එක් තීරයක් - එක් මාවතක් ලෝකය යා කරන චීන සංකල්පය

 වසර 2000 කට පමණ ඉහතදී චීනයේ ෂැංග් කියෑන් අධිරාජයා චීනය මධ්‍යම ආසියාව හා අරාබි ලෝකය සමඟ සම්බන්ධ කරමින් ‘සේද මාවත’ නිර්මාණය කිරීමට උපකාරී විය. එවක චීනයේ අතිශයින්ම වැදගත් අපනයන භාණ්ඩය වූ ‘සේද’ එම නම යෙදීමට මුල්විණි. ‘සේද මාවත’ වසර සිය ගණනක් තිස්සේ සමස්ත කලා‍පයේම සංවර්ධනයට විශාල බලපෑමක් ඇති කළේය.

වසර 2013 දී ජනාධිපති ෂී ජිංග් පිංග් එම සංකල්පය වඩාත් පෙරට ගෙන යමින් “සමුදුරු සේද මාවත” සංකල්පය ඉදිරිපත් කළේය. එය හඳුන්වා දුන්නේ “එක් මාවතක් - එක් තීරයක්” (OBOR) යනුවෙනි. එමඟින් චීනය මධ්‍යම ආසියාව, බටහිර ආසියාව සහ දකුණු ආසියාවේ කොටසක් සමඟද සම්බන්ධ කෙරුණේ මහාමාර්ග, දුම්රිය මාර්ග හා නාවික ගමන් මාර්ග ඔස්සේය. එය හුදෙක් භෞතික වශයෙන් මේ රටවල් යා කිරීමක් නොවන අතර ආර්ථික සහයෝගීතාව, ප්‍රතිපත්ති සම්බන්ධීකරණය, මූල්‍යමය සහයෝගිතාව, සමාජ සංස්කෘතික සහයෝගීතාව වෙනුවෙන් ලොව විශාලතම වේදිකාව නිර්මාණය කිරීමක් ද විය. ‘එක් තීරයක් - එක් මාවතක්’ වැඩපිළිවෙළ ඔස්සේ සැමට ප්‍රතිලාභ අත්වන බව චීනය අවධාරණය කළ අතර ඒ සඳහා විවෘත සංවාදයක් ගොඩනැඟිය යුතු බවද ප්‍රකාශ විය.

‘එක් තීරයක් - එක් මාවතක්’ ක්‍රියාකාරී සැලැස්මට 2015 වසරේදී චීන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අනුමැතිය ලැබිණි. එය ප්‍රධාන කොටස් 2 කින් සමන්විත වූවකි. එකක් සේද මාවත ආර්ථික තීරුවය. අනෙක 21 වැනි සියවසේ සමුදුරු සේද මාවතය. සේද මාවත ආර්ථික තීරය මාර්ග 3ක් ඔස්සේ දිග හැරේ. ඒ මධ්‍යම ආසියාව හරහා යුරෝපයත් බටහිර ආසියාව හරහා පර්සියානු ගල්ෆ් කලාපය හා මධ්‍යධරණී කලාපයත්, දකුණු ආසියාව හරහා ඉන්දීය සාගරයත් චීනයට සම්බන්ධ කරමිනි. 21 වැනි සියවසේ සමුදුරු සේද මාවත මඟින් කලාපීය වාරිමාර්ග අතර සම්බන්ධීකරණයක් ‍ගොඩනැඟීම අපේක්ෂාවය. මෙම ක්‍රියාකාරී සැලැස්මට රටවල් 60කට වැඩි සංඛ්‍යාවක සහයෝගීතාව පළවී ඇති අතර එම රටවල සමස්ත දළ ජාතික නිෂ්පාදනය ඇ.ඩො.ට්‍රිලියන 21 කි. චීනය හා එම රටවල් අතර මේ වනවිටත් ගනුදෙනු 900ක් පමණ ක්‍රියාත්මකය.

