දුප්පත්කමට නව පිළියමක් | දිනමිණ

දුප්පත්කමට නව පිළියමක්

වසන්ත ප්‍රිය රාමනායක

අප රට තුළ මධ්‍යම හා සුළු ව්‍යවසායකත්වය අවම අගයක් ගැනීම හේතුවෙන් රටේ ව්‍යවසායකත්වය රටේ ජනගහනයෙන් 03%ක ප්‍රමාණයක සීමා වී තිබේ. ඊශ්‍රායලයේ මෙම ප්‍රතිශතය 20%ක් තරම් වේ. ඇති නැති පරතරයේ වර්ධනය වැඩි වීමට ද මෙය හේතුවක් වී තිබේ. 2017 දිළිඳුකම පිටුදැකීමේ වර්ෂය ලෙසින් හඳුන්වමින් ශ්‍රමශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාවට නැඟෙමින් පවතින්නේ මේ සාපේක්ෂ දිළිඳුභාවය තුරන් කිරීම උදෙසාය.

දුගී භාවය ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින විශාලතම අභියෝගයක් ලෙසින් සඳහන් කිරීම නිවැරදිය. එය පවතින සාම්ප්‍රදායයික සංඛ්‍යාලේඛනවල සීමාව ද ඉක්මවා යමින් පවතී. එම සංඛ්‍යා ලේඛන දෙස බලන විට නම් පෙනෙන්නේ ශ්‍රී ලංකාව ක්‍රමයෙන් දුගී භාවය අඩුවෙමින් පවතින රටක් ලෙසිනි. ශ්‍රී ලංකාව තුළ ජීවත් වන ජනතාව අතරින් 6.7% පූර්ණ දුගී භාවයෙන් පෙළෙන බව දැනට නිල සංඛ්‍යා ලේඛනවලින් ප්‍රකාශයට පත්ව තිබේ. එය මීට දශකයකට දෙකකට සාපේක්ෂව නම් යහපත් ය. සාමාන්‍යයෙන් දෛනිකව ඩොලර් එකට අඩු ආදායමක් ලබන පිරිස් දුගී භාවයේ නිර්නායකයට අයත් වේ. එහෙත් ඩොලර් 2කට අඩු අගයක් ගත් කල මේ සංඛ්‍යාව සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරනු ඇත. සත්‍ය කතාව ඩොලර් 2කට වැඩි සීමාව තුළ වුවද දුප්පත්කම දක්නට ලැබීම ය.

මීට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ශ්‍රී ලංකාව තුළ ද පළල් වූ ඇති නැති පරතරයක් නිර්මාණ වී තිබීමයි. මේ වන විට රටේ ජනගහනයෙන් 45%ක් පමණ දළ දේශීය නිෂ්පාදිතයෙන් දහයෙන් එකක් භූක්ති විදින විට ජනගහනයෙන් 5%ක ආසන්න ප්‍රමාණයක් දල දේශීය නිෂ්පාදිතයෙන් අඩකඩ ආසන්න ප්‍රමාණයක් භූක්ති විදීමයි. මෙය වෙන විදියකින් සඳහන් කරන්නේ නම් පාන් ගෙඩියකින් 1/2ක් එක් අයෙක් භූක්ති විදින විට අනෙක් 9 දෙනාටම ඉතිරි වන්නේ එක් භාගයකි. ඇති නැති පරතරය හා ධනය බෙදීයෑමේ අසමානතාවය මතු වන්නේ මේ ආකාරයටයි. දුප්පත්කම වැඩි වීමට සම්පත් බෙ දී යෑමේ අසමානත්වය මූලික හේතුවක් වී තිබේ.

ආර්ථික රේස් එක

නව ලිබරල් වෙළෙඳ පොළ ආර්ථිකය සමඟ ඇති කරගන්නා ශීඝ්‍ර සංවර්ධනය තුළ දුප්පතුන් වඩාත් දුප්පත් වීම ස්වභාවිකව වුව ද සිදු වන්නකි. ඊට හේතුව විවෘත වෙළෙඳ පොළ ආර්ථිකය මඟින් ඇති කරනු ලබන තරගයේ දී ප්‍රාග්ධනය අහිමි දුප්පත්කමට ගොදුරු වීමයි. වෙන විදියකින් සඳහන් කරන්නේ නම් ශීඝ‍්‍ර සංවර්ධනයක් අපේක්ෂා කරන විවෘත වෙළෙඳපොළ ආර්ථිකයට දුප්පත්කමේ වර්ධනය ද හේතු වේ. එය සිදුවන්නේ ඉහත සඳහන් කළ පරිදි ඇති නැති පරතරයේ වර්ධනය වීම ද සමඟිනි.

