අලුත් පරපුර ඝෝෂකයන්ගෙන් ගැලවෙන්න ඕන | දිනමිණ

අලුත් පරපුර ඝෝෂකයන්ගෙන් ගැලවෙන්න ඕන

ප්‍රවීණ ලේඛක සේන තෝරදෙනිය

තමන් තුළ වූ විශිෂ්ට ලේඛන කුසලතාව උපයෝගී කර ගනිමින්, සාර්ථක නවකතාවක චරිතවලට පණ දෙන්නට, ඔහු සැබෑම දක්ෂයෙකි. දීර්ඝ කාලීන පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙවර ඔහු නිර්මාණය කර ඇත්තේ ද එම නිසඟ හැකියා‍ව ඔප් නැංවෙන අපූර්ව කෘතියකි. 'හඳුන්මල් කඩුල්ල' නම් වන එය පිළිබඳ, කතුවරයා සමඟ කෙරුණු පිළිසඳරකි මේ.

මගේ ඕනෑම නවකතාවක භාෂා භාවිතය ගැන මා බොහොම සැලකිලිමත්. මීට පෙර ලියූ නවකතාවලදිත්, ගැමි වහර පමණක් නොවෙයි, සම්භාව්‍ය සිංහල සාහිත්‍ය බස් වහරත් මා යොදාගෙන තියෙනවා. “හඳුන්මල් කඩුල්ල” නවකතාව ගත්තොත් එයින් නිරූපණය වන වැඩි දෙනා ගැමියන්. ඔවුන් කතා කළ යුත්තේ ඔවුන්ට හුරු බසකින්.

'හඳුන්මල් කඩුල්ල' වැනි නවකතාවක් ලිවීමට මුල් වූ අත්දැකීම පිළිබඳ කතා කළොත්?

මහනුවර දිස්ත්‍රික්කයේ පාත දුම්බර ඉඳන් 1913දී නුවර කලාවියට හා තෝපාවැවට වට වන්දනාවේ ගිහින්, මරණයට පත් වූ වන්දනාකරුවෙක් ගැන මට අහන්න ලැබුණෙ මං ඉතාමත් ම කුඩා කාලයේදීයි. මට අහන්න ලැබුණෙ වන්දනාකරු මියගියා කියන කරුණ පමණයි. මියගියේ කොහොමද? පසුව කුමක් සිදුවුණාද? කියන කරුණු ගැන අදහසක්, අවබෝධයක් තිබුණෙ නෑ. කාලෙත් එක්ක මේ සිද්ධිය සහමුලින් ම වැළලී ගියා. කවුරුත් ඒ ගැන කතා කළේ නැති වුණත්, කාලාන්තරයක් තිස්සෙ මේ දෙය මගේ ඔළුවෙ තිබුණා. මේ සිද්ධිය නවකතාවක් විදිහට ලිවීම මා ආරම්භ කළේ 1997දි. ඉන් පසුව 2010, 2012,2013 වගේ අවුරුදුවල මේ නවකතාව ටිකෙන් ටික ලියැවුණා.

ඒත් එක්ක ම මේ නවකතාව ලිවීමට අවශ්‍ය පර්යේෂණ කටයුතුවල වගේ ම, ක්ෂේත්‍ර චාරිකාවලත් මා යෙදුණා. වන්දනාකරුවන්ට ඇතිවන වෙහෙස, දුෂ්කරතාව මා මේ නවකතාවෙන් විස්තර කරන්නට උත්සාහ කළේ නෑ. කෙතරම් බාධක ඇති වුණත්, වන්දනා ගමන සාර්ථකව නිමා කිරීමේ උතුම් අරමුණ තමයි වන්දනාකරුවන් තුළ තියෙන්නේ. කරත්ත මඟින් අතීතයේ වන්දනා ගමන් ගිය තොරතුරු අඩංගු කිසි ම මූලාශ්‍රයක් මට හොයාගන්න බැරි වුණා. පැරැණි වන්දනාකරුවන් ඒ විදිහට වන්දනාවෙ ගියා කියන අදහස විතරයි මට තිබුණෙ. ඒ පිළිබඳ විස්තර දැනගන්න, අනුරාධපුර ප්‍රදේශයේ වැඩිහිටියො කිහිප දෙනෙක් මම මුණගැහුණා. ඒත්, ඒ අයටත් මම දන්න දේවලට අමතරව විශේෂ දෙයක් කියන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. බොහොම සරල දේ තමයි ඒ අයගෙන් දැනගන්න ලැබුණේ.

