බ්‍රිතාන්‍යයෙන් අප ලද නිදහස සම්පූර්ණ වූයේ 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් | දිනමිණ

බ්‍රිතාන්‍යයෙන් අප ලද නිදහස සම්පූර්ණ වූයේ 1972 ජනරජ ව්‍යවස්ථාවෙන්

ඉන්ද්‍රාණි තෝරදෙණිය
ගලගෙදර අධිකරණ සංකීර්ණයේ නාම ඵලකය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිරාවරණය කළ අයුරු

බ්‍රිතාන්‍ය රජයෙන් අප නිදහස ලැබුවත් ඒ නිදහස සම්පූර්ණ වූයේ 1972 මැයි මස 22දා ජනරජ ව්‍යවස්ථාව සම්මත වූවායින් පසුව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගලගෙදර නව මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය පෙරේදා (22) විවෘත කිරීමේ උත්සව සභාව අමතමින් පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා

කන්ද උඩරට මහනුවර රාජධානියේ විශේෂයෙන් ගලගෙදර ප්‍රදේශය ගත් විට ඉතාම සුන්දර පරිසරයක් ඇති ප්‍රදේශයක්. මෙහි ජීවත්වන ජනතාවගේ සුබසාධනය යහපත යුක්ති ධර්මතාව ඉටුකිරීමට කටයුතු කරන අධිකරණ ක්ෂේත්‍රයේ මධ්‍යස්ථානයක් විදියට අද මෙම නව ගොඩනැඟිල්ල විවෘත කිරීම පිළිබඳව සතුටට පත්වෙනවා.

ඒ වගේම අද දවස අපේ රටට ඉතාමත් වැදගත් දවසක්. 1972 මැයි මස 22 දින තමයි අපේ ජනරජ ව්‍යවස්ථාව සම්මත වූ දවස. අපි මැයි 22දා දීර්ඝ කාලයක් අපේ නිදහස් දිනයක් වශයෙන් සමරනු ලැබුවා. අධිකරණ සහ නීති ක්ෂේත්‍රය ගත් විට මේ දවසේ වැදගත්කම 72 ව්‍යවස්ථාව බව පැහැදිළියි. බ්‍රිතාන්‍ය පාලනයෙන් අපි නිදහස ලැබුවත් අපේ රටේ අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දු 72 ව්‍යවස්ථාව සම්මත වනතුරුම බ්‍රිතාන්‍ය සාමි මණ්ඩලයට අභියාචනයක් ඉදිරිපත් කර ඒ පිළිබඳව නැවත තීන්දුවක් ලබාගැනීමට අවස්ථාව තිබුණා.

අපේ රටේ අධිකරණ ක්ෂේත්‍රය සම්පූර්ණ නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී බවට පත්වූයේ 72 මැයි 22දා ව්‍යවස්ථාවෙන්. ඒ වගේම අපි සැමවිටම කතාකරන සමාජ සාධාරණත්වය, මානව හිමිකම්, මූලික ඓතිවාසිකම්, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මේ කරුණු තහවුරු කිරීම සඳහා වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනය අහෝසි කිරීමත් 19 වන සංශෝධනය සම්මත කිරීමත් මේ රටේ පොදු මහජනතාව සමස්ත පුරවැසියන් ලැබූ විශිෂ්ඨතම ජයග්‍රහණයක් බව කිව යුතුයි.

ස්වාධීන කොමිසම් පිහිටුවීමෙන් මේ රටේ සෑම කෙනෙකුටම නීතියේ සාධාරණත්වය සමාජ සාධාරණත්වය නිදහස මූලික ඓතිහාසිකම් මානව හිමිකම් සියල්ල ශක්තිමත් කිරීම සඳහා පදනමක් වැටුණා.

ස්වාධීන කොමිෂන් සභා තවමත් ක්‍රියාත්මක වන්නේ අත්හදා බැලීම් තත්ත්වයක. පසුගිය සතියේ 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් බිහි වූ ස්වාධීන කොමිසම් සභා නවයෙහි ලේකම්වරුන් සහ සභාපතිවරුන් කැඳවා එහි දැනට තිබෙන කටයුතු පිළිබඳව සමාලෝචනයක් කළා. තිබෙන අඩුපාඩු ප්‍රශ්න වැඩ කටයුතු ප්‍රමාදවීමට හේතුවෙන් පවතින බාධා නිරාකරණයට අවශ්‍ය විසඳුම් පිළිබඳව ප්‍රධානීන් සමඟ කතා කළා. මේ පිළිබඳව මගේ නිලධාරීන්ට සහ අදාළ නිලධාරීන් උපදෙස් දුන්නා. ස්වාධීන කොමිසම් සභා කටයුතු වල කරන කාර්යන් කාර්යක්ෂමව විධිමත් කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලාපොරොත්තු වූ අරමුණු කරා යාම සඳහා ඒවා ශක්තිමත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කෙරෙනවා.

ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යතුමා විජේදාස රාජපක්ෂ අමාත්‍යතුමා සහ අගවිනිසුරුතුමා නීති කටයුතු ප්‍රමාදයන් පිළිබඳ සහ සමථ මණ්ඩල ශක්තිමත් කිරීම ගැන පැවැසුවා. එම කරුණු සම්බන්ධයෙන් රජයක් විදියට අපේ සාමූහික වගකීම තුළ එම අඩුපාඩු සකස් කිරීම අත්‍යවශ්‍ය යැයිද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

වි‍ශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා

බ්‍රිතාන්‍ය යුගයේ පටන් ගම්බද අධිකරණ පැවතුණ ගලගෙදර මෙම ස්ථානයේ අද විවෘත වන මහේස්ත්‍රාත් අධිකරණය මෙම ප්‍රදේශයට ඉතාම වැදගත්.

මේ තුළින් පළාතේ ජනතාවට නීති කටයුතු සඳහා මනා පිටුවහලක් ලබාදීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කොට සිටිනවා.

යල් පැනගිය නීති පද්ධති, අනවශ්‍ය නීති රීති අයින් කිරීම විමර්ශනයට ලක් කළ යුතුයි. ගම්බද ජනතාවට බලපාන නීති රීති පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. මේ තුළින් ගැමියන් ඉදිරියට යන අවස්ථා ඇතිවෙනවා. ඉඩම් උරුම, පංගු කට්ටි පිළිබඳ ප්‍රශ්න නිසා කුඹුරු විශාල ප්‍රමාණයක් පුරන්වෙලා. කුඹුරු පනත ගෙනත් බොහෝ කල්. පවතින අලුත් ප්‍රශ්නවලට නීතියේ සහන අවශ්‍යයි. නීති තුළින් නිෂ්පාදනය කෙරෙහි නරක බලපෑම් ඇතිවීමට පුළුවන්. එබැවින් මේ පළාතේ ජනතාවට පහසුවෙන් විසඳාගත හැකි

බුද්ධශාසන සහ අධිකරණ අමාත්‍ය වි‍ජේදාස රාජපක්ෂ මහතා

යුක්තිය සාධාරණය ඉටු කර ජනතාවට උපරිම සේවාවක් ලබාදීම අරමුණය. මෙම වසර දෙකහමාරක කාලය තුළ නව අධිකරණ සංකීර්ණ විශාල සංඛ්‍යාවක් ආරම්භ කළා වගේම නවීකරණයද කරනු ලැබුවා. අපේ රටට ස්වාධීන අධිකරණයක් නෑ කියන චෝදනාව එල්ල වුණා. අපේ රටේ අනෙක් රටවලට නොදෙවෙනි ස්වාධීන අධිකරණ පද්ධතියක් තියෙනවා. නඩු ප්‍රමාදවීම පිළිබඳ චෝදනා එල්ල වෙනවා. සමථ මණ්ඩල ශක්තිමත් කර උතුරු නැ‍‍ඟෙනහිර විශේෂ සමථ මණ්ඩල පද්ධතියක් ක්‍රියාත්මක කොට තිබෙනවා. දීර්ඝකාලීන ඉඩම් නඩු බෙදුම්නඩු පිළිබඳව අවධානය යොමු කොට තිබෙනවා.

අවුරුදු පහට දහයට වැඩි සියලු නඩු සහ අපරාධ නඩු දිනපතා විභාගයට ගැනීම සාර්ථකයි.

රටේ ජනතාවගේ ජීවිතවලට දේපළවලට රක්ෂණයක් ලැබෙන්නේ නීතියෙන්. මේ සඳහා අපි උපරිමයකින් කටයුතු කරනවා යැයිද අමාත්‍යවරයා පැවැසීය.

මෙම අවස්ථාවට මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, අමාත්‍ය නවීන් දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය සාරද මිත්‍රපාල, මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන, අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීන්ද ප්‍රදේශවාසීන්ද විශාල පිරිසක් සහභාගී වූහ.


නව අදහස දක්වන්න