දුප්පත්කමේ ප්‍රශ්නය වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍ය වන්නේ මේ නිසා ය. වරක් හිටපු අමාත්‍යවරයෙක් වූ ලලිත් ඇතුළත්මුදලි සඳහන් කළේ විවෘත ආර්ථික රේස් එකෙන් පසුබසින ජනතාව වෙනුවෙන් රජයේ වැඩ පිළිවෙළක් අවශ්‍ය බවයි.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ ‘ජනසවිය’ වැඩ පිළිවෙළ හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හිටපු ජනාධිපතිනියගේ අවදියේ සමෘද්ධි වැඩ සටහන ක්‍රියාත්මක වූයේ දුප්පත්කමේ ප්‍රශ්නයට විසඳුමක් ලෙසිනි. එහි දී යම් දරිද්‍රතා සීමාවක් සනිටුහන් කර දුප්පතුන් ඉලක්ක කර සහනාධාර පිරිනැමීමක් සිදු විය. එසේ ම ස්වයං රැකියා උදෙසා දුප්පතුන් යොමු කිරීම ද මීට අයත් විය.

පසුගිය දශක දෙකතුන තුළ දුප්පත්කම නැති කිරීමේ ප්‍රධාන ව්‍යාපෘති දෙක ලෙස ජනසවිය හා සමෘද්ධි වැඩ සටහන උපරිම ජනප්‍රසාදයක් හිමි කර ගත් බව පෙනේ. එහෙත් එමඟින් බලාපොරොත්තු වූ අරමුණු සම්පූර්ණයෙන් ම සපල වුවාද යන්න ප්‍රශ්නයකි. ඊට හේතුව පසු කලෙක ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ සිට සෑම ක්‍රියාශීලි වැඩ සටහනක දී ම ඊට අදාළ පාලක පක්ෂයේ දේශපාලනය මුසුවී තිබිමයි. විශේෂයෙන් ම සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ ප්‍රතිශතය 40% - 35%ක් පමණ වන විට දුප්පත්කමේ අනුපාතය ඊට වඩා බෙහෙවින්ම පහළ අගයක් ගැනීමයි.

සමෘද්ධි ප්‍රශ්නය

උදාහරණයක් වශයෙන් සංඛ්‍යාලේඛනවල අඩංගු පරිදි දුප්පත්කමේ අනුපාතය ජනගහනයෙන් 6.7% වන විටත් සමෘද්ධිලාභීන්ගේ සංඛ්‍යව 30%ක් 25% ලෙසින් වාර්තා වීමයි. හැමදාම මෙම ප්‍රතිශතයේ ප්‍රශ්නයක් පැවැතුණි. එක්කෝ දුප්පතුන්ගේ ප්‍රතිශතය තවත් වැඩි විය යුතුය. නැතිනම් සමෘද්ධි හෝ දිවි නැගුම සහනාධාර ලබන්නන් ගේ ප්‍රතිශතය තවත් අඩු විය යුතුය. එ් නිසා මේ වාර්ගීකරණ දෙකම අවුල් සහගතය. සැබෑ දුප්පතුන් සොයන විද්‍යාත්මක සමික්ෂණයකින් මීට විසඳුම් සොයාගත හැකිය. එ් ගැන එතරම් උනන්දු නොවන්නේ යම් ප්‍රතිශතයකට සමෘද්ධි දීමනාව අහිමි කිරීමක් සිදු වුවහොත් එය බලයේ සිටින රජයට දේශපාලන ප්‍රශ්නයක් විය හැකි වන නිසාය. එසේ ම එම තීන්දුව විපක්ෂය විසින් රජයට එරෙහිව දේශපාලන තුරුම්පුවක් කරගත හැකි නිසා ය.

