් ශිල්පිනී අමන්දා කුක් ටකර්ද විශාල බෑග් කිහිපයක් ඔසවාගෙන මිඩිල්ටන් මන්දිරයට පසුගියදා පැමිණ තිබේ. මනාලියගේ කේශ කලාපය හැඩ කිරීමේ කටයුත්ත අමන්දා කුක් ටකර්ට භාර වී ඇතිවාට සැකයක් නැති බව මෙයින් තහවුරු වේ. සමහර විට එය අමන්දා වෙත පැවරෙන්නට ඇත්තේ කේට් කුමරියගේද අනුදැනුම මත විය හැකියැයි ඇතැම් අය පවසති.

පිපාගේ මංගල්‍ය වෙනුවෙන් කොපමණ මුදලක් වැය කෙරෙන්නේද යන්න ගැන පැහැදිලි සඳහනක් නැත. එසේ වුවත් ඊට වැය කෙරෙන මුදල බ්‍රිතාන්‍ය පවුම් ලක්ෂ ගණනක් බව නම් අනුමානයෙන් තොර කාරණයකි. පිපාගේ මංගල ඇඳුමම බ්‍රිතාන්‍ය පවුම් 10,000කට වඩා වැඩි වටිනාකමක් ඇති එකක් විය හැකියැයි මත පළවේ. ආහාර පාන වෙනුවෙන් බ්‍රිතාන්‍ය පවුම් 70,000කට වඩා වැඩි මුදලක් වැයවනවාට ද සැකයක් නැත. ඒ හැරුණු විට මල් සැරසිලි, මධ්‍යසාර වර්ග, ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීම, රූපලාවාන්‍ය කටයුතු, මංගල මුදු, සංගීත කණ්ඩායම්, මංගල කේක් ආදිය සඳහාත් විශාල වියදමක් දරන්නට සිදු වනවා නිසැකය. තිස් තුන් හැවිරිදි තම බාල දියණිය දීග දෙන්නට මේ මහා වියදම දරන්නේ පිපාගේ මවුපියන් වන කැරොල් සහ මයිකල් මිඩිල්ටන් යුවළයි.

මංජුලා විජයරත්න
mail online ඇසුරෙනි


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...