මේ නවකතාව 1910 ඉඳන් 2000 දක්වා වූ දීර්ඝ කාල පරාසයක, සමාජ, ආර්ථික, දේශපාලන තොරතුරු හෙළිදරව් කිරීමට යොදා ගැනීමේ මුඛ්‍ය පරමාර්ථය කුමක්ද?

මේ නවකතාව වන්දනා ගමනක් ආශ්‍රය කරගත්තා වුණත්, මේ තුළ අන්තර්ගත වෙලා තියෙන්නේ, වන්දනා ගමනක් විස්තර කිරීමක් නෙමෙයි. එහෙම නම් මා මේ සඳහා ඇතුළත් කරන්නෙ නටබුන් නගර ගැන විස්තර. මේ වන්දනා ගමනට බද්ධ කරමින් යටත් විජිතවාදයට එරෙහි විමුක්ති අරගලය, යටත් විජිතවාදීන් මර්දනය, යටත්විජිත පාලනය මඟින් ගෙනා ජනතා විරෝධී අණ පනත්, මහනුවර, මාතලේ, නුවර කලාවිය, තමන්කඩුව වගේ ප්‍රදේශවල ජනතාව විඳි වේදනා සහ යටත්විජිත නිලධාරින්ගේ දරදඬුකම් ගැන වගේ ම, ජනතාව තුළ මේ පාලනයට එරෙහිව නැඟුණු විරෝධය මේ නවකතාව මඟින් ඉදිරිපත් කිරීම තමයි පරමාර්ථය වුණේ.

එහිදී, දීර්ඝ කාල පරාසයක සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික තොරතුරු රාශියක් අනාවරණය වෙනවා. උඩරට සමහර නිලමක්කාරයන්ගේ පරගැති භාවය උපහාසයට ලක් කරනවා. උදාහරණයක් විදිහට බ්‍රිතාන්‍ය කුමාරයා ලංකාවට එනවිට පිළිගැනීමට කළ සූදානම හා සැරසිල්ල දක්වන්න පුළුවන්.

'හඳුන්මල් කඩුල්ල' දීර්ඝ කාලීන පර්යේෂණයක ප්‍රතිඵලයක් බවයි පෙනෙන්නේ . ඒ පර්යේෂණය සිදු වූ ආකාරය ගැන දැනගන්න කැමැතියි.

මේ නවකතාව ලිවීමේදී මට බොහෝ තොරතුරු සොයා ගැනීමට සිද්ධ වුණා. බ්‍රිතාන්‍යයන්ගෙ වගේ ම, සිංහල ඉතිහාසඥයන්ගෙ මුද්‍රිත ලේඛන රාශියක් මා කියෙව්වා. ඒත් ඒවා ප්‍රයෝජනවත් වූණේ පදනම් කරුණු සඳහා විතරයි. පසුව මා කොළඹ හා මහනුවර රාජ්‍ය ලේඛනාගාරයේ ඇති, මුද්‍රණය නොකරන ලද ලේඛන රාශියක් පරිශීලනය කළා. යටත් විජිත දිසාපතිවරුන්ගෙ වගේ ම උපදිසාපතිවරුන්ගෙ දිනපොත් විශාල ප්‍රමාණයකින් කරුණු රැස්කර ගත්තා.