එහෙත් සමෘද්ධි හෝ ජනසවිය වැඩ සටහන මේ රටේ දුප්පත්කම අඩු කිරීමට හෝ වර්ධනය වීම පාලනය කිරීමට හේතු නොවූ බවක් මින් අදහස් නොවේ. මේ දෙකම සිදුවිය. එහෙත් මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන විශාලතම අභියෝග එය නොවේ. ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන විශාලතම අභියෝගයක් වන්නේ පවත්නා සාපේක්ෂ දුගී භාවයයි. මෙකි තත්ත්වය රටේ ප්‍රගතිශිලී සංවර්ධනය තුළ කියැවෙන ආර්ථික, සමාජයීය හා සංස්කෘතික ප්‍රගමනයට මෙන් ම මානව අභිමානය පදනම් කරගත් පුද්ගල සංවර්ධනය කෙරෙහි ද අභියෝගාත්මකව බලපෑම් ඇති කොට තිබේ. මේ නිසා දුප්පත්කම පිළිබඳව අප කතාබහට ලක් කරන සාම්ප්‍රදායික මිනුම්දඩු සංඛ්‍යාත්මක දත්ත හා ප්‍රතිශත පවා වෙනස් වේ. එ් සියල්ල පවතින වෙළෙඳ පොළ ආර්ථික සංවර්ධනය උලූප්පා දැක්වීමට ගෙන එනු ලබන නිර්නායක බවට පත්ව ඇත.

එ්ක පුද්ගල ආදායමේ වැඩිවීම ආර්ථික සංවර්ධනයේ එක් නිර්නායකයක් වුව ද එමගින් දුප්පත්කමේ ප්‍රශ්නයට විසඳුමක් ලැබී නැත. එ්ක පුද්ගල ආදායම වැඩි වන ප්‍රමාණයට දුප්පත්කම අඩුවන බවක් නොපෙනේ. ඊට හේතුව ඇති නැති පරතරයේ ද වර්ධනයක් දක්නට ලැබීම ය.

මේ සියල්ල සම්බන්ධයෙන් සමාලෝචනයක යෙදෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සමයේ දුප්පත්කමේ ප්‍රතිශතය සම්බන්ධයෙන් වැදගත් ප්‍රකාශයක් කරනු ලැබීය. එනම් ශ්‍රී ලංකාවේ දුප්පතුන්ගේ අනුපාතය 20% - 25%ක් තරම් වන බවය.

ජනපති මතය

අඩු ආදායම්ලාභීන් පමණක් නොව කම්කරු ශ්‍රේණිය ආදී පහළ ශ්‍රේණිවල වැටුප් ලබන අයද දුප්පතුන්ගේ ගණයෙහිලා සැලකිය හැකි බවක් එතුමා සඳහන් කළේය. මෙය නායකයකු විවෘතව කළ රැඩිකල් ප්‍රකාශයකි. ජීවන වියදම හා පවතින භාණ්ඩවලට සාපේක්ෂව දුප්පත් කමේ අනුපාතය වැඩි වන බව ද එතුමා නොකියා කියන සත්‍යයයි. මෙහි සරල තේරුම ජීවන මට්ටමට සාපේක්ෂව මිල දී ගැනීමේ හැකියාව හා ආදාායම් මාර්ග නොමැතිකමයි. මේ නිසා විවෘත ආර්ථිකයක් තුළ දුප්පත්කමේ ප්‍රශ්නයට පිළිතුරු සෙවිය යුත්තේ අඩු ආදායම්ලාභීන්ගේ ආදායම් මට්ටම නඟා සිටුවමිනි.

ශ්‍රමශක්ති ව්‍යාපාරය

අප රට තුළ මධ්‍යම හා සුළු ව්‍යසායකත්වය අවම අගයක් ගැනීම හේතුවෙන් රටේ ව්‍යවසායකත්වය රටේ ජනගහනයෙන් 03%ක ප්‍රමාණයක සීමා වී තිබේ. ඊශ්‍රායලයේ මෙම ප්‍රතිශතය 20%ක් තරම් වේ. ඇති නැති පරතරයේ වර්ධනය වැඩි වීමට ද මෙය හේතුවක් වී තිබේ. 2017 දිළිඳුකම පිටුදැකීමේ වර්ෂය ලෙසින් හඳුන්වමින් ශ්‍රමශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාවට නැඟෙමින් පවතින්නේ මේ සාපේක්ෂ දිළිඳුභාවය තුරන් කිරීම උදෙසාය. මේ සඳහා දිරිමත්ම සවිමත්ව, විධිමත්ව, සංවිධානය වී දිළිඳුකමින් මිදීමේ උපායමාර්ගයකට ශ්‍රී ලාංකීය ජනතාව යොමු කෙරේ.