“එක් තීරයක් - එක් මාවතක්” යනු විදේශාධාර වැඩසටහනක් නොවේ. එමඟින් ඒ ඔස්සේ සම්බන්ධ වී සිටින රටවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා චීනය උපායමාර්ගිකව ණය ලබාදීම සිදුකරයි. එය ආර්ථික මාර්ග සිතියමක් ලෙස හඳුනාගැනීම වඩා නිවැරැදිය. අප්‍රිකාව, මැදපෙරදිග, මධ්‍යම ආසියාව, නැ‍ඟෙනහිර යුරෝපය, රුසියාව, දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව යන කලාප සමඟ චීනය විශාල ලෙස වෙළෙඳාම සහ ආයෝජන සිදුකරන අතර චීනය දැනටමත් අප්‍රිකාවේ එකම විශාලතම අරමුදල් සම්පාදකයා මෙන්ම යටිතල පහසුකම් නැංවීමේ යෙදී සිටින්නාද වේ. මේ යටතේ ප්‍රවාහනය, ජලසම්පාදන, බලශක්ති, විදුලි සංදේශ, සෞඛ්‍ය ආදී ක්ෂේත්‍ර ගණනාවක ව්‍යාපෘතීන් සඳහා දායකත්වය ලබාදීම සිදුවේ.

“එක තීරයක් - එක මාවතක්” සංවාදය හා වැඩපිළිවෙළ පෙරට ගෙන යමින් එය හා එක්ව සිටින රටවල සමුළුව බෙයිජිං නුවරදී ඉකුත් සති අන්තයේ පැවැත්විණි. මුල්පෙළේ බටහිර බලවතුන්ගේ රාජ්‍ය නායක මට්ටමේ නියෝජනයක් එහි සිදු නොවුණද ඉහළ පෙළේ නියෝජිතයන් ඊට සහභාගි කරවීමට ඔවුන් ක්‍රියාකර තිබිණි. චීනය සමඟ සතුටුදායක සබඳතා නොපවතින අමෙරිකාව දකුණු කොරියාව සහ ජපානය පවා සිය නියෝජිතයන් ඊට සහභාගි කරවීය. උතුරු කොරියානු නියෝජිතයන් දෙදෙනකුද එය නියෝජනය කළේය. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ද ඊට සහභාගි වී සිටියේය.

සමුළු නියෝජනය අතර කැපීපෙනෙන මෙන්ම කතාබහට ලක්වූ කාරණයක් වූයේ ඉන්දියාව සහභාගි නොවීමය. අවම වශයෙන් තානාපති මට්ටමේ නියෝජනයක් හෝ ඉන්දියාවෙන් සිදු නොවීය. ඉන්දියාව එවැනි තීරණයක් ගැනීමට බලපෑ හේතුව ලෙස ප්‍රකාශ වී ඇත්තේ කාශ්මීරයේ පාකිස්තානු පාලනයට නතු ප්‍රදේශය හරහා වැටී ඇති චීන පාකිස්තාන ආර්ථික කොරිඩෝරයයි. මේ තත්ත්වය පිළිබඳ අවබෝධයකින් සිටින බවක් චීනයෙන් පළවූ නමුත් අගමැති මෝදි ඊට සහභාගි නොවුණද නියෝජිත පිරිසක් ඊට සහභාගි කරවනු ඇති බව චීනයේ විශ්වාසය වූ බවද පෙනෙන්නට තිබිණි.

දෙවෙනි ලෝක සංග්‍රාමයේ සැමරුම් පෙළපාලිය 2015 සැප්තැම්බර් මස බෙයිජිං නුවරදී පැවැති අවස්ථාවේ ද ඉන්දියාවට ඇරියුම් කරන ලදී. ඉන්දියාව එම ආරාධනය පිළිනොගත්තද විදේශ කටයුතු අමාත්‍ය වී. කේ. සිං හමුදා උත්තමාචාර පෙළපාලිය පැවැත්වෙන අවස්ථාවට සහභාගි කරවීය. හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණේ චීනය මෙවරද එලෙස සිදුවේ යැයි අපේක්ෂා කරන්නට ඇති බවය. එහෙත් එය සිදුවූයේ නැත.