එය ඇත්තෙන් ම බැරෑරුම් කටයුත්තක්. ඒ සඳහා මට මාස ගණනක් ගතවුණා. මේ වන්දනා ගමන ගැන අදහසක් ලබාගන්න, පහත දුම්බර, මාතලේ, නුවර කලාවිය, තෝපාවැව වගේ තවත් බොහෝ ප්‍රදේශවල මා ක්ෂේත්‍ර චාරිකාවල යෙදුණා. ඒ ප්‍රදේශවල ජනතාව මුණගැහුණා. ජනප්‍රවාද ගැන අහලා දැනගත්තා. රජරට ප්‍රදේශයේ ජීවත් වුණු ගැමියකුගෙ මාර්ගයෙන් එහි ජනවහර ගැන අවබෝධයක් ලබා ගත්තා. මේ කෘතිය, ඇත්දත් මාලිගාවක ඉඳන්, කොම්පියුටරෙන් කොට කොටා ලියූ නවකතාවක් නෙවෙයි.

ඉංග්‍රීසි පාලනයේ විනාශකාරී බව, අපේ උරුමය, සමාජ ක්‍රමය, අනන්‍යතාව සුමටව ඉදිරිපත් කරන අතර ම ඒ කිසිවක් ප්‍රබන්ධයේ රසයට හානිදායක නොවීමට, ඔබ යොදාගත් විශේෂ උපක්‍රම යොදාගෙන තිබෙනවා. ඒ පිළිබඳ කතා කළොත්?

මේ සඳහා යොදාගත් උපක්‍රම රාශියක් ම තියෙනවා. එකක් තමයි මේ වන්දනා ගමනේ තේමාවේ තියෙන නැවුම් බව. දෙවනුව මේ විස්තර කරන ප්‍රදේශ පාඨකයාට අලුත් වුණත්, මේවා පෙන්නුම් කර ඇති ආකාරය හේතුවෙන් පාඨකයාට ඉතාමත් සමීප වන බවක් දැනෙනවා. ඒ නිසා ම, පාඨකයාට මේ පුවත් සමඟ අනන්‍ය වෙන්න පුළුවන්. සමීප වෙන්න පුළුවන්. තවත් කරුණක් තමයි, සුවිශේෂ වූ ආඛ්‍යානය. ගමන් ක්ෂේත්‍ර දෙකක, වන්දනා ගමන් දිස්වන බව පාඨකයාට වැටහෙනවා.

මේ වන්දනා ගමන් දෙක දෙයාකාරයකට අවසන් වන බවත් පාඨකයාට පෙනෙනවා. මෙහි උක්කු බණ්ඩාර කියන චරිතයේ මරණය ගැන හොයන චරිත මිය යන්නේ, මේ මරණය කෙලෙස සිදු වුණාද කියා නොදැනයි. අවසානයේ ප්‍රශ්නය දිගහැරෙන්නෙ බ්‍රිතාන්‍ය දඩයක්කාරයකු එවූ ලියුමකින්. එවැනි දේ තමයි, කතා රසය රඳවා ගන්න මම යොදා ගත්තේ.

ඊට අමතරව මේ වන්දනා ගමනට සූදානම් වුණු ආකාරය, පැරැණි ගම් නායකයන්ගේ ප්‍රඥාව, ඔවුන්ගේ තීරණ ගැනීමේ ශක්තිය, ඔවුන් විවිධ සංසිද්ධි විශ්ලේෂණය කරන ආකාරය, ඔවුන්ගේ නායකත්ව භූමිකාව, සංවාද කලාව මේ නවකතාවෙන් පෙන්නුම් කෙරෙනවා. ඒ වගේ ම, මා මේ නවකතාව ලිවීම සඳහා යොදාගත් භාෂාවත් මේ කෘතියේ නිර්මාණාත්මක බව වැඩි කිරීමට හේතු වුණා.

අතීත දේශපාලනයේ දී අපට වැරැදුණු තැන් 'හඳුන්මල් කඩුල්ල' මඟින් විමර්ශනාත්මක ලෙස ඉදිරිපත් කෙරෙනවා. ලේඛකයකු විදිහට ඔබ එවන් කරුණු දෙස විමර්ශනාත්මකව බැලීමට හේතු වුණු කරුණු මොනවාද?