මේ සඳහා ක්‍රියාත්මක වන වැඩසටහන් ග්‍රාම සේවා වසම දක්වා පහළ මට්ටමට ගෙනයෑමට ශ්‍රම ශක්ති ජනතා ව්‍යාපාරය කටයුතු කරමින් සිටී. එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදහසකට අනුව ක්‍රියාත්මක කිරීමට පටන් ගෙන තිබෙන ජනතා ව්‍යාපාරයකි. මෙමඟින් ගමේ සංවර්ධන කටයුතු උදෙසා තීරණ ගැනීමේ බලය දුප්පතුන් බහුතරයක් නියෝජනය කරන ගමේ ජනතා සමාගමට ලැබේ. කෙළින් ම රජය මහාභාණ්ඩාගාරයෙන් ගමට වෙන් කරනු ලබන මුදල ගමේ පිහිටුවා ඇති ශ්‍රමශක්ති ජනතා සමාගම මගින් යෝජිත ව්‍යාපෘති ඔස්සේ ගමට ලැබේ. මේ වන විටත් ‘ගැමිදිරිය’ වැඩ සටහන යටතේ ක්‍රියාත්මක වෙමින් පවතින ජනතා සමාගම් 2040ක් මේ වසරේ යාවත්කාලින කර ශ්‍රම ශක්ති ජනතා ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනේ.

එය දුප්පත්කම පිටුදැකීමේ නව වැඩ පිළිවෙළට හොඳ අත්දැකීම් සහිත පසුබිමක් සකසා දෙනු ඇත. අදාළ ව්‍යාපෘති සඳහා තෝරාගත් ග්‍රාම සේවා වසම් තුළ ජීවත් වන එක් අයෙකුට රු. 8000/=ක් වෙන් වන පරිදි ගමට අවැසි අරමුදල සැකසේ එසේ ම මෙම වැඩ පිළිවෙලේ දී අදාළ ජනතා සමාගම් ලබා ගන්නා ප්‍රගතිය මත වාර්ෂික අරමුදල් නිදහස් කිරීම සිදු වනු ඇත. 2020 වන විට නව ‘ග්‍රම ශක්ති වැඩ සටහන’ යටතේ ප්‍රජාපාලිත ග්‍රාම සේවා වසම් 5000ක් ඇති කිරීමත් අදාළ ග්‍රාමසේවා වසම්වල ජනගහනයට සාපේක්ෂාව එක් පුද්ගල රාජ්‍ය ආයෝජනයක් ග්‍රාම සංවර්ධනය අරමුදලක් ලෙසින් වසර 4ක කාලයක් සඳහා ලබාදීමට ද මෙම වැඩ පිළිවෙළ මගින් කටයුතු යොදා ඇත. මෙමගින් අපේක්ෂිත අරමුණ වන්නේ දුප්පත්කමේ ප්‍රශ්නයට ඍජුවම දුප්පතුන් සහභාගි වන සුළු හා මධ්‍ය ප්‍රමාණයේ ආයෝජන ව්‍යාපෘති ගමේ ක්‍රියාත්මක කිරීම මගින් විසඳුම් ලබාදීමටයි එය වඩාත් ප්‍රායෝගික බව ‘ගැමිදිරිය’ වැඩ සටහන මගින්ද තහවුරු වී තිබේ. මේ නිසා ‘ගැමි දිරියේ’ අත්දකීම් මේ සඳහා පාදක කර ගැනේ.

ප්‍රාෙයා්ගික විසඳුම්

කෙලින්ම ගමට මුදල් යන දුප්පතුන් ඉලක්ක කරගත් මෙවන් වැඩ සටහනකින් තොරව දුප්පත්කමේ ප්‍රශ්නය විසඳුම් සෙවීමට නොහැකි බව මේ රටේ දේශපාලනය කරන අය තේරුම් ගෙන තිබීම ද වැදගත් ය. එම ජන විඥාන ග්‍රහණය වත්මන් රජයට කාන්දු වී තිබෙන්නේ ගැමි සුවඳ හඳුනන ජනාධිපති මෛත්‍රී වැනි නායකයෙක් නිසා බව අමුතුවෙන් කිව යුතු නැත. මේ නිසා මේ රටේ දුප්පත්කමේ ප්‍රශ්නය විශේෂිත කෝණයකින් ප්‍රායෝගිකව හඳුනා ගැනීමට හැකි වී තිබේ. ග්‍රමශක්ති ජනතා ව්‍යාපාරය මගින් ඊට අවැසි ප්‍රායෝගික විසදුම් ලැබී ඇත. 2017 එ් සඳහා කැපවන ආරම්භක වසර බවට පත්ව ඇත. රජයේ ජාතික හා ප්‍රාදේශීය දේශපාලන නායකත්වයේ වගකීම වන්නේ මෙය තවත් නිලධාරිවාදී ව්‍යාපෘතියක් නොවීමට වගබලා ගැනීමය.

නව අදහස දක්වන්න