කාන්තා ක්‍රිකට් ගැටුමේ ජය කන්තලේ මැදි විදුහලට | දිනමිණ

කාන්තා ක්‍රිකට් ගැටුමේ ජය කන්තලේ මැදි විදුහලට

ත්‍රිකුණාමලය විශේෂ ඒ. ටි. එම්. ගුණානන්ද
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක හසාන් තිලකරත් මහතා ක්‍රිකට් උපකරණ කට්ටල ලබාදෙමින්.

ත්‍රිකුණාමලය සිංහල මධ්‍ය මහා විද්‍යාලය හා කන්තලේ මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැති ‘බැටල් ඔෆ් ද සෙන්ට්‍රල්’ කාන්තා ක්‍රිකට් තරගයේ ජය කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයට හිමිවිය.

කාසියේ වාසිය දිනාගත් කන්තලේ මධ්‍ය විදුහල් පිල පළමුව පන්දුවට පහර දෙමින් ඕවර 18.3කදී සියල්ලන් දැවි ලකුණු 207ක් රැස්කර ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ත්‍රිකුණාමලය මධ්‍ය විදුහල් කණ්ඩායමට ඕවර 17.3කදී සියල්ලන් දැවී රැස් කරගත හැකිවුයේ ලකුණු 70ක් පමණි.

මේ තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් අංශය විසින් සංවිධාන කර තිබු අතර ප්‍රධාන ආරාධිතයන් ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හසාන් තිලකරත්න මහතා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් ප්‍රධානි අප්සාරි තිලකරත්න යන මහත්ම මහත්මිහු සහභාගිවූහ.

තරගයේ හොඳම පන්දු රකින්නිය ලෙස සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ ලංකා තිලිණි, හොඳම පන්දු යවන්නිය ලෙස කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ හිරුණි නවෝද්‍ය, හොඳම පිතිකාරිණිය ලෙස ඉනුෂා බස්නායක සම්මාන දිනාගත් අතර තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ කෞෂල්‍යා ලක්ෂානි නම් කෙරිණි.

සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති මේජර් උපුල් කිත්සිරි, කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති පාලිත රාජපක්ෂ යන මහත්වරු තරග සංවිධාන කටයුතු මෙහෙයවීය.

ජයග්‍රාහි කන්තලේ මධ්‍ය මහා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස රසික ජයසේකර හා තුෂාර සම්පත් යන මහත්වරුන් කටයුතු කළහ. ජය සංකේත ප්‍රදානය අවසානයේදී කණ්ඩායම් දෙක සඳහාම ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් උපකරණ කට්ටලය බැගින් ප්‍රදානය කිරීම සිදු විය.

නව අදහස දක්වන්න