මා අනුදත් සාහිත්‍ය හා කලාවේ අරමුණු, ලේකඛයකු වශයෙන් මගේ දේශපාලන දෘෂ්ටිය, එම දැක්ම, සාහිත්‍ය නිර්මාණයක දී විහදා පෑ යුතු ආකාරය නිසා තමයි ඒ දේ සිද්ධ වෙන්නෙ. මා කියන්නෙ ලේඛකයා අනාවරණය කරන්නෙක් වගේ ම, වර්ණනා කරන්නෙක්. එය මගේ සාහිත්‍ය විචාරයේ දි බලපාන දෙයක්. ධර්මතාවක්.

මේ කෘතිය රචනයේදී, වරෙක ගැමි වහරේ ආභාෂය ලබන්නටත්, තවත් වරෙක අලුත් යෙදුම් නිර්මාණය කරන්නටත් ඔබ කටයුතු කර තිබෙනවා. ඒ පිළිබඳ කතා කළොත්?

මගේ ඕනෑම නවකතාවක භාෂා භාවිතය ගැන මා බොහොම සැලකිලිමත්. මීට පෙර ලියූ නවකතාවලදිත්, ගැමි වහර පමණක් නොවෙයි, සම්භාව්‍ය සිංහල සාහිත්‍ය බස් වහරත් මා යොදාගෙන තියෙනවා. “හඳුන්මල් කඩුල්ල” නවකතාව ගත්තොත් එයින් නිරූපණය වන වැඩි දෙනා ගැමියන්. ඔවුන් කතා කළ යුත්තේ ඔවුන්ට හුරු බසකින්. ව්‍යාජ, කෘත්‍රීම බසකින් නෙමෙයි. මේ අය ගැමියන් වුණත්, උගතුන් වශයෙන් ඔවුන් ශාස්ත්‍රී දෙයක් ගැන කතා කරද්දි, ඔවුන්ගේ භාෂාව වෙනස් වන ආකාරය හඳුන්මල් කඩුල්ලෙන් පෙනෙනවා. ඒ හැරුණු විට නාගරික අංශයේ බස් වහර තවත් වෙනස්.

නගරයේ ආශ්‍රය ලැබුණත්, තමන්ගෙ මුල් භාෂාවෙ මූලයන් රැක ගන්නා අයත් මේ නවකතාවෙන් පෙන්නුම් කරනවා. සුදු ජාතිකයන් ඉන්නවා. ඔවුන් කතා කරන්නෙ ඉංග්‍රීසියෙන්. ඒ වුණත්, ඒ බව දැක්වෙන්න මා ඔවුන්ගේ භාෂාව වෙනස් ආකාරයකින් පෙන්වලා තියෙනවා. ගැමියන් සුදු පාලකයන්ට ඉදිරිපත් කරන පෙත්සම්වල භාෂාව තවත් වෙනස් ස්වරූපයක් ගන්නවා.

එය ඇත්තෙන් ම මහා ධීන භාෂාවක් වුණත්, අපේ මහ නායක හාමුදුරුවරු පවා සුදු පාලකයන්ට පෙත්සම් යවා ඇත්තේ මේ භාෂාවෙන්. ඒ වගේ ම, එකල පළ වූ දැන්වීම්, පුවත්පත්වල තොරතුරු, ප්‍රවෘත්ති වගේ හැම දේකම භාෂා විවිධත්වයක් මෙයින් පෙන්වනවා. එකල කවිවල භාෂාව වෙනස්. දිසාපති එනවිට පිළිගන්න හදාගත්තු සිංදුවක් පොතේ සඳහන් වෙනවා. ඒකට යොදාගෙන තියෙන්නෙ තවත් විදිහක භාෂාවක්.

ඒ ආකාරයට භාෂා විවිධත්වයක් මෙයින් පෙන්වනවා. 'හඳුන්මල් කඩුල්ල' මේ භාෂා භාවිතයේ ඇති විවිධතා වගේ ම සංකීර්ණතා රැසක භාෂාත්මක ගවේෂණයක් විදිහටත් දකින්න පුළුවන්. මේ වන්දනාව පිටත් වීමට පෙර නඩේ ගුරා අවසාන වතාවට වන්දනා නඩයට උපදෙස් දෙන ආකාරය දිහා බැලු විටත් දකින්න තියෙන්නෙ අමුතු ම භාෂා ශෛලියක්.ඒ වගේ ම ඒ අය සහභාගි වන වන්දනාවෙ සංවාදවලදි භාෂාව යොදාගන්නා ආකාරය වගේ තැන්වල මේ භාෂා විවිධත්වය දකින්න පුළුවන්.

