අනාථ වුණු සත්තු | දිනමිණ

අනාථ වුණු සත්තු

මංජුලා විජයරත්න

ආර්ජන්ටිනාවේ බුවනෙස් ඒරේස් අගනුවර පිහිටි බුවනෙස් ඒරේස් අක්කර 45කින් සමන්විත වූ දැවැන්ත සත්තු වත්තකි. 1875 වසරේ නොවැම්බර් 11 වැනිදා විවෘත කරන ලද එයට දැන් වයස අවුරුදු 140ක් පමණ වේ. මේ සත්වෝද්‍යානය වසා දමා එයට අයත් දේපළ උද්‍යානයක් බවට හැරවිය වීමේ ක්‍රියාවලියට යොදා ගත යුතු බව ආර්ජන්ටිනාවේ බලධාරීහු පසුගිය වසරේදී තීරණය කළහ. විශේෂ 350කට අධික ප්‍රමාණයකට අයත් ජීවීහු 2500කට වඩා වැඩි සංඛ්‍යාවක් ඒ වනවිට සත්ත්වෝද්‍යානය තුළ විසුහ. විදෙස් මාධ්‍ය පෙන්වාදෙන අන්දමට අද වනවිට සත්ත්වෝද්‍යාන බිම උද්‍යානයක් බවට හැරී ඇත. නමුත් මේ පරිවර්තනය තුළ සත්තු යන - එන මං නැතිව අසරණව සිටිති. එවැනි තත්ත්වයක් මතුව තිබෙන්නේ ආර්ජන්ටිනා බලධාරීන් ගත් විකාරකාරී තීරණය නිසයි. සත්ත්වෝද්‍යානය වසා දැමීමට විකාරකාරී ස්වරූපයක් ආරුඪ වී ඇත්තේ තීරණයෙන් කියැවෙන කිසිදු කාරණයක් ප්‍රායෝගික සැලසුමකට නඟන්නට බැරිවීම හේතුවෙනි.

සත්ත්වෝද්‍යාන භූමිය උද්‍යානයකට හැරවීමත් සමඟම එතුළට පළමුවෙන්ම කඩා වැදුණේ අධික ශබ්දයයි. වසර 140කට පළමුව බුවනෙස් ඒරේස් නගරයේ සත්ත්වෝද්‍යානය විවෘත වනවිට ඒ අවට පරිසරයෙහි අද මෙන් මහා කාලගෝට්ටියක් හෝ කලබැගෑනියක් හෝ තිබුණේ නැත. නමුත් වසර 140ක කාලය පුරා බුවනෙස් ඒරේස් මෙන්ම අවට ප්‍රදේශත් දියුණුවෙන් දියුණුවට පත්වුණේ පුදුමාකාර වේගයකිනි.

සත්ත්වෝද්‍යානය, උද්‍යානයක් බවට පරිවර්තනය කිරීමත් සමඟම අවට මහා මාර්ගවලින් නැඟෙන ශබ්ද මෙන්ම ඒවායෙන් ඇතිවන පරිසර දූෂණය කෙළින්ම නව උද්‍යානයට බලපානන්නට පටන් ගත්තේය. එවැනි බලපෑම් වඩාත් දරුණු අන්දමින් අත්විඳින්නට සිදුවුණේ උද්‍යනය තුළ කූඩුවල සිරකර සිටින සතුන්ට ය. සත්ත්වෝද්‍යානය උද්‍යානයක් බවට පත්කිරීමේදී සතුන්ට කුමක් සිදු කරන්නේද යන්න පිළිබඳව නිසි සැලසුමක් නොතිබීම මේ විපතට මූලිකම හේතුවයි.