ඉන්දියාවේ ස්ථාවරය පිළිබඳ ඇතැම් වි‍ශ්ලේෂකයන්ගේ මතය වූයේ, එය ඉන්දියාවේ තීරණය බවය. සමුළුවට සමගාමීව පැවැති බුද්ධි මණ්ඩල සංවාද මණ්ඩපයකදී හිටපු ඔස්ට්‍රේලියා අගමැති කෙවින් රච් ඉන්දියාව ගැන විරළ අදහස් දැක්වීමක් කරමින් කියා තිබුණේ, දීර්ඝකාලීන ආරක්ෂක සැලැස්මක් නිර්මාණය කිරීම වෙනුවෙන් චීනය, ඉන්දියාව, රුසියාව සහ එක්සත් ජනපදය එක්විය යුතු බවය.

බෙයිජිංහි සිටින ඉන්දීය වාර්තාකරුවන්ගේ මතය බව පෙනෙන්නේද ඉන්දියාව සමුළුවට සහභාගි වූවා නම් හොඳය යන්නය. මාධ්‍යවේදී සුධීනු කුල්කර්නි ඉන්දියාවේ තීරණය විවේචනය කර තිබිණි. ඒ සඳහා අගමැති මෝදිට උපදෙස් දුන්නේ කවුරුන් වූවද එය ඉතා අහිතකර උපදෙසක් බව සුධීනුගේ මතයයි. මෙය ඉන්දියාව තමන් විසින්ම හුදෙකලාවීමක් බව ඔහු පෙන්වා දී තිබේ. ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ චීනය සමඟ බරපතළ වෙනස්කම් ඇති ජපානය සහ අමෙරිකාව පවා සිය නි‍යෝජිතයන් සමුළුවට සහභාගි කරවූ බවය. ප්‍රායෝගික වශයෙන් සළකනවිට සමස්ත ලෝකයම එහි නියෝජනය වූ අතර ඉන්දියාව පමණක් තනිවිය.

“එක් තීරයක් - එක් මාවතක්” යනු චීනය සහ පාකිස්තානය අතර ඇති ආර්ථික කොරිඩෝරය වැන්නක් නොවන බව ඉන්දියාව වටහාගත යුතු බව ඇතැම් ජාත්‍යන්තර විශ්ලේෂකයන්ද පෙන්වා දී තිබේ. චීන ජනාධිපති ෂීජිංග් පිංග් සමුළුව අතරතුර ඉන්දියාවේ ප්‍රතිචාරය ගැන යමක් පවසා නැතත් මේ වැඩපිළිවෙළ පෙරට ගෙනයාම වෙනුවෙන් තවත් ඇ.ඩො. බිලියන ගණනක් යෙදවීමට සූදානම් බව පවසා තිබිණි.