අලුතින් බිහිවන බොහොමයක් නවකතා මඟින්, පාඨකයා තුළ කියවීමේ රුචිකත්වය වර්ධනය කෙරෙන්නේ අඩුවෙන්. එසේ වීමට හේතුව කුමක්ද?

මට දැනෙන ආකාරයට ඒක ආඛ්‍යානය පිළිබඳ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නවකතාවේ අන්තර්ගතය හා කලාත්මක ස්වරූපය අතර ඒකමිතියක් ඇති කිරීමේ ගැටලුවක් වෙන්නත් පුළුවන්. තුන් වෙනුව, එය භාෂා භාවිතයේ පවතින දුර්වලතාවක් වෙන්න පුළුවන්. යමෙකු නිර්මාණකරුවකු වීමට පෙර, හොඳ පාඨකයකු විය යුතු බව, ඒ වගේ ම මට හැඟෙන තව දෙයක්.

එක එක පාඨකයාගේ කියවීමේ ශෛලිය වෙනස්. කියවීමේ වේගය වෙනස් . එකිනෙකා කියවන්නේ විවිධ අරමුණු මුල් කරගෙන.පොතක් කියවිය යුත්තේ පොතක් ඉවර කරන්නට ම නෙවෙයි. වැදගත් ම දේ, එය ග්‍රහණය කර ගන්නා ආකාරයයි. කියවීම වෙනස් ම ශිල්පීය ක්‍රමයක් වගේ ම, ප්‍රගුණ කළ යුතු නිපුණතාවක්.

නවකතා නිර්මාණයේ දී නව නිර්මාණකරුවන්ගේ නිර්මාණ ගැන ඔබේ අදහස කෙබඳුද?

මා නව නිර්මාණ කරුවන්ගෙ නිර්මාණ කියවනවා. සමහරක් ගැන විචාර ලියලත් තියෙනවා. බලාපොරොත්තුවක් තියන්න පුළුවන් විදිහෙ ලේඛකයො මතු වන බවකුත් පෙනෙනවා. ඒ නිසා නවකතාකරණයේ අඛණ්ඩත්වය රැකෙන බවක් තමයි පේන්න තියෙන්නෙ.

ඒ හැරුණු විට, නව නිර්මාණකරුවන්ගේ නිර්මාණ සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී දේත් තියෙනවා. කවියො, කෙටිකතාකරුවො, නවකතාකරුවො ඇතුළු තරුණ නිර්මාණකරුවන් එක එක බල කේන්ද්‍රවලින් මිදිලා, ඒ අය විදග්ධයන් කියලා සලකන පුහු ගෝෂාකාරයන්ගේ, ව්‍යාජ න්‍යායාචාරීන්ගේ කක්ෂයෙන් මිදිලා, ස්වාධීනව කටයුතු කරන්න ඕනෙ. ඔය ෆේස්බුක් ජාලය තුළ තියෙන ලයික් කිරීම්, ෂෙයා කිරීම් නම් නිර්මාණ ඇගැයීමක් නෙමෙයි.

සාහිත්‍ය කැකුළුවලට ස්වාභාවිකව පිපෙන්න ඉඩ හරින්න ඕනෙ. කාගෙවත් බලපෑමෙන් ඒවා පුබුදුවන්න බෑ. පරවි සංදේශයේ කවියක තියෙන්නෙ, “රත්සර කැකුළකට - තුඩ දී හසෙකු මොල” කියලා. සාහිත්‍ය කැකුළු බලහත්කාරයෙන් පුබුදු කරන්න වෙර දරන එකත් රත්සර කැකුළකට තුඩලන්නට යන චණ්ඩ පරුෂ හංසයකුගෙ වැඩකට සමානයි. ඒවා ස්වාභාවිකව පිපෙන්න හරින්න ඕනෙ.

කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න