පූජ­නීය ස්ථාන 100 කට LP ගෑස් උප­ක­රණ | දිනමිණ

පූජ­නීය ස්ථාන 100 කට LP ගෑස් උප­ක­රණ

මෙවර වෙසක් සමය නිමිත්තෙන් පූජනීය ස්ථානය 100 කට LP ගෑස් ඉවුම් පිහුම් පහසුකම් ලබාදීමට, මෙරට විශාලතම LP ගෑස් ආනයන හා සැපයුම් සමාගම වන ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම කටයුතු යොදා ඇත. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමැති කබීර් හෂීම් මහතාගේ මඟ පෙන්වීම යටතේ ආරම්භ කරන ලද මෙහි ප්‍රථම වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙට්ටිමුල්ල, මාකුරාව රජමහා විහාරයේ ශ්‍රී ධර්මඥාන ධර්මායතන මූලික පිරිවෙනේ දී පවත්වන ලදි. මේ උත්සවයේ දී කෑගල්ල දිස්ත්‍රික්කයේ පන්සල් හා පිරිවෙන් මධ්‍යස්ථාන 35 කට ගෑස් ලිප්, ගෑස් සිලින්ඩර් සහ වෙනත් උපකරණ බෙදාදීමට ලිට්‍රෝ ගෑස් ලංකා කටයුතු කළේය. ඊට අමතරව රටේ ආගමික සහජීවනය ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව කෑගල්ල දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන 5 කට ද මේ උපකරණ බෙදාදීමට පියවර ගන්නා ලදී.

‘වෙසක් සමය යනු සහජීවනය, නිර්ලෝභී බව සහ අනෙකාගේ යහපත ගැන ඇති උනන්දුව වැනි ගුණාංගවලට මුල්තැන දීමේ වැදගත්කම අවධාරණය කෙරෙන කාලයක්. එම නිසා මෙවර වෙසක් සමය නිමිත්තෙන්, දිවයිනේ අඩු පහසුකම් සහිත ප්‍රදේශවල ජනතාවට අධ්‍යාත්මික මඟපෙන්වීම සිදුකරන, එහෙත් භෞතික පහසුකම් අවම පූජනීය ස්ථානවලට මේ උපකරණ පරිත්‍යාග කිරීමට අප තීරණය කළා.’ ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති ශලිල මුණසිංහ මහතා පැවැසීය.

වැඩසටහන වඩාත් සාර්ථක කර ගැනීම සඳහා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ වාණිජ ඉංජිනේරු අංශය අදාළ උපකරණ තෝරා ගැනීමේ පටන් ඒවා එකලස් කිරීම සහ ගෑස් සිලින්ඩර් සැපයීම දක්වා සියලු කටයුතු අධීක්ෂණය කිරීමට කටයුතු කරනු ඇත.

නව අදහස දක්වන්න