කෙතක මහිම ජ්‍යොතිෂය | දිනමිණ

කෙතක මහිම ජ්‍යොතිෂය

තෙරිපැහැ අරියවංශ කීර්තිසිංහ

ශ්‍රී ලංකාව ගොවිජන සමාජයකට උරුමකම් කියන රටකි. පුලතිසි, රාවණා යුගයේ සිට වසර පන්දහසකට අධික ප්‍රෟඪත්වයකින් හෙබි අභිමානවත් ඉතිහාසයකින් යුක්තය. යක්ෂ, නාග, දේව ගෝත්‍රික ආදිවාසි යුගාන්ත පසුකරමින් පැවත ආ මෙරට මහින්දාගමනයෙන් පසු එළි දැක්වුණු සිංහල ‍ශිෂ්ටාචාරය බෞද්ධ සංස්කෘතියේ ආභාසයෙන් පෝෂණය විය.

එකල සිට ජ්‍යෝතිෂය පාරම්පරික වෙදකම, ආයුර්වේදය, ගුප්ත විද්‍යාව වැනි විෂයානුබද්ධ කරුණු සිංහල බෞද්ධ සංස්කෘතිකාංග බවටම පත්විය. පෙර රජ දවස විවිධ ආක්‍රමණිකයන්ගේ අතවරයන්ට අපරට ගොදුරු වුවත් අපගේ දේශීයත්වය නොනැසී පවතී. ඒ අතර ජ්‍යෝතිෂය වසර ගණනාවක් තිස්සේ නොකිළිටිව පාරම්පරික පරවේණී උරුමයක් ලෙස ආරක්ෂා කරගැනීමට අපගේ මුතුන්මිත්තන් සමත් වී ඇත.

ඔවුහු කෘෂිකාර්මික දිවිමඟට හුරුපුරුදු අය වූහ. වර්තමානයේ මෙන් අතීතයේ තාක්ෂණික, කෘෂිකාර්මික මෙවලම් මෙන්ම ජීව විද්‍යාත්මක කෘෂි රසායන නොතිබිණි.

නමුත් මුතුන් මිත්තෝ අල, බතල, කොස්, දෙල්, පොල්, වී,කුරක්කන් ආදී ධාන්‍යාදියෙන් පෝෂිතව දිවි ගෙවූහ. මහා ඝන වනාන්තර, ලඳු කැලෑ එළි පෙහෙළි කර ගොවිබිම් සකසා ගත යුතුවිය. එහිදී අලි, ඇතුන්, කුළු හරකුන් වැනි රුදුරු වන සිවුපාවුන් මෙන්ම විෂ ඝෝර සර්පයන්ගෙන්ද ආරක්ෂා විය යුතු විය.

මෙවැනි විපත්වලින් ආරක්ෂා වීමටත් තම ගොවිතැන් සාර්ථක කරගැනීමටත් විවිධ පාරම්පරික, ශාස්ත්‍රීය ක්‍රම භාවිතා කර තිබේ. විශේෂයෙන් මෙවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා ජ්‍යොතිෂ ශාස්ත්‍රීය ඉන්ද්‍ර ගුරුළු, යම කාල , සිවා ලිඛිත, පංච පක්ෂි වැනි නැකැත් ක්‍රම, නිමිති කෙම් ක්‍රම ජ්‍යොතිෂ වේදයට අනුව භාවිතා කර ඇත.

මෙම නැකැත් ක්‍රම අනුව නන්දා තිථිය, සිංහ කරණ, දිවිකරණ වැනි කරණ අළලා නියමිත ශාස්ත්‍රානුකූලව අදාළ කෙම්, පහන් ක්‍රම අනුගමනය කර ගොවිබිම්වල වැට සිටවීම, බීජ වැපිරීම, පැළ රෝපණය කළ යුතුය. එමෙන්ම සී සෑම වැනි කටයුතු ද ශාස්ත්‍රානුකූලව කිරීමෙන් එම ගොවිබිම් ආරම්භයේ සිට අවසානය දක්වාම අලි, ඇතුන් ගව, මුව ආදී සතුන්ගෙන් උවදුරු ඇති නොවේ.

මා නැකත යෙදෙන සිකුරාදා දින නියමිත ශාස්ත්‍රීය ක්‍රම අනුගමනය කර මී මුල් ගලවා යට කිරීමෙන් මීයන් වැනි සතුන්ගෙන් හානි ඇති නොවේ. වායු කාරක පිටත් නැකතින් පඹයන් එල්ලීමෙන් පක්ෂීන්ගෙන්ද පහන් දැල්වීමෙන් කෘමි සතුන්ගෙන්ද වගාවට හානි ඇති නොවේ. යම කාල යම දිෂ්ඨි නැකතින් වැලි අබ මතුරා ඉසීමෙන් පණුරෝග හට ගැනීමෙන්ද වළකී.

ඇස් බැන්දුම නැකැත්වලින් කෙත් ආරක්ෂා කිරීමෙන් ඒ කෙතට උඩින්, යටින්, සතර දිසා, අට දිසාවෙන් එන කිසිදු සතකු නොපැමිණේ. විශේෂයෙන් රාහු කේතුට අයත් වසභ නැකතින් රාක්ෂ, ගණ පිහිටා කරුවල පෝය දින දිවි හිස කඳුරු ලීයේ ඇඳ කෙත මැද සිටුවීමෙන් ඒ කෙත අස්වනු නෙළන තෙක් ගව මහීසාදී සියලු සතුන්ගෙන් උවදුරු ඇති නොවේ. සා, සියාවස වැනි වායු කාරක නැකැත් යෙදෙන දිනයන්හි පොල්පිති පුළුස්සා ගත් අළුවලට ගම්මිරිස් කොළ, කොහොඹ කොළ සමඟ ලුණු වනේ ලා කොටා අළු සමඟ කලවම් කර තත්කාලීන කේන්ද්‍රයේ අඟහරු පිහිටුවා වෙලට ගැසිය යුතුය. එමගින් ගොයම් ඉතාමත් සරුසාර ලෙස වැඩීම මෙන්ම කිසිදු කෘමි උවදුරක් හෝ ලෙඩ රෝග නොවැළ‍ඳේ.