චීනය මධ්‍යම සහ නැගෙනහිර යුරෝපා රටවල ද උපායමාර්ගික ආයෝජන රැසක් සිදුකර තිබේ. “එක් තීරයක් - එක් මාවතක්” වැඩපිළිවෙළ මඟින් ප්‍රමුඛ වශයෙන් අරමුණු කෙරෙන්නේ ද ධනවත් යුරෝපා ආර්ථිකය හා චීනය අතර සබඳතාව ගොඩනැඟීම හා වර්ධනය කිරීමය. අනෙක් අතට යුරෝපයේ ආර්ථිකය අර්බුදයට යන තත්ත්වයකදී චීනය සමඟ ඇති ආර්ථික වෙළෙඳ සහයෝගීතාව ඒ රටවලටද හිතකරය. චීනය ඇතැම් ක්ෂේත්‍රවල ඇ.ඩො. බිලියන ගණනින් ආයෝජනය කරමින් සිටී. එහිදී යුරෝපා සම්බන්ධය අතිශයින්ම වැදගත්ය. චීනයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ඉන්දියාවට හැකිවනු ඇතැයි සිතිය නොහැකිය. එහෙත්, ඉන්දියාව එය සමඟ එක්ව සිටින්නේ නම් එය චීනයටද හිතකර තත්ත්වයකි. ඉන්දියාවේ භූගෝලීය පිහිටීම සමුදුරු සේද මාව‍තේදී චීනයට උපායමාර්ගිකවද වැදගත් වන බැවිනි.

මෙය චීන ව්‍යාපෘතියක් බවද ඊට අරමුදල් සම්පාදනය කරනු ලබන්නේ චීන බැංකු හා සමාගම් බවද සත්‍යයකි. එහෙත්, මෙය හුදෙක් චීනයේ අභිවෘද්ධියට අරමුණු කළ ව්‍යාපෘතියක් නොවන බව ඔවුන්ගේ මතයය. ජනාධිපති ෂීජිංග් පිංග් අවධාරණය කරන පරිදි මෙය දෙපාර්ශ්වයම ජය අත්කරගන්නා (win - win) තත්ත්වයකි.

මේ ව්‍යාපෘතිය දැනටමත් යම් යම් ප්‍රායෝගික ජයග්‍රහණ අත්ක‍රගෙන තිබේ. චීනය සමඟ අත්සන් කර ඇති ද්විපාර්ශ්වික ගිවිසුම් ඊට එක් නිදසුනකි. හංගේරියාව, මොංගෝලියාව, රුසියාව, තජිකිස්තානය සහ තුර්කිය එලෙස ද්විපාර්ශ්වික ගිවිසුම්වලට එළැඹි රටවල් වේ. ඒ ඔස්සේ ව්‍යාපෘතීන් ගණනාවක්ම දැනටමත් ක්‍රියාත්මකය. නැ‍ඟෙනහිර චීනය හා ඉරානය අතර දුම්රිය ප්‍රවාහන සේවා යුරෝපය දක්වාම ව්‍යාප්ත කිරීමට කටයුතු කෙරෙමින් පවතී. ලාඕසය සහ තායිලන්තය අතර නව දුම්රිය ව්‍යාපෘතියක්ද ඉන්දුනීසියාවේ අධිවේගී දුම්රිය ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක වෙමින් තිබේ. චීනය සහ මැදපෙරදිග මධ්‍යධරණී සහ යුරෝපා රටවල් අතර බෝල්ටික් හුවමාරුව නම් සහයෝගිතා ක්‍රියාදාමයක්ද දියත් වේ. ව්‍යවසායක සහයෝගිතාව යටතේ ව්‍යවසායන් 200කට පමණ ගිවිසුම් අත්සන් තබා ඇත.

මෙවැනි පසුබිමක අන්තර්ජාතික දේශපාලනය හෝ වෙළෙඳ, ආර්ථික, ආරක්ෂක යන ඕනෑම ක්ෂේත්‍රයකදී චීනය මඟහැරයාමට සෙසු ලෝකයට හැකියාවක් නැත. එමෙන්ම චීනය දෙවන බලවතාය. ඇතැම් පුරෝකථනයන්ට අනුව ඔවුන් පළමු බලවතාවීම ඉදිරි වසර කිහිපය හෝ දශකය තුළ සිදුවිය හැකි තත්ත්වයකි. යථාර්ථය එය නම් ඊට පිටුපා සිට ගැනීමෙන් කවර රටකට වූවද අත්කරගත හැකි යහපතක් තිබිය නොහැකි බවය.

ධම්මික සෙනෙවිරත්න


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...