සත්ත්වෝද්‍යානයෙහි සිටි දහස් ගණනක් සතුන් ආර්ජන්ටිනාවේ සහ වෙනත් රටවල අභයභූමිවලට නිදහස් කළ යුතුය කියන මතය බලධාරීන් තුළ ඇති විය. නමුත් ඒ සඳහා නිසි සැලසුමක් තිබුණේ නැත. එමෙන්ම බොහෝ සතුන් හුරු වී තිබුණේ සත්ත්වෝද්‍යාන ජීවිතයක් සඳහා පමණි. ඔවුන් සතුන් අභයභූමිවලට නිදහස් කළහොත් ඉතා ඉක්මනින් මියයන බව සමහර විද්වත්හු පෙන්වා දුන්හ. සත්ත්වෝද්‍යානයේ හිටපු පළමු අධ්‍යක්ෂවරයා සත්ත්වෝද්‍යානය පවත්වාගෙන යන කාලයේදී කියා සිටියේ ඒ ඒ සතුන් අයත් රට නියෝජනය වන අන්දමට සත්ත්වෝද්‍යානය තුළ ගොඩනැඟිලි සදා ඒවායෙහි සතුන් රැඳවිය යුතු බවකි. මේ නිසා ආසියාවේ හස්තීන් වෙනුවෙන් හින්දු දේවාලයක ලක්ෂණ සහිත ගොඩනැඟිල්ලක් ඉඳිකෙරිණ. ජිරාෆයන්ට ඉඳිකෙරුණේ ඉස්ලාමික සංස්කෘතිය නියෝජනය වන අන්දමේ ගොඩනැඟිල්ලකි. පැන්ඩන් වෙනුවෙන් චීන ස්ථූපයක ස්වරූපයට ගොඩනඟන ලද ගොඩනැඟිල්ලක් ඉඳි කෙරුණු බව කියැවේ. මේ ගොඩනැඟිලි තුළ සතුන් රඳවා තැබුවාදයි සඳහන් වන්නේ නැත. නමුත් ගොඩනැඟිලි ජරාජීර්ණ වී ඇති බව නම් පෙනෙන්නට තිබේ. මේ ගොඩනැඟිලි උද්‍යානය පවත්වාගෙන යාමේ කටයුතු සඳහා කෙතෙක් දුරට භාවිතයට ගත හැකිද යන කාරණය දෙසටත් කිසිවකුගේ අවධානය යොමුව නැත.

බුවනෙස් ඒරේස් නගරාධිපතිවරයා වරක් දැඩිව පැවැසුවේ මිනිස් ග්‍රහණයේ ජීවත්වුණු සතුන් අධික ශබ්ද සහ අධික පරිසර දූෂණය යටතේ කොහෙත්ම තබා ගත නොහැකි බවකි. මේ ප්‍රකාශයත් සමඟම උද්‍යානය තුළ රඳවාගෙන සිටි සතුන් 360ක් වෙනත් ආයතනවලට නිදහස් කෙරිණ. එසේ නොවූවා නම් ඒ සතුන්ගේ ගහනය පුදුමාකාර ලෙස ඉහළ යනු නිසැකය. සතුන් වෙනත් ආයතනවලට බැහැර කිරීමේ කර්තව්‍යය විද්‍යාත්මකව සිදු නොවීම ද ගැටලුවකි. එනිසා ඇතැම් ගෘහයන් තුළ රඳවා සිටි සතුන්ගෙන් කොපමණ ප්‍රමාණයක් ඉවත් කළ යුතුද යන්න පිළිබඳව විද්‍යාත්මක සොයා බැලීමක් සිදු නොවිණ.

ස්ථිර බවක් නැති මෙවැනි තීන්දු තීරණ සහ කෙරුවාවන් නිසා බුවනෙස් ඒරේස් සත්ත්වෝද්‍යානයේ සිටි සතුන්ට සත්ත්වෝද්‍යානයකටත්, උද්‍යානයකටත් නැති ජීවිතයක් ගත කරන්නට සිදුව තිබේ. එතුළ දහස් ගණනක් සතුන් දැඩි පීඩනයකට ලක්ව ඇති බවක් ඔවුන්ගේ ඉරියව්වලින් තහවුරු වේ. ඒ ගැන කතා කරන්නට කිසිවකු අද නැත. මිනිසුන්ටත් සතුන් බැලීම දැන් එපා වී ඇති සැටියකි. එය වඩාත් හොඳින් තහවුරු වන්නේ බුවනෙස් ඒරෙස් සත්ත්වෝද්‍යානය බලන්නට දිනකට දස දහසක තරම් පිරිසකුත්, උද්‍යානය නරඹන්නට දෙදහසක පමණ පිරිසකුත් පැමිණීම තුළය.

mail online ඇසුරෙනි

නව අදහස දක්වන්න