මෙවැනි ගොවි නැකැත් අළලා සිදුකරන ශාස්ත්‍රීය ක්‍රම දහස් ගණනක් ඇත. එහෙත්, නවීන තාක්ෂණික දියුණුවත් සමඟ පාරම්පරික වටිනා නැකැත් ශාස්ත්‍රීය කරුණ අනුගමනය කිරීම බැහැර විය. විශේෂයෙන් සූර්ය ග්‍රහණ, චන්ද්‍ර ග්‍රහණ, වක්‍ර ග්‍රහ නැකැත් අනුව හේන්වලට ඉසින බීජ වර්ග තිබේ. එනම්, කුරක්කන්, අබ, මෙනේරි, රත්හාල්, මිරිස්, බටු, රට බටු වැනි භෝග වර්ගවලට අයත් බීජ වේ. ඒවා එකට සංයෝග කර වැපිරීමෙන් ගොවිබිම්වලට කිසිදු සතකුගෙන් උවදුරු සිදු නොවේ.

මෙම ජ්‍යෙතිෂ නැකැත් ශාස්ත්‍රීය ක්‍රම අනුගමනය කිරීමෙන් වන සතුන්ගෙන් ඇතිවන උවදුරු පමණක් නොව ස්වභාවික විපත්වලින්ද ආරක්ෂා වේ. එමෙන්ම විවිධ රෝගාබාධ, අණවිණ, කොඩිවිණ, හදි හූනියම්, ඇස්වහ කටවහ, හෝවහ වැනි රුදුරු උවදුරුවලින් පවා ගොවි කෙත්බිම් ආරක්ෂා කර ගත හැකිය.

විශේෂයෙන් ගොවිතැන් කටයුතුවලදී සිදුකරන බාර හාර සහිත නැකැත්, කෙම්, පහන් අනුව පොදු ශාස්ත්‍රීය ක්‍රම අනුගමනය කරමින් කටයුතු කිරීමේදී ඊට අදාළ වන පොදු සුරක්ෂිතභාවයන් සහිතව ආරක්ෂාකාරී විය යුතුය. තෙල් බැදුම්, මස් මාංශ, පුළුටු සහිත විෂ ද්‍රව්‍ය රැගෙන යාම සුදුසු නැත. බලවත් කිළි දෝෂවලට අසුවී ඇති අවස්ථාවල ගොවිබිමට යෑම ඒම සුදුසු නැත. ගොවිබිමෙහි සතුන් දඩයම් කිරීම, මල් පීදෙන, කිරිවදින, ඵල නෙළන අවස්ථාවලදී වෛර, ක්‍රෝධ, ද්වේශ සිතුවිලිවලින් බැලීම නොකළ යුතුය.

අස්වනු නෙළීම, ගෙට ගැනීම, වී අටුවෙහි තැන්පත් කිරීම, භාරහාර ඔප්පු කිරීම, ප්‍රථම අග්‍ර දානය සඳහා වී තැම්බීම වැනි කරුණුවලදී බොහෝ පිරිස් අදටත් නැකැත් ක්‍රම අනුගමනය කරති.

මෙලෙස පෞරාණික නැකැත් ශාස්ත්‍රීය ක්‍රම අනුගමනය කර වී පෑළක්, දෙකක් වගා කර තම ගොවිතැන්වලින් එම කන්නය පුරාම දිවිමඟ සරුකරගත හැකිය. එහෙත්, වර්තමානයේ පාරම්පරික නැකැත්, චාරිත්‍ර විධි පසෙකලා ගොවිතැනෙහි ආරම්භය , සී සෑම, වැපිරීම, වල් නෙළීම, කැපීම , පෑගීම අස්වනු නෙළීම ඇතුළු සියලු කටයුතු සඳහා භාවිතා වන යන්ත්‍ර සූත්‍ර ‘භූතයා’ නමින් හැඳින්වේ. භූතයින් ගෘහස්ථාන හා භූමිවලින් පළවා හැරීමට ලක්ෂ ගණන් වැයකර විවිධ කටයුතු කරති. එවැන්නෝම තම ගොවිතැන් ආරම්භයේ සිට අස්වනු නෙළා ගෙට ගැනීමට භූතයින්ටම ආරාධනා කරති. දස දුක් විඳිමින්, මුදල් වියදම් කර වගා කරගත් අස්වනු නෙළා ගෙට ගැනීමටත් පෙර කුඹුරේදීම වෙ‍ළෙන්ඳාට පුද දී වැය කළ වියදම පවා අහිමිව ණය තුරුස් වී මානසික වේදනාවලට ලක් වී භූතයන් රජ කර හිස් අතින් ගෙදර යති.

මේ අනුව වගා ආරක්ෂා කර ගනිමින් ගොවිතැන් සරුකර ගහට වැළත් වැළට ගහත් යාදෙන්නාක් මෙන් ජ්‍යොතිෂ ශාස්ත්‍රීය සිද්ධාන්ත අනුගමනය කර ගොවිතැන කළ යුතුය. එමඟින් ස්වභාව ධර්මයට අනුව සහ අටලෝ දහමට අනුව උසස් ප්‍රතිඵල ලබා දෙනු ඇත.

චතුමී පිටිපන

නව අදහස දක